හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

අදට මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුවට වසර දෙකක් සපිරේ. ගෙවී ගිය කාලය මුළුල්ලේ ආණ්ඩුව සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය තුළ යම් යම් සාධනීය ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. අන්තර්ජාතික වශයෙන් තිබුණු දෝෂාන්ධකාරයන් නැති කරගැනීමටත්, ජාතික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදි පදනම ශක්තිමත් කිරීමටත් ආණ්ඩුවට හැකි වී තිබේ. එහෙත් බැලූ බැල්මට ආණ්ඩුවේ ඒ ක්‍රියාදාමය ප්‍රබලව කැපී පෙනෙන ලෙස ඔසවා තැබීමට ආණ්ඩුවට නොහැකි විය.

2015 ජනවාරි 08 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමට බහුතර ජනතාව තීන්දු කළේ ඇයි? සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු දේශපාලන නොවන සංවිධාන විසින් රටට පෙන්වා දෙන ලද හිටපු පාලකයන්ගේ අධිපතිවාදි ක්‍රියාකාරකම්වල විපාක ප්‍රජාතන්ත්‍ර විරෝධි හැසිරීම් අධිකරණයේ ස්වාධීනත්වය නැති වීම් ආදිය එයට ප්‍රබල හේතුවක් විය. එහෙත් ඊට වඩා මේ රටේ පොදු ජනතාවට දැනුණු හා ඔවුන් විසින් වටහාගන්නා ලද අසංස්කෘතික දේශපාලන සාහසිකත්වයක පීඩනයටද විසඳුමක් ලෙස රාජපක්ෂ පාලනය වෙනස් විය යුතුය යන දේශපාලනික විඥානයක්ද ජනතාව තුළ විය. "රට බේරාගත් නායකයාට කළගුණ දක්වමු", ''රට යළිත් කොටින්ට පාවා නොදෙමු" වැනි ජනප්‍රිය සටන් පාඨ පසෙක ලා, "මෛත්‍රී පාලනයක් හා අලුත් වෙනසක්" සඳහා ජනතාව ගත් යෝධ වික්‍රමාන්විත පියවර 2015 ජනවාරි 08 වැනිදා සංකේතවත් විය.

2015 ජනවාරි 08 වැනිදා ඇති වූ ඒ වෙනස දේශපාලනිකව කියවීමට බලය අහිමි වූ මහින්දට මෙන්ම ඔහු වටා සිටි සියල්ලන්ටම වුවමනාවක් නොවීය. ඔවුහු ඒ වෙනුවට "මහින්ද සමඟ නැඟිටීම" සඳහා වුවමනා දේශපාලන කෙත සැකසීම ආරම්භ කළහ. ජනතාව ඉදිරියට යෑම සඳහා අලුත් දේශපාලන සටන් පාඨද ඔවුන්ට වුවමනා විය. ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වූයේ මහින්ද එක්සත් කළ රට බෙදා දීම සඳහා ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් රැගෙන එන බවයි. සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව මෙන්ම භික්ෂූන් වහන්සේලාද මහපාරට බැස්සීම සඳහා ප්‍රමාණවත් තුරුම්පු දෙකක් තිබේ. එකක් ජාතියයි. අනෙක ආගමයි.

ජාතිකත්වය වෙනුවට ජාතිවාදය හා ආගමික නිදහස වෙනුවට බුද්ධාගමට සුවිශේෂත්වය යන කරුණු දෙකම මේ රටේ දේශපාලන බල අරගලයේ තීරණාත්මක සාධක වී තිබේ. මේ ආණ්ඩුවද ඒ සාධකවල බලය ඉඳුරා දනී. අලුත් ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව සමඟම ඒකාබද්ධ විපක්ෂය රටට කියා සිටියේ දෙමළ සන්ධානයට දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට සැරසෙන බවය.

මහනාහිමිවරුන් මෙන්ම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා තවමත් මේ කරුණ පිළිබඳ සැකමුසුව බලති. ආණ්ඩුව විසින් පත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන කාර්යයට ජනතා අදහස් ලබාගැනීමේ කමිටු පිළිබඳවද පොදුවේ ප්‍රසාදයක් නොවීය. බොහෝ විට මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් ක්‍රියාධාරීන් ක්‍රියා කර තිබෙන ආකාරය ජනතාවගේද විරෝධයට ලක් වූවකි. දේශප්‍රේමය යනු ඔවුන්ට නොවැදගත් තිරශ්චීන දෙයකැයි හිතන බුද්ධිමත්හුද වෙති. "දේශ හිතෛෂී සංවිධානය", "මව්බිමේ නිදහස සඳහා" වැනි සංවිධානවල නිර්දය විවේචන මේ අයට එල්ල වන ආකාරයද පැහැදිලිය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙන වෙනම මහනාහිමිවරුන් හමු වී කරුණු පැහැදිලි කළත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ගැන වු සැක සංකා දුරලීමට නොහැකි වු බවද පෙනේ. ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල 2017 වසරේ මහා පාවාදීම් තුනක් සිදු වන බව කියා සිටියි. ඉන් පළමුවැන්න ඒකීය රට බෙදාදීම බව සඳහන් කර ඇත. අද ඒකාබද්ධය මෙන්ම හිටපු ජනාධිපතිවරයාද රට බෙදීම, රට විකිණීම හා බුදුදහමට තිබෙන ස්ථානය අහිමි කිරීම යන කරුණු තුන ගැන ජනතාවට කරන අනතුරු හැඟවීම සුළුපටු නැත.

මේ අදහස් මධ්‍යම පන්තියට වැදගත් නැත. එහෙත් ග්‍රාමීය ජනතාව තුළ වැඩි වශයෙන් දක්නට ඇත්තේ මේ රට හා ආගම පිළිබඳව දිගු කලක් මුළුල්ලේ මුල් බැසගන්නා ලද අදහස්ය. 'දෙමළා' යනු ඔවුන්ගේ ජනවිඥානය තුළ සැකයටද අවිශ්වාසයටද භාජන වූවෙකි. එබඳු ප්‍රවාද රාශියක්ද ඔවුන්ගේ මනස තුළ තිබේ. මේ පොදු අවිඥානය කපටි දේශපාලනඥයන්ට කදිම වාසියක් වී තිබේ. එසේම දෙමළ නායකයන්ගේ ඇතැම් අදහස්ද ඒ සැකය පෝෂණය කරනසුලුය.

2017 ජනාධිපතිවරයා රටට තිරසර සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරද්දී හිටපු ජනාධිපතිවරයා රටට කියන්නේ 2017 දී මේ ආණ්ඩුව පෙරළා දමන බවය. මෙය එක්තරා ප්‍රමාණයක විහිළු කතාවකි. එහෙත් මෙයින් හැඟවෙන්නේ කුමක්ද? මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේ රට වෙනුවෙන් පෙනී සිටින බවය.

රාජපක්ෂවරුන්ගේ අතීත කෙරුම් හා කියුම් දැන් සමහරුන්ට අමතක වෙමින්ද තිබේ. මේ රට තිබුණේ කොතැනද යන්නත් සමහරුන්ට මතක නැත.

ඇත්තටම ආණ්ඩුව යම් කාරණාවලදී සිටින්නේ බොහෝ පසුගාමි තැනකය. "හිමිකරුවන් නැති ගෙවල් තිබේ; කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියැවේ; හොර බඩු තිබේ; හොරු නොවෙති - නඩුත් නැත!" මේ ජනතාවට පෙනෙන චිත්‍රයයි. ඇත්තටම ආණ්ඩුව හොරු ඇල්ලීමේ ක්‍රියාදාමය නවත්වා නැත. එහෙත් ජනතාව අතර තිබෙන්නේ ඒවා 'ඩීල්' හෙවත් දෙපක්ෂයේ එකඟතා අනුව යට ගසා ඇතැයි යන මතයයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ රටේ ලොකුම මුදල් වංචාව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව බවය. හිටපු ජනාධිපතිවරයා කියන්නේ තමන් ණය වෙමින් ජනතාවට අත්පත් කර දුන් සම්පත් අද කුණු කොල්ලයට විකුණා දැමෙන බවය. දේශප්‍රේමයේ කඳුළු වේදිකා ඔස්සේ ගලා යයි.

දේශපාලන සටකපටකම් නොදත් සාමාන්‍ය ජනතාවට වුවද සම්මුති ආණ්ඩුවේ විසම්මුතිය වටහාගැනීම දුෂ්කර නැත. රැවටීම හා රවටනු ලැබීම දේශපාලනයේ සුලබ දෙයකි. එහෙත් ප්‍රශ්නය මේ විදිහට ආණ්ඩුවට තව කොපමණ දුරක් යා හැකිද යන්නය.

කෙසේ වුවද 2017 තිරසර සංවර්ධන සැලසුම ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ වැදගත්ම කරුණු කීපයක් විය. පළමුවැන්න නම් දේශපාලන බලය යනු අයිතියක් නොව තවකාලික භාරකාරත්වයක් බවය. දෙවැන්න ගෝලීය දැක්ම හා අන්තර්ජාතික ප්‍රඥප්තීන් සමඟ එකඟව දේශීය වශයෙන් සකස් කරගන්නා දේශපාලන න්‍යාය පත්‍රයයි. තෙවැන්න රටේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා ‍පෝෂණය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමයි. සිව්වැන්න කෘෂිකාර්මික සංවර්ධනය සම්ප්‍රදාය හා නවීන තාක්ෂණය සමඟ බද්ධ කිරීමයි. පස්වැන්න කාර්මිකකරණය තුළ තිරසර සංවර්ධන තේමාවට වැඩි අවධානය යොමු කිරීමයි.

මේ හැරුණු විට තිරසර සංවර්ධනය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා බුදුදහම ඇතුළු හින්දු, කතෝලික, ඉස්ලාම් වැනි සියලු ආගම්වල එන සමාජ වගකීම් හා ආධ්‍යාත්මික හරයන් වෙත යොමු විය යුතු බවද ජනාධිපතිව‍රයාගේ පිළිගැනීම විය.

රජු නැත හොත් පාලකයාගේ වගකීම දරිද්‍රතාව හෙවත් දුප්පත්කම ව්‍යාප්ත වීම වැළැක්වීම බව බුදුන් වහන්සේ නොයෙක් තන්හි අනාවරණය කර ඇත. මේ ආර්ථික අසාධාරණය නැති කිරීමට තිරසර සංවර්ධනය ප්‍රමුඛ තැනක් දෙයි. 2017 දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙසද ප්‍රකාශිතය. ආහාර සුරක්ෂිතතාවද සංවර්ධනයට අත්‍යවශ්‍ය සැලසුමකි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදිම අසංවිධිත එකකි. ඉන් තුනෙන් එකක ප්‍රමාණය රිළවුන්, වඳුරන්, ඌරන් හා වන අලීන් නිසා විනාශ වේ. එසේම බෝ නොවන රෝග අද අපට තිබෙන තර්ජනයක් වන අතර, එයින් මිදෙන මාර්ගද සොයාගත යුතුය.

මේ සියල්ලට අමතරව තිරසර සංවර්ධනය සඳහා බලය ඉලක්ක කරගත් මෙහෙයුම්වලින් සිදු වන හානියද ජනාධිපතිවරයා පෙන්වා දෙන වැදගත්ම කරුණකි. නිදහසින් පසු රටක් වශයෙන් අප මුහුණ දුන් බලවත්ම ප්‍රශ්නය මේ බලලෝභයයි; කිසිම ආකාරයකින් තෘප්තිමත් නොවන බලකාමයයි. බලය කේන්ද්‍ර කරගත් ව්‍යපාර, මහජනයා නොමග යවමින් බොහෝ විට ක්‍රියා කිරීම අප රටේ සාමාන්‍ය දෙයකි. ව්‍යවස්ථා හදාගන්නේද ඒ බලය තමන් වෙත රඳවාගැනීමටය; පක්ෂයට හැමදාමත් බලයේ සිටීමටය. රටකට විවේචන අවශ්‍යය. එහෙත් ඒවා සංවර්ධනාත්මක විවේචන විය යුතුය. අද ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කරන්නේ තමන් අතින් කිසි දිනක බලය අවභාවිතබ නොවූ අයුරින්ය. ප්‍රධාන පක්ෂ දෙක එකට සිට රටේ ප්‍රශ්න විසඳීමට පෙළගැසෙන විට එය සාහසික ලෙස බිඳදැමීම ඒකාබද්ධ විපක්ෂයේ බල තෘෂ්ණාව නිසා සිදු වන්නකි. දේශීය චින්තනයක් සහිතව ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා මේ ආණ්ඩුවට සහාය දීමට ඔවුහු සූදානම් නොවෙති. ජනාධිපතිගේ හෘදයංගම ආයාචනයට රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හෝ සවන් දීමට ඔවුන්ට නොහැකිව ඇත්තේද බල තෘෂ්ණාව නිසා විනා අන් දෙයක් නොවේ.

මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව සිය තෙවන වසරට පිවිසෙන්නේ පැහැදිලි හා නිශ්චිත දේශපාලන න්‍යාය පත්‍රයක්ද සමඟය. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඒ පිළිබඳ සැලසුම් රටට ඉදිරිපත් කර තිබේ. පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවල මෙන්ම නායකයන් දෙදෙ‍නාගේද දේශපාලන ශෛලීන්වලද සමානකම් මෙන්ම අසමානකම්ද තිබේ. එහෙත් දෙදෙනම කිසියම් සම්මුතියකින් බැඳී සිටිති. ඒ සම්මුතිය පක්ෂ දෘෂ්ටිය ඉක්මවූ පොදු එකකි. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේම පිරිස් මේ සම්මුතිය අමතක කර හෝ එය පළුදු වන ආකාරයට හෝ නොයෙක් වාග් ප්‍රහාරවල නිරත වෙති. මෙය ප්‍රජාතන්ත්‍රවාදී නිදහසකට වඩා ඔවුන්ගේ මුග්ධත්වය ප්‍රදර්ශනය කරන්නක් බවද බොහෝ අවස්ථාවලදි පෙනී ගොස් තිබේ.

පාර්ලිමේන්තුවට තේරී පත් වන සියල්ලෝම විදග්ධයෝ හෝ පඬිවරු නොවෙති. එහෙත් ජනතාවගේ ප්‍රසාදය දිනාගත් බහුතරයක් එහි සිටිතියි කල්පනා කළ හැකිය. දේශපාලන පළපුරුද්ද හා කළපුරුද්ද ඇති අයද සිටිති. තම තම නැණ පමණින් ක්‍රියා කරන අය මෙන්ම බොරු මහන්තත්තකම් ප්‍රදර්ශනය කරන අයද සිටිති. දැන-උගත්කම් ඇති භාෂා ශාස්ත්‍ර රට තොට දත් අයද සිටිති. එනිසා මේ සංයුතිය තුළ විහිළුකාරයන් සිටීම සුදුසු නැත. 2017 සිට එබඳු විහිළු නැවැත්විය යුතුය. ගෙවී ගිය දෙවසර තුළ බලා තම වැරදි තැන් නිවැරදි කරගැනීම ආණ්ඩුවේ ගමනට ශක්තියකි. තීරණ ගැනීමේදී මීට වඩා ඍජු හා ශක්තිමත් බවක්ද අවශ්‍යය. දේශපාල‍න කේෂ්ත්‍ර උණුසුම් කරමින් සිදු වන සංවාද වාදවිවාදවල පදනම් වන සමහර දේවල් කාගේ හෝ හිතලු බව ප්‍රකාශ වන අවස්ථාද වේ. ජනතා අදහස් ලබාගෙන ආණ්ඩුවේ ගමන් මඟ සැකසීම ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි. එහෙත් තීන්දු තීරණ ගැනීමේදී මඩේ සිටුවූ ඉන්නක් මෙන් වැනෙනසුලු වීම සුදුසු නැත.

2017 දී මේ ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනපති මහින්ද ප්‍රකාශයක්ද කර තිබේ. මේ ආණ්ඩුව ඇතුළේ වැඩෙන අර්බුදයත්, බලය අහිමි වීමේ වේදනාවත් නිසා එබඳු ප්‍රකාශ කරනුද විය හැකිය. ඒවා දේශපාලන පුරසාරම් ලෙස සලකා බැහැර කළ යුතු නැත. මහින්ද යනු දැන් පැහැදිලිව මේ ආණ්ඩුවට එරෙහිව සිටින බලවේගයේ ප්‍රමුඛයාය. මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය පසුපසට වී සිටි ඔහු තවදුරටත් එසේ සිටිනු ඇතැයි සිතිය නොහැකිය. එසේම හදිසි දේශපාලන ආපදාවක් සිදු වුව හොත් පාවිච්චි කිරීමට පෙරමුණක්ද සාදා තිබේ. ජී.එල්. පීරිස් සභාපති ධුරය හොබවන එහි නායකයාද මහින්දය. අනෙක් අතට මහින්ද දැන් රටට කියන්නේ තමන් බලයට ආ විට මේ ආණ්ඩුව කළ දේවල් ආපසු හරවන බවයි. ඒ කියන්නේ මහින්ද බලය අපේක්ෂා කරන බවයි. මහින්ද ගෙදර යවා ඇතැයි උදම් ඇනූ අය ඒ ගැනද කල්පනා කළ යුතු වෙති.

ආණ්ඩුවට තම බලය හා හැකියාව පෙන්වා ඉදිරි තෙවසර තුළ දේශපාලනිකව මහින්ද දුර්වල කිරීම මෙයට තිබෙන නිවැ‍රදිම හා සාධනීය විසඳුමය. මහින්ද පාලනයේ දූෂණ, වංචා වැරදි ගැන හිස් ප්‍රලාප නොදොඩා ඒවාට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගත යුතුය. මේ ආණ්ඩු‍වට තිබෙන දූෂණ, වංචා හා නාස්තිය පිළිබඳ චෝදනාවලින් නිදහස් වීමද අත්‍යවශ්‍යය. ඒ කිසිවක් නොකර 2017 සිට කාලය ගෙවී ගිය හොත් ඊළඟට ජනතාවට තෝරාගත හැකි විකල්පය කුමක්ද, යන්නත් ආණ්ඩුවම කල්පනා කළ යුතුය. ජීවිත පරදුවට තබා, මාරක තර්ජන නොතකා දිනාගත් 2015 ජනවාරි 08 රැකගැනීමට ආණ්ඩුව එක්සත්ව ක්‍රියා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්