හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

.


'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

'ජනවාරි 8 විප්ලවය' සමරන දවස අද යි. පක්ෂ දේශපාලනය විසින් ගොඩනඟන ලද ගෝත්‍රවාදයට පිටින් සහජීවනයක්, සංසිඳීමක් මේ රට ඉල්ලා සිටීම මහ පොළොවේ ඇත්තක් බවට පත් කළ හැකි බව මෙදින තහවුරු විය. එකී සමාජීය ඉල්ලුම සාක්ෂාත් කර ගන්නා දෙසට දොරටු විවර වීම ජනවාරි 8 විප්ලවයේ ස්වභාවය යි. ඒ විවර වූ දොරටුවෙන් දැන් ඉදිරියට යා යුතු ව තිබේ. ඉදිරි මඟ බාධක වසර දෙකකට පසුවත් නිම වී නැත. එකී අභ්‍යන්තර මෙන් ම බාහිර බාධක මඟහරවා ගෙන යන ගමන ගැන හිතන්නට, සැලසුම් කරන්නට මේ සැමරුම යොදා ගත යුතු යි.

පක්ෂ දේශපාලනය විසින් මේ රටට ඉතිරි කරනු ලැබුවේ එකිනෙකාගේ හිත්වල භේද තහවුරු කිරීම පමණි. රටේ දේශපාලන නායකත්වය රට හා ජන සමාජය ගැන නො ව, පළමු ව තම බලය, පවුල, කණ්ඩායම සුඛිත මුදිත කර ගැනීම කෙරෙහි යොමු වීම දිගින් දිගට වර්ධනය විණි. එයින් හට ගත් සමාජීය පීඩනය විසින් විකල්පය ලෙස සාධාරණ සමාජයක් පතන ලදි. ජනවාරි 8 විප්ලවයට පදනම දැමුවේ මේ ජනතා අපේක්ෂාව යි. 'රට බෙදීම' හෝ 'ජාතිය පාවා දීම' හෝ සඳහා නො ව, බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් හෝ එන සියලු ව්‍යසන ජය ගන්නා ආරක්ෂක පලිහ තර කර ගන්නට ජනවාරි 8 විප්ලවය විසින් දොරටු විවර කරන ලදි. රට හා ජාතිය රැකෙන බලවත් ම ආරක්ෂක පලිහ එකිනෙකා එකිනෙකාට ගෞරව කරන, ඉවසන සමාජයක් පවත්වා ගැනීම යි. ඒ ඉඩ අවුරනු ලැබුවේ හා විප්ලවයෙන් විවර වූ ගමනට පළමු වන මාර්ග බාධකය වී ඇත්තේ රටට හතුරු දේශපාලකයෝ ම යි. දෙවනුව: ඔවුන්ගේ ගැත්තෝ හා පුස්සෝ ය.

සමාජ සාධාරණත්වය අහිමි වීම කෙරෙහි බරපතළ ලෙස බලපෑ රාජ්‍ය නායකයා වටා සියලු බලය කේනද්‍රගත වීම, ජනවාරි 8 විප්ලවය විසින් සෑහෙන දුරට වැළැක්වී ය. ජීවිත කාලය පුරා ජනාධිපතිට බලයේ රැඳී සිටින්නට ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම ම එවැනි සෑහෙන තරමේ වැළැක්වීමකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධුරයේ බලතල අඩු කරමින් බලය අත්හැරීම පිළිබඳ වැදගත් ආදර්ශයක් ඉතිහාසගත කළේ ය. එහෙත් ඒ නිසා ම ජනතාව තැබූ සියලු බලාපොරොත්තු ඉටු වූයේ ද නැත. මතු කී මාර්ග බාධකවලට අමතර ව ජනතා පැතුමට මඟ අවුරන සමාජීය යථාර්ථය ද වටහා ගත යුතු යි. එක් පැත්කින් වහල් මානසිකත්වයක් සමාජයට බෝ කරමින් ද නුසුදුස්සන් පාලන තන්ත්‍රයට ඇතුළු වෙමින් ද කලක් තිස්සේ ගොඩනඟා ගත් බල මාෆියාව බල රහිත කිරීමට, එහි බලවත්කම නිසා ම කලක් ගත වනු ඇත.

ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ මුදල් මංකොල්ල කෑමට දඬුවම් දීම වුව ද, වංචාවට දූෂණයට වැට බැඳීම වුව ද, එවැනි අපාරධවල කොනක තමා විසින් පත් කරනු ලැබූ තම දේශපාලන නියෝජිතයන් ම සිටින බව ජන සමාජය වටහා ගත යුතු යි. එවැනි දේශපාලකයන්ට සොරකම සඳහා පක්ෂ භේදයක් නැති බවත්, තමුන් පක්ෂ වෙනුවෙන් පැත්ත ගත්තත් පක්ෂ වෙනුවෙන් පෙනී සිටින තම නියෝජිතයන් තමුන්ට ආදරය නැති බවත් ජනතාවට වටහා ගන්නට ජනවාරි 8 විප්ලවය මඟ පාදා ඇත. සොරකමට, වංචාවට, රට පාවා දීමට පක්ෂ භේදයෙන් එකතු වන දේශපාලනය පැරදවීමට පක්ෂ භේදයෙන් තොර සහජීවනය ම බලවත් ශක්තියකි. සංහිඳියාව හා යහපාලනය ඇරඹෙන්නේ ඒ ජනතා පැතුම සහිත හදවත්වලිනි.

ජනවාරි 8 විප්ලවය විසින් පාදන ලද විවරයෙන් දැකිය හැකි සම්මුතිවාදි දේශපාලනය, ජනතාව රවටන පක්ෂ නියෝජිතයන් පසෙක තබා ඉදිරි ගමන යෑමට රුකුලකි. එය අපට හුරු සංස්කෘතියේ සංකල්පයක් මිස, විදේශ ආනයනයක් ද නො වේ. සම්මුතිවාදය යනු සහජීවනය නමැති ආරක්ෂක පලිහ සවිබල ගන්වන පක්ෂ දේශපාලනය අබිබවන දේශපාලනයකි. රට ආර්ථික ව නැඟිට ගැනීමට අද අත්‍යවශ්‍ය වන්නේ ද රටක් ලෙස කල්පනා කරන සම්මුතිවාදි දේශපාලනය යි.

ලෝකයත් සමඟ ශ්‍රී ලංකාවට ඇති ගමනට රටේ පිහිටීම ඉතා වැදගත් වේ. එය ඉතිහාස අත්දැකීම ද වේ. ලෝකයත් සමඟ ගළපන විට පරිසර හිතකාමි තිරසර සංවර්ධනය පෙරට ගත යුතු වන අතර, ඊට හොඳින් ම දායක විය හැකි පිහිටීමක් හා උරුමයක් ශ්‍රී ලංකාව සතු ය. 'තිරසර යුගයක තෙවසර ඇරඹුම' පදනම් වී ඇත්තේ එකී උරුමය හා සම්ප්‍රදාය ලෝක ප්‍රවණතා සමඟ ගළපමිනි. බලගතු ශ්‍රී ලංකාවක් සඳහා සැලසුම්සහගත ගමනක් ද අවශ්‍ය බව සම්මුතිවාදි ආණ්ඩුව පිළිගෙන ඇත. ඊට මඟ අවුරන මාර්ග බාධක ජය ගැනීමට අප එක ජන සමාජයක් ලෙස කල්පනා කළ යුතු යි. දේශපාලකයන් විසින් ජනතා පැතුම බන්දේසියක තබා ඉටු කර නොදෙන බැවිනි.

ශිෂ්ටසම්පන්න මාවතෙන් මෙරට ජන සමාජය ඉවතට පැන ඇති තරම ගැන සලකන විට, ඊට ගැළපෙන ලෙස අභ්‍යන්තර මෙන් ම බාහිර දේශපාලනය ද අත්වැල් බැඳ ගෙන ඇති තරම ගැන සලකන විට, දූෂණය, වංචාව, සොරකම එක් රැයකින් නිම කළ හැකි, එක රැයකින් වැරදිකරුවන්ට දඬුවම් දිය හැකි සරල සිද්ධියක් නො වේ. ඕනෑ ම නිවෙසක නිරතුරු ව ම මකුළු දැල් බැඳෙයි. එහෙත් නව වසරක් උදා වන විට හෝ ඒ මකුළුදැල් කඩා නිවෙස පිරිසුදු කරනවා මිස, ''මකුළු දැල් හැම දා ම බැඳෙනවා'' ය කියා, එය නොකඩා අත්හරිමු ද?


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්