හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පුළුවන්නම් මාව බලන්න එන්න

පුළුවන්නම් මාව බලන්න එන්න

සම්මානනීය රංගන ශිල්පී සුමින්ද සිරිසේන

ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබුණු කාර්යාල දුම්රිය නළාව හඬවා යළිත් ගමන ආරම්භ කළේය. දවසේ රාජකාරි කටයුතු අවසන් කළ සිය ගණනක් මිනිස්සු කඩිමුඩියේ නිවෙස් කරා යාමට දිව යති. මම ඔවුන් අතරට එක්වී ගමන් කරමි. සුපුරුදු සිනාවෙන් මුව සරසා ඒ පිරිස මැද ඔහු එනු මට මැවී පෙනේ. එහෙත් මගේ නෙත් රැවටී ඇත. එදා මේ ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ තමා කළ සේවය නිමා කොට ඔහු ගම්පහ දුම්රිය පොළෙන් බැස නිවෙසට යන අයුරු සුපුරුදු දසුනක්ව තිබිණි. එහෙත් ඔහු දැන් විශ්‍රාමිකය. විශ්‍රාම දිවිය සුවසේ ගෙවන්නට පවා නොහැකි ලෙස රෝගාතුරය.

මම ඔහු සොයා යමි. ගම්පහ යක්කල පාරේ බණ්ඩාරවත්ත හන්දියට ආසන්නයේ ඇති ශ්‍රී බෝධි පාරෙන් දකුණට හැරෙමි. එහි මඳ දුරක් ගොස් වම්පසට ඇති පාරේ ඉදිරියට ගිය තැන නො. 29/3 පිහිටි නිවෙස සොයා ගැනීමට අපහසු නැත.

ඔහුගේ සෙවණැල්ල සේ සිටින, ඔහුට අත්වැලක් වන ආදරණීය බිරිය මා පිළිගෙන නිවෙස තුළට කැඳවාගෙන ගියාය. හිරු බැස යන අවසන් නිමේෂයේ අඳුර හාත්පස පරිසරය වෙලා ගනිද්දී ඔහු බුදු පහන අබියස දෑස් පියා දෑත් එක‍්කොට වැඳගෙන මල් පූජා කරමින් සිටී. මගේ නෙත් නැවතුණේ සාලයේ බිත්තියේ සවිකර ඇති රාක්කය පිරෙන්නට තබා ඇති සම්මාන ගොන්න වෙතය.

වේදිකාවෙන් පැමිණ, පුංචි තිරයත්, රිදී තිරයත් සිය ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ඔපවත් කළ මේ විශිෂ්ට රංගන ශිල්පියාගේ හැකියාව දක්ෂතාව ගැන කියන්නට තවත් අටුවාටීකා ටිප්පනි අවශ්‍ය නැත.

මේ සම්මාන ගොන්න ඊට ප්‍රබල සාක්ෂියකි.

බුදුන් වැඳ අවසානයේ ඔහු සුපුරුදු සිනාවෙන් මා දෙස බලා සිටී. ඒ මුහුණේ එදා අප දුටු අවිහිංසක සිනාරැල්ල තවමත් එලෙසමය. මට වාඩිවන්නට අතින් සන් කළ ඔහු නැගිට මා අසලට එන්නට සැරසෙයි. සුමින්ද සිරිසේන නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා බිරියගේත් සැරයටියකත් වාරුවෙන් සෙමින් සෙමින් පැමිණ මා ඉදිරියේ අසුන් ගනී. පෙර දවස දුම්රියේ ගමන් කරද්දී දැන හඳුනාගත් මා ගැන ඔහුට මතක ඇතිදැයි සැකයකි.

“මට ඔයාව මතකයි” සුපුරුදු සිනාවෙන් යුතුව ඔහු මා පිළිගෙන පිළිසඳරට ආරම්භයක් දෙයි.

සෙමෙන් එහෙත් ඉතා නිරවුල් මතකයකින් යුතුව අතීතාවර්ජනයක යෙදෙමින් පුරා හෝරාවක් පමණ ඔහු කළ කතාව මෙසේ අකුරු කරන්නේ ඔහුගේ රංගනයට, ඔහුගේ කතාවට කැමැති, ඔහුට ආදරය කළ රසික කැල වෙත ඔහුගේ අලුත්ම තොරතුරු කියන්නටය.

“2012 මැයි මාසයේ මට උණ හැදිලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වුණා. එතැනදී මට සිහිය නැතිවෙලා. දවස් දෙකක්ම සිහිය නැතුව ඉඳලා තියෙනවා. පසුව සිහිය ආවත් මාස දෙකක් පමණ රෝහල් ගතවෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සෙ ඇවිදින්න බැරිවුණා. දැන් භෞත චිකිත්සක ප්‍රතිකාර කරනවා. එදා කඩිසරව ඇවිදපු මම අද එහෙ-මෙහෙ යන්නෙ හරිම හෙමින් හරිම පරෙස්සමින්.”

ඇවිදින්නට නොහැකි වුවත් ඔහුගේ මතකය නිරවුල්ය. ඒ මතකය ඔස්සේ කතා කරන්නට ඔහු කැමැතිය.

අවසන් වරට කළ රංගනය ‍මතක ද?

“ඔව්. මට හොඳට මතකයි. අන්තිමට රඟපෑවේ ‘සේපාලිකා’ ටෙලි නාට්‍යයේ. එහි වළව්වක නිළමේ කෙනෙක් හැටියට තමයි මම රඟපෑවේ. මගේ අසනීපයෙන් පස්සෙ බුද්ධදාස විතානාච්චි ඒ චරිතය රඟපෑවා. ඒ වගේම තමයි ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයත් මම රඟපාමින් සිටි එකක්.

තවත් බොහෝ අතීතයට ගියොත්, පාසල් කාලය මතක ද?

මගේ ගම බොස්සැල්ල... කෑගල්ලේ ඉඳල කිලෝමීටර් 17ක් පමණ ඇතුළට වෙන්න පිහිටලා තිබෙන ලස්සන ගමක්. බොස්සැල්ල ගමේ පාසලට ගිය මම 8 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්වෙලා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියා.

කලාවට සිත බැඳුණේ කුඩා කාලයේ සිට ද?

මේ හැකියාව මට පියාගෙන් ලැබුණු උරුමයක් කියලා කිව්වොත් හරි. මගේ තාත්තා බුලත්ගමුව. ඔහු හොඳ කලාකරුවෙක්. තාත්තා මම පොඩි කාලෙ සඳකිඳුරු නාඩගම කළා. මම මේවා බලාගෙන ඉන්නකොට රඟපාන්න ආසාවක් ඇතිවුණා. ඒත් තාත්තා මාව ගත්තෙ නෑ.

මම ඒ ආසාව ඉෂ්ට කරගත්තෙ පාසලෙන්. පාසලේ විවිධ ප්‍රසංගවලට ඉදිරිපත් වුණා. විශේෂයෙන් තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේදී මට ඒ සඳහා හොඳ අවස්ථා ලැබුණා.

එහි කලා අංශය භාරව සිටියෙ ආරියවංශ රණවීර මහත්මා. සංගීත අංශය භාරව සිටියේ දයා අල්විස් මහත්මා. ජයසුමන දිසානායක, විජේරත්න අතුරුපාන මහත්වරු ඒ ගුරු මණ්ඩලයේ සිටියා.

මේ ගුරුවරු යටතේ විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මම උසස්පෙළ කළේ විද්‍යා අංශයෙන්. ඒත් කලාවටම තමයි හිත තිබුණේ.

ඔබ පාසල් කාලයේදීම සම්මානයට පාත්‍ර වෙනවා.

ඔව්, පාසලේ ‘ගිරිකූඨ’ කියලා නාට්‍යයක් කළා. ආරියවංශ රණවීර මහතා පිටපත ලියලා දයා අල්විස් මහත්මා තමයි අධ්‍යක්ෂණය කළේ.

මෙහි කාශ්‍යප රජතුමාගේ චරිතය මම රඟපෑවා. මේ නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට 1967 පාසල් රාජ්‍ය නාට්‍ය උලෙළේ රංගන කුසලතා සම්මානය හිමි වුණා.

ගමේ ගතකළ ඒ සුන්දර අතීතයට ගියොත්...

මගේ තාත්තා බුලත්ගමුව. අම්මා පුංචි නෝනා. මම පවුලේ වැඩිමලා. මල්ලිලා දෙන්නයි නංගියි ලොකු මල්ලි ධර්මදාස, පොඩි මල්ලි ආරියදාස. නංගී රේණුකා බුලත්ගමුව.

ගමේ අපි ගෙව්වේ ආගමට ළැදි ජීවිතයක්. ගමේ කෙළවරේ පන්සල තිබුණේ. අම්මා හැම පෝයටම වගේ අපිත් ලෑස්ති කරගෙන පන්සල් යනවා. ගිහින් මල් පූජා කරලා සිල් ඇත්තන්ට පවා වැඳලා එනවා. රෑ හඳපානේ පන්සල් ගිය ගමන් හරිම සුන්දරයි.

අපි සහෝදරයෝ ගමේ ළමයි එකතුවෙලා සෙල්ලම් කරනවා. කාලෙකට බටතුවක්කු හැදුවා. තවත් කාලෙකට කරත්ත සෙල්ලම් කරනවා. ගමේ තිබුණා ලොකු ඇළක්. වැහි කාලෙකට ඒකෙ වතුර බැඳලා පීනනවා. ඒ වගේම තමයි තාත්තලාගෙ කුඹුරු වැඩවලට උදවු කළා. කුඹුරු කෙටුවා. ගොයම් ‍හිටෙව්වා. කොළදින් කාලෙට කමත්වල හරක් දැක්කුවා. හරිම විනෝදයෙන් තමයි ඒවා කළේ. හරිම සුන්දර ළමා කාලයක් ගෙව්වා.

අධ්‍යාපනයෙන් පස්සේ ඔබ කොළඹට එනවා.

මට දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ ආධුනිකයෙක් ලෙස රැකියාව ලැබුණා. මේ රැකියාව වසර 35ක් පමණ කරල ගොඩනැඟිලි පරීක්ෂක තනතුරෙන් විශ්‍රාම ගියා.

කොළඹ ආවාට පසු කොහොමද ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්නෙ...

මම රැකියාවට ආවෙ 1969. කොළඹ ඇවිත් දෙමටගොඩ බෝඩ් වුණා. බෝඩිං ගාස්තු මාසෙකට රුපියල් 90 යි පඩිය රුපියල් 180 යි. කැන්ටිමෙන් තමයි කෑවෙ. රඟපාන්න තිබුණු ආසාව නිසා ලයනල් වෙන්ඩ්ට් එකේ තිබුණු ධම්ම ජාගොඩ මහත්තයාගෙ රංග ශිල්ප ශාලිකාව කියන පන්තියට ගියා. හැමදාම හවසට වැඩ ඉවර වෙලා දෙමටගොඩින් බස් එකේ නැඟලා පන්තියට ගියා. රෑ 8.30 වෙනකම් ඉගෙන ගත්තා. බස් ගාස්තුව සත 50 යි. ඒ කාලෙ හාල් තහනම් කළා. ඉතිං කෑම ගණං ගියා. කඩේට සල්ලි දීලා පාන් භාගයක් අරගෙන කනවා. ඒ විදිහට ටිකක් දුෂ්කර ජීවිතයක් තමයි ගත කළේ.

රවීන්ද්‍ර රන්දෙණිය, තිලක් ගුණවර්ධන, බුද්ධදාස විතානාච්චි, පරාක්‍රම නිරිඇල්ල මා සමඟ රංග ශිල්ප ශාලිකාවේ සිටි සමකාලීනයෝ. සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය වැනි අය පස්සෙ මීට සම්බන්ධ වුණා.

පළමු වේදිකා නාට්‍යය රංගනය මතක ද?

“මූදු පුත්තු කියන නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස කළා. රවුම් වේදිකාවක් හදලා ඒකෙ තමයි නාට්‍යය පෙන්නුවේ. එහි ‘දියෝනිස්’ කියන චරිතය රවීන්ද්‍ර රන්දෙණියයි මමයි මාරුවෙන් මාරුවට රඟපෑවා.

ඊට පස්සෙ වේදිකා නාට්‍යය ගණනාවක රඟපානවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙ ‘මනමේ’ නාට්‍යයේ පොතේ ගුරා මං. ඊට පස්සෙ ‘මහාසාර’ නාට්‍යය. සිංහබාහු එකෙත් පොතේ ගුරා. සරච්චන්ද්‍රයන්ගෙ සැම නාට්‍යයකම පාහේ රඟපෑමේ වාසනාව ලැබුවා. ඔහුගේ අන්තිම නාට්‍යය වුණු ‘බවකඩතුරාව’ හි ප්‍රධාන චරිතය වුණු සන්නාසි බ්‍රාහ්මණයා ඇතුළු චරිත දෙකක්ම රඟපෑවා.

ඒ විතරක් නෙමේ දයානන්ද ගුණවර්ධන, රන්ජිත් ධර්මකීර්ති, තිලක් ගුණවර්ධන, සෝමරත්න දිසානායක වැනි විවිධ අධ්‍යක්ෂවරු යටතේ රඟපෑමේ අවස්ථාව ලැබුණා.

මතකද මුල්ම ටෙලිනාට්‍යය රංගනය.

තිලක් ගුණවර්ධනගේ ‘සිහින නිම්නය’ තමයි මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. තිලක් තමයි මාව ඉස්සෙල්ලාම ටෙලි නාට්‍යයකට ගත්තෙ. එහි ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස රඟපෑවා. සිහින නිම්නයේ රඟපෑවාට පසුව මට රඟපෑම එපා වුණා. තිලක් ඊළඟට කළ ‘කුමාරිහාමි’ ටෙලි නාට්‍යයට මාව තෝරාගෙන තිබුණා. ඉතින් මම තිලක්ට කිව්වා මේක හරියන්නෙ නෑ අලුත් නාට්‍යයට වෙන කෙනෙක් තෝරාගන්න කියලා. නමුත් තිලක්ගේ බල කිරීම නිසා මම කුමාරිහාමිහි හිච්චි මහත්තයා චරිතය කළා. ඒකෙදි වේදිකාවෙ වගේ ඇස් එහෙම ලොකු කරන්නෙ නැතුව අඩු කරලා රඟපෑවා.

ඊට පස්සෙ තමයි තිලක්, කේ. ජයතිලක මහත්තයගෙ නවකතාව ඇසුරෙන් කළ චරිත තුනක් ටෙලි නාට්‍යයේ ‘ඉසා’ගේ චරිතයට මාව ගත්තෙ. ඒක මගේ රංගන ජීවිතයේ විශාල වෙනසක් කළ චරිතයක් වුණා. එහෙම පටන්ගත්තු ගමනේ ටෙලි නාට්‍යය සිය ගණනක් රඟපාලා තිබෙනවා.

මෙතෙක් රඟපෑ චරිතවලින් සිත්ගත් චරිතය කුමක් ද?

‘ඉසා’ චරිතය තමයි මම අදටත් ආසාවෙන් මතක් කරන චරිතය. එය කුඩා අවදියේ සිට වයස 80ක් පමණ යනතුරු විකාශය වන චරිතයක්. වේදිකාවේ කළ රඟපෑම්වලින් බවකඩතුරාවේ කළ චරිතයත් මනෝරත්නගේ අන්දරේලා නාට්‍යයේ රජ්ජුරුවන්ගේ චරිතයත් මම ආසාවෙන් කළා.

ඔබ දැනුම මතු පරපුරට ලබාදුන් ගුරුවරයෙක්...

මම 2002 අවුරුද්දේ ‘සිව්රඟ’ නමින් පාඨමාලාවක් ආරම්භ කළා. එයින් බැච් 4ක් පමණ එළියට දැම්මා. ඒ වගේම ටවර් රඟහලේ පාඨමාලාවට ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වුණා. මගෙන් දැනුම ලබාගත් අය අදටත් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. විශාල පිරිසක් ගුරුවරුන් ලෙස කටයුතු කරනවා.

ඔබ උපාධියක් ලබාගත් කෙනෙක්.

මට උපාධියක් කරන්න ඕන කියන එක හිතේ තදින්ම තිබ්බා. ඉතින් විවෘත විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. උපාධියට සමාජ විද්‍යාව හැදෑරුවා. ඊට පස්සෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් එම්. ඒ. එකත් කළා.

මේ උපාධිය කරනකොට මට වයස 50ක් විතර ඇති. ඉතින් මේකට සල්ලි බඳින්න බැංකුවට ගියාම මට මේක කරන්න බෑ කියලා හිතුණා. මම ආපහු එන්න හැරුණාම බැංකුවේ වැඩ කරන යාළුවෙක් දැකලා ඇහුවා ඇයි ආපහු යන්නෙ කියලා. කෝස් එකක් කරන්න බැලුවෙ ඒත් වැඩක් නෑ කියල හිතෙනවා කියලා කිව්වා. එතකොට එයා කිව්වා ‘කමක් නෑ කරන්න ලබන ආත්මෙට හරි ඕන වෙයිනෙ’ කියලා. ඊට පස්සෙ තමයි සල්ලි බැන්දෙ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු මේ උපාධියට සෙකන්ඩ් අපර් එකක් තිබුණා.

පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු.

මගේ බිරිය නීලා. මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. ලොකු පුතා පරිගණක ආයතනයක් පවත්වාගෙන යනවා. පොඩි පුතා ඡායාරූප ශිල්පය සහ සංස්කරණ කටයුතු කරගෙන යනවා.

බිරිය නීලා තමයි මගේ අත්වැල. එයා නිසා තමයි මම ජීවත්වෙන්නෙ. එයාගෙ ගම අලව්ව. පාසල් අවදියේ හම්බ වුණේ. 1979 මම මැදපෙරදිග රැකියාවකට ගියා. ගිහින් සල්ලි ටිකක් හම්බ කරගෙන ආවා. 1980 අපි විවාහ වුණා. ඊට පස්සෙ තමයි මේ ගේදොර හදාගත්තෙ.

ඔබ ලැබූ අත්දැකීම් මතු පරපුරට කියවන්න ලේඛනගත කරන්න අදහසක් නැද්ද?

හුඟක් දේවල් තියෙනවා ලියන්න. පරණ දේවල් ලියලා පොතක් ලෙස පබ්ලිෂ් කළොත් හොඳයි කියලා හිතනවා. ඒත් දැන් ලියන්න අමාරුයි. අකුරු රවුම් කරන්න බෑ. දැන් ටික ටික ඒකට උත්සාහ කරනවා. මම පුතා එක්ක කතා කරල තියෙන්නේ කොම්පියුටර් එකක් අරගෙන ටයිප් කරන්න.

හුදෙකලා වුණු වෙලාවට මොනවද හිතෙන්නෙ...

හරිම දුකක් දැනෙනවා. අපි හැමදාම ජීවත්වෙන්නෙ නෑනෙ. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ හැටියට අපි මේ තත්ත්වයට පත්වෙනවා. ඒ ගැන හිතලා හිත හදාගන්නවා.

පසුගිය දවසක අනුෂා ගෝකුල ප්‍රනාන්දු සංස්කෘතික අධ්‍යක්ෂ තුමිය ඇවිත් බලල ගියා. කලාකරුවො විවේක තිබෙන වෙලාවට ඇවිත් බලලා යනවා. ළඟදී අනුර කියන අලුත් අධ්‍යක්ෂවරයකුගේ ටෙලි නාට්‍යයකට රඟපාන්න ආරාධනා කළා. මම රෝද පුටුවේ ඉඳගෙන රඟපෑවා. කළගෙඩිහේනේ ෂූටිං තිබුණේ. සනත් විමලසිරිත් ඒකේ රඟපෑවා. ළඟදීම ඒක විකාශය වේවි.

වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ මගේ රංගනයන් දැකපු මගේ රසිකයන්ගෙන් මම ආදරයෙන් ඉල්ලන්නේ මාව බලන්න එන්න. අඩුම තරමේ ටෙලිෆෝන් කෝල් එකක් හරි දෙන්න පුළුවන්නම් හොඳයි.

රූපවාහිනී රාජ්‍ය සම්මාන, රාජ්‍ය නාට්‍ය සම්මාන, සුමති සම්මාන, සිග්නීස් සම්මාන, රයිගම් සම්මාන, කලා භූෂණ සහ දේශ නේතෘ සම්මාන රාශියකින් පිදුම් ලැබූ මේ අසහාය රංගධරයාට කතා කරන්න ඔහුගේ සුවදුක් විමසන්නට ඔබටත් හැකිනම් එය ඔහුට තව චිරාත් කාලයක් ජීවත් වන්නට අගනා ඔසුවක් වේවි.

ඔහුගේ දුරකතන අංකය - 033 2226061

ලිපිනය 29/3, ශ්‍රී බෝධි පාර, ගම්පහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්