හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

බුදු පහනට භූත‍යෝ එන කතාව ඇත්තද...

බුදු පහනට භූත‍යෝ එන කතාව ඇත්තද...

මහාචාර්ය පා‍තේගම ඤාණිස්සර හිමි

ගිහි ගේ කියන්නේ බොහෝම කලබලකාරී තැනක්. අම්මා-තාත්තා, ආච්චි-සීයා, දූදරුවන් පවා දැඩි තරගකාරී ජීවන රටාවක කොටස්කරුවන් වෙලා. මේ කාර්ය බහුලත්වය මැද වුවත් ආගම සිහි කරන්න, වතාවත් ඉටු කරන්න, මලක් පහනක් පුදන්න පුංචි හෝ ඉඩකඩක් වෙලාවක් වෙන් කර ගන්න ඔබට පුළුවන් නම් නොසන්සුන් සිත් සුවපත් කරගන්න එය කදිම දිව ඔසුවක් වේවි. ඔබ බෞද්ධයෙක් නම් ඔබේ නිවසේ ආගමික වතාවත් සඳහා නිශ්චිත ස්ථානයක් තිබිය යුතුමයි. ඉස්සර බුදු කුටිය, පහන් පැල තිබුණේ නිවෙසින් පිට. හරියට ම කීවොත් ගේ ඉදිරිපිට. ඒත් කාලයත් සමඟ බුදු පහන ගෙට ආවා. එකතකින් එය වඩා පහසුයි. බුදු පහන ගේ ඇතුළේම තියෙනවා නම් තමන්ට හැකි ඕනෑම වෙලාවක ආගමික වතාවත්හි නියැළෙන්න අපට පුළුවන්. හැබැයි මේ තැන පිරිසුදු, නිස්කලංක, කාටත් පහසු තැනක් වීම වැදගත්. නිවසේ සේම බුදු කුටියේ පවිත්‍රතාව රැක ගැනීමත් වටිනවා. පර මල් පිළුණු බුද්ධ පූජාව ගිහි ගෙදර කිළිටි කරනවා.

• බුදු පිළිමය මංගල දසුනක්

ඇතැම් බෞද්ධ නිවෙසකට ඇතුළු වන විටම බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබෙනු දකින්න පුළුවන්. එය සුබ දසුනක්. මේ විදිහට ප්‍රදර්ශනය සඳහා පිළිමයක් හා වන්දනා මානයට වෙනත් පිළිමයක් තබා ගත්තාට වැරැද්දක් නැහැ. අපේ වෙහෙර විහාරස්ථානවල නම් බුදුපිළිම වහන්සේ තැන්පත් කිරිමේ දී උතුර හෝ ඊසාන දිසා කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඊට හේතුව බෝසතාණන් සම්බුද්ධත්වයට පත් වූ දිසාව එය නිසා. ඒත් නිවෙසකට එය එතරම් අදාළ කර ගත යුතු නැහැ. හැම දිසාවටම බුදු රැස් විහිදෙනවා. එබැවින් කොයි දිසාවත් සුබ හැටියට ගත හැකියි. හැබැයි පිළිම වහන්සේ තමන් දෙස බලා සිටින අයුරින් තැන්පත් කිරීම වටිනවා. බුදුපියාණන්ගේ ඇල්මබැල්ම තියෙනවා කියන සිතිවිල්ල එවිට අප තුළ ඇති වෙනවා.

• බුදු පහනේ දැල්ල කොයි පැත්තටද

අපේ බොහෝ ගිහියන්ට නිතර මතුවන ගැටලුවක් තමයි බුදු පහනේ දැල්ල කොයි පැත්තට තැබිය යුතුද යන කාරණය. මෙහි දී එක එක අය එක එක කතා කියනු අප අසා තිබෙනවා. සිය මංගල දම් දෙසුම වූ දම්සක් පැවතුම් සුත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ 'ආලෝකො උදපාදී' යැයි වදාළා. ආලෝකය මුලින් පහළ වුණේ උන්වහන්සේට. ඒ ආලෝකයයි අපට ලැබුණේ. ඒ නිසා පහනේ දැල්ල බුදු පියාණන් වහන්සේ දෙසට සිටින සේ පත්තු කිරීම වඩා හොඳයි. ‍බුදු පහන කොපමණ වෙලාවක් පත්තු විය යුතුද යන්නත් ඇතැමුන්ට ප්‍රශ්නයක්. ඊට කාල නියමයක් නැහැ. නිවසේ ගත කරන කාලය අනුව එය තීරණය විය යුත්තක්.

• පහන තියා බුදු සාදුට හිමිදිරියේ

බුදු පහන තැබීමට සුදුසු වෙලාව කුමක්දැයි සවස 6ට කලින් පහන් දැල්වීම දෝෂ සහිතදැයි කෙනෙක් විමසනවා. ඊට පිළිතුර වන්නේ මේ සඳහා නිවැසියන්ට පහසු වෙලාවක් තෝරා ගැනීම නරක නැති බවයි. ඒත් තෝරා ගත්, පහසු, නිශ්චිත, එකම වෙලාවක පහන දැල්වීම හොඳයි. හිතුණු හිතුණු වෙලාවට තබනවාට වඩා එය ඵලදායකයි. බුදු පහන දවසක් දෙකක් තියන්න බැරි වුණා. නැත්නම් මඟ හැරුණා. ඒත් එය අකුසලක්-පවක් විදිහට ගණන් ගත යුතු නැහැ. වැරැද්ද වන්නේ නිවසේ පහන දිගටම නොතියා ඉන්න එකයි.

ඇතැම් නිවෙස්වල බුදු පහන තැබීම කුඩා දරුවන් ඉතා කැමැත්තෙන් සිදුකරනවා. ඒ පිළිබඳ ඔවුන් පැසසිය යුතුයි. ගෙදර දරුවන් කිහිපදෙනකු සිටි නම් ඔවුන් අතර මේ කටයුත්ත බෙදාදීම වඩා යහපත්. ඒත් පහන තැබීමයි බුදුන් වැඳීමයි කියන්නේ දෙකක්. ළමයින් ලවා පහන තැබුවාට වරදක් නැහැ. ඒත් ගෙදර කවුරුත් එකට එක්ව බුදුන් වැඳීමයි සුදුසු. නිවෙසේ ආගමානුකූල වටපිටාවක් නිර්මාණය වන්නේ එවිටයි.

• පහන නිවුවා කටින් පිඹලා

රෑ නින්දට පෙර පහන නිවීම හොඳදැයි යන්න තවත් ගැටලුවක්. ඉස්සර අපේ ඇත්තෝ බුදු පහනේ තිරයේ කෙළවර කාසියක් තැබුවා. පහනේ තෙල් ඉවර වුණත් තිරය පිච්චෙන්නේ නැහැ. ඒ නිසා පහන ගිනි ගත්තේ නැහැ. එහි විද්‍යාත්මක පැත්තකුත් තිබෙන බව පෙනෙනවා. පහන ගිනි ගැනීම නිවෙසට විපතක්. එනිසා ස්වභාවිකව නිවුණේ නැත්නම් නින්ද යෑමට පෙර බුදු පහන නිවා දැමීම පවක් නෙමෙයි.සවස නිවෙසින් බැහැරව යනවා නම් පත්තු කළ පහන ආරක්ෂක පියවරක් විදිහට නිවා යෑම වරදක් නැහැ. පහන දැල්වෙද්දී පිටතට ගියොත් යම් අතපසුවීමකින් ගේ ගිනි ගන්න පුළුවන්. ජීවිතයට ශ්‍රද්ධාව සේම බුද්ධියත් අවශ්‍යයි. ඒත් කිසිවිටෙක කටින් පිඹලා පහන නිවන්න එපා. ඒක බුදු හිමියන්ට කරන අගෞරවයක්. හඳුන්කූරු කටින් පිඹලා නිවපු ජනාධිපතිවරුත් මේ ‍රටේ හිටි බව අපට අමතක නැහැ.

• බුදු පහන සහ 'නයිට් ලයිට්'

ඇතැම් දෙනා පහ‍න සකස් කළ තෙල් හිසේ ගාගන්නවා. ඒක නිරායාසයෙන්ම වාගේ සිදුවන්නක් බවයි අපේ දැනීම. එය වැරැදි නැහැ. ඇරත් බුදු පහනේ තෙල් හිසේ හැර කොහේ ගා ගන්නද? යම්කිසි විභාගයකට සුබ ගමනකට යෑමට පෙර බොහෝ දෙනා පහනේ තෙල් බිඳක් අරන් ඇඟිල්ලෙන් ගා ගන්නා හැටි අප දකිනවා. ඇත්තටම ඒක ආශිර්වාදයක්. වර්තමානයේ බොහෝ නිවෙස්වල බුදු පිළිමය ඉදිරිපිට නිවෙන දැල්වෙන විදුලි බුබුළක් දෙකක් සවි කොට තිබෙනු දැකගත හැකියි. අප නම් එහි දෝෂයක් දකින්නේ නැහැ. ඒත් සම්බුදුරජාණන් වහන්සේ වටා සවණක් රැස් වළල්ලක් තිබුණා. උන්වහන්සේට එළිය උන්වහන්සේ ළඟ තිබෙනවා. ඒ ආලෝකය අප වෙත ලබා ගැනීමයි - ඒ එළිය සමඟ රැඳීමයි අපේ ප්‍රාර්ථනාව විය යුත්තේ. එය විදුලි බුබුළකින් කිසිවිට ලබා ගන්න බැහැ. ඒ නිසා විදුලි බුබුළු දැල්වුවත් බුදු පහන නොතබා ඉන්න එපා. බුදු පහන සකස් කිරීම සංයමයෙන් භක්තියෙන් කරන කාර්යයක්. මේ ක්‍රියාවලිය වැදගත්. ඉන් මනස සුවපත් වෙනවා. ස්විචයක් දමා විදුලි බුබුළක් දැල්වීමෙන් එය සපුරාලන්න බැහැ. සමහරක් නිවෙසට සිහින් එළියක් ලබා ගැනීමට 'නයිට් ලයිට්' දල්වනු දැකිය හැකියි. ඒත් බුදු පහන කිසිම අවස්ථාවක 'නයිට් ලයිට් එකක් විදිහට ගැනීම නුසුදුසුයි. එය අවධාරණය කරනවා.

• මියගිය ඥාතීන්ට පින් දෙන්න

නිවසේ දී පහන තබා මළවුන්ට පින් දීම හොඳදැයි ඇතැමෙක් විමසනවා. අපේ අදහස නම් එම ප්‍රශ්නය ම වැරැදි සහගත බවයි. අනෙක් ආගම්වල කොහොම වෙතත් බුදු දහ‍මේ කිසිවිටෙක මළවුන්ට පින්දීමක් සිදුකරන්නේ නැහැ. බෞද්ධයන් වශයෙන් අප පින් දෙන්නේ මියපරලොව ගිය ඥාතී මිත්‍රාදීන්ටයි. ඥාතීන් කියන්නේ මේ සංසාර සාගරේ අප සමඟ එකට පිහිනූ අයයි. නිවන් දකින තුරු ඉදිරියටත් එකට සිටින අයයි. ඔවුන් අපෙන් පින් බලාපොරොත්තු වනවා. ඒ අයට පින් දීම අත්‍යවශ්‍යයි. ‍

• බුදුන් වඳින අයට අපල‍උපද්‍රව නැහැ

ආලෝකයක් දැල්වෙන තැන්වලට අදෘශ්‍යමාන බලවේග එන බව සමාජයේ ඉතා සුළු පිරිසක් විශ්වාස කරනවා. ඒ නිසා බුදු පහනටත් භූතයන්, පිසාචයන් එන බව ඔවුන් පවසනවා. ඒත් ඒ මතය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. බුදු පහනට තබා නිතිපතා මල්පහන් දල්වන, ආගමික වතාවත් ඉටු කරන නිවෙසක හතර මායිමටවත් භූතයන්ට-පෙරේතයන්ට එන්න බැහැ. උන් එන්නෙත් නැහැ. එනවා නම් ඒ භුතයෝ නෙමෙයි. බුදුපියාණන් වහන්සේ උදෙසා අප පහන් දල්වන්නේ එම පහනින් නිවෙසටත් නිවැසියන්ටත් ආශිර්වාදය බලාපොරොත්තුවෙන්. ඒ නිසා නිතර බුදුන් වඳින, ආගමානුකූලව ජීවිතය හැඩ ගස්වා ගත් කිසිවකුට අපල උපද්‍රව අතුරුදෝෂ බලාපාන්නේ නැති බව අවධාරණය කළ යුතුමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්