හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සාහිත්‍ය කලාවේ රොමෑන්තික  පිටස්තරයා

සාහිත්‍ය කලාවේ රොමෑන්තික  පිටස්තරයා

ඊයේට (7) යෙදී තිබුණු මඩවල එස්. රත්නායක 20 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි

මඩවල එස්. (සිරිසේන) රත්නායක (1929 - 1997) බහුවිධ කෞශල්‍යයෙන් හෙබි කලාකරුවෙකි. ඔහු කවියෙකි; ගීත රචකයෙකි; නවකතා හා කෙටිකතා කරුවෙකි. පරිවර්තකයෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක් හා ගුවන්විදුලි ශිල්පියෙක් ද වූයේය.

අපේ රටේ බොහෝ ගම් ප්‍රසිද්ධව ඇත්තේ කලාකරුවන් නාමයෙනි. මාර්ටින් වික්‍රමසිංහ නිසා කොග්ගල ද, මහගමසේකර නිසා රදාවාන ද, ඇරැව්වල නන්දිමිත්‍ර නිසා ඇරැව්වල ද ප්‍රසිද්ධව ඇත්තාක් මෙන් සිරිසේන රත්නායක නිසා මඩවල ගම ද ප්‍රකට වූයේය. ඔහු උපන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි උඩුකහ දකුණු කෝරලේ මඩවල නම් ග්‍රාමයෙහිය.

මඩවලගේ මුල්ම ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය යැයි සිතමි. ඔහු කොළඹ යුගයේ පළවූ ‘සුවඳ’, ‘මීවදය’ වැනි කව් සඟරාවන්ට කවි ලියා ඇත.

1950 දි ‘ලංකාදීප’ පුවත්පත පැවැත්වූ කෙටිකතා තරගය මඩවල කලා දිවියේ නියත හැරවුම් ලක්ෂ්‍යයක් සේ ගත හැකිය. ඔහු ඊට ඉදිරිපත් කළ ‘පීතර මාමා’ නම්වූ කෙටිකතාව එහි දෙවැනි තැන දිනාගත්තේය. පළමු තැන ලැබුණේ ගුණදාස අමරසේකර ලියු කෙටිකතාවකටය. මේ ඔස්සේ මඩවල ලද ලොකුම භාග්‍යය වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් දැන හඳුනා ගැනීමය. ඉහත කෙටිකතා තරග විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියාව සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍රය. මඩවලට ඔමාර් ඛයියාම්ගේ ‘රුබයියාට්’ කාව්‍ය කෘතිය සිංහලට නඟන ලෙස කීවේ සරච්චන්ද්‍රය.

මඩවල, පේරාදෙණි ගුරු කුලයේ සාමාජිකයකු නොවුණත් සරච්චන්ද්‍රයන්ගේ ඇසුර නිසා ඔහුගේ නවකතා, කෙටිකතාවලට පේරාදෙණි සාහිත්‍යයේ බලපෑම කිසියම් දුරකට තිබිණැයි මම සිතමි. කේ. ජයතිලක ද එසේමය. ‘සිත නැති බඹලොව’, ‘පානෙන් අඳුරට’ වැනි නවකතා ප්‍රකට කරන්නේ පේරාදෙණි සාහිත්‍ය ආභාසයයි.

මඩවල, මාර්ටින් වික්‍රමසිංහ ද තරමක් දුරකට ඇසුරු කළේය. දිනක් වික්‍රමසිංහ මඩවලගෙන් මෙසේ ඇසුවේය.

“ඔබ පන්සිය පනස් ජාතක පොත කියවලා තියෙනව ද?”

“ඔක්කොමනං නැහැ කතා ටිකක් කියවලා තියෙනවා.”

මඩවල පිළිතුරු දුන්නේය.

“මුළු පොතම කියවන්න ඕනැ. එක සැරයක් නෙමේ කීප වතාවක්. කෙටිකතා පිළිබඳ හොඳ අවබෝධයක් ජාතක පොතෙන් ලබාගන්න පුළුවන්. චෙකෝව්, මෝපසාන්ට්, ඇලන්පෝ වගේ ලේඛකයන්ගේ නිර්මාණත් කියවන්ට ඕනැ.

වික්‍රමසිංහ මඩවලට උපදෙස් දුන්නේය.

කාලයක් ‘දිනමිණ’ හා ‘ලංකාදීප’ යන කර්තෘ මණ්ඩලවල සේවය කළ මඩවල 1954 දී ගුවන්විදුලියට බැඳුණේය. ඔහුට ගීත රචකයකු වීමේ පසුබිම සැකසුණේ එතැන්හීදිය. මඩවලට ගුවන්විදුලියට සම්බන්ධ වන්ට සරච්චන්ද්‍රයන්ගේ ඇසුර බලපාන්ට ඇතැයි සිතමි.

1954 නිකුත් වූ ගුවන්විදුලි කොමිසම ස්වතන්ත්‍ර ගී තනු සංගීත නිර්මාණ ආශ්‍රයෙන් අපේම වූ ගීත කලාවක් බිහිකර ගත යුතු යැයි නිර්දේශ කර තිබුණේය. මඩවලගේ සංගීත චින්තනය කෙරෙහි එය බලපෑවා විය යුතුය. අමරදේවයන්ගේ ඉල්ලීම පිට ඩී. වී. පලුෂ්කාර්ගේ වෛෂ්ණව භජන් ගීයක් වන ‘කුමක චලිත රාමචන්ද්‍ර’ ගීතය ‘නවක බලිත සීත සුළඟ’ නමින් මඩවල සිංහල භාවයට පත් කළේය. එය ඍජු අනුකරණයකි. පසුව ඉන් සපුරාම මිදුණු මඩවල ස්වතන්ත්‍ර තනුවලට පමණක් ගීත රචනා කළේය.

ගුවන්විදුලියේ සිටියදි සංගීතවේදී එඩ්වින් සමරදිවාකර බෙංගාලයේ රවින්ද්‍ර සංගීතය අලළා ලියැවුණු පොතක් මඩවලට දුන්නේය. ඒ පොතේ එන තොරතුරුවලට අනුව ජන ගී ඇසුරෙන් දේශීය ගී කලාවක් බිහි කරවන්ට හෙතෙම උත්සුක වී යැයි කිව හැකිය. භාත්ඛණ්ඩේ සංගීත අධ්‍යාපනයෙන් පසු ලංකාවට ආ අමරදේවයන්ගේ සංගීත දර්ශනය වූයේ ද එවැන්නකි. ‘ජන ගායනා’ වැඩසටහන ඉහත අරමුණු පෙරදැරි කරගෙන ඉදිරිපත් කළ සංගීතාංගයකි. මුලින් ඊට සහාය වූයේ ඩබ්ලිව්. එෆ්. විමලසිරි සංගීතවේදියාය. එහෙත් ඒ අවස්ථාවේ රසිකයන්ගෙන් කිසියම් දෝෂාරෝපණයක් එල්ල විණි. ඔවුන්ගෙන් කියැවුණේ මේ ගී ඔස්සේ පැරැණි ජන ගී විනාශ වන බවය. ටික කලක් අත්හිටවු ‘ජන ගායනා’ වැඩසටහන පසුව අමරදේවයන් සමඟ එක්ව යළි නිෂ්පාදනය කළේය. එහිදී සිදු වූයේ පැරැණි ජන ගී නාද මාලා ඇසුරෙන් නව නිර්මාණ බිහි කිරීමකි. උදාහරණ වශයෙන් ‘තුරඟා වන්නමේ’ එන ‘සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු’ ආශ්‍රිතව ‘රන්වන් කරල් සැලෙයි සන්සුන් කමින් බරව’ ගීතය නිර්මාණය වූයේය. ජන ගී, බලි කවි, ගොයම් කවි, නෙළුම් කවි, හි මූලික නාද රටා පදනම් කරගෙන ද විවිධ ගී නිර්මාණය කෙරිණි. ‘මින්දද හීසර’ ගීතය ඇසෙද්දි අපට සිහිවන්නේ හනුමා වන්නමයි. ‘පැරකුම්බා සිරිත’ද එලෙස සිහියට නඟා ගත හැකිය. ‘බඹරකු ආවයි’ ගීතය බලි කවිවල ලක්ෂණ ධ්වනිත කෙරෙන්නකි.

‘ජන ගායනා’ වන්ගෙන් පසු මඩවල අමරදේවයන් සමඟම එක්ව ‘ස්වර වර්ණ’ (1961), ‘රස මියුරු’ (1964) නමින් තවත් අගනා සංගීත වැඩසටහන් දෙකක් ඉදිරිපත් කළේය.

මඩවල ගීත නාටක දෙක තුනක් ද රචනා කර ඇත. නිදසුන් ‘ඉසිදාසි’, ‘චාපා’. එසේම මාර්ටින් වික්‍රමසිංහගේ ‘විජිතා’ නාටකය ඇසුරෙන් ද හෙතෙම නාට්‍යයක් (ගීත නාට්‍යයක්?) ලියා ඇත.

මඩවල අමරදේව නිර්මාණ සුසංයෝගය සේකර + අමරදේව නිර්මාණ සුසංයෝගයට පෙර ආරම්භ වූවකි. මඩවල, අමරදේව එක්ව අගනා සුභාවිත ගී රැසක් රටට දායාද කර දී ඇත. ‘මින්දද හීසර’, ‘මිහිරියේ පිය ළ‍ඳේ’ (සඳවති) ‘කැලේ ගහක මල් පිපිලා’, ‘බඹරකු ආවයි නිරිත දිගේය’ ‘මහද නීල ගගන තලේ’ (නල දමයන්ති). එබඳු ගී අතරින් කීපයකි. ඒවා රසිකයන්ගේ ආස්වාදක පරිකල්පනය තීව්‍ර කරවන ගී වෙයි.

අමරදේවයන්ට අමතරව රෑ කල පැලට වී (වික්ටර් රත්නායක), ‘පෙරුම් පුරාගෙන කියන්න සිටි දේ’ (නීලා වික්‍රමසිංහ) ‘සඳ පායා සිනාසී’, ‘නීල නුවන් මානෙල් මල්’ (දේවානන්ද වෛද්‍යසේකර) වැනි ගීත ද ඔහුගේ අතුල්‍ය කාව්‍ය ප්‍රතිභා ශක්තිය මූර්තිමත් කරයි.

ඉහත සඳහන් ගී අතරින් ඇතැම් ගී මඩවල කලකට ඉහත ලියූ කවි බව කිව යුතුය. ‘මිහිරියේ පිය ළ‍ඳේ’ (සඳවති), ‘නිල් මානෙල් මල් පිපුණා’, ‘නීල නුවන් මානෙල් මල්’ යන ගී ‘සුවඳ’ කව් සඟරාවේ පළවූ කාව්‍ය නිර්මාණය. ඒවායේ ගේයතා ගුණය තිබු බැවිනි, ඒ කවි ගී බවට ප්‍රතිනිර්මාණය වූයේ. මේවා මනරම් කව් ලකුණින් ශෝභිත සුගේය රචනාය.

මහගමසේකරට පවා මඩවලගේ නිර්මාණ ගුරු තන්හිලා ගත් පූර්වාදර්ශයක්ව ඇති බව දෙදෙනාගේම ගීවල ඇති යම් යම් සමානකම් අනුව පෙනේ.

මඩවල චිත්‍රපට තුනකට ගීත ලියා ඇත. ඒ ‘ගැටවරයෝ’, ‘පටාචාරා’ හා ‘ඉඳුනිල්’ය. ‘ගැටවරයෝ’ චිත්‍රපටයට ලියූ ‘ස්වර්ණ විමානෙට’, ‘හීන හතක් මැද’, ‘පටාචාරා’ චිත්‍රපටයට ලියූ ‘තණ්හා ආසා’, ‘බාලොලි ලොලි’, ‘නොදැමුණු රළ පතරේ’ සාර්ථක ගී නිර්මාණ වෙයි. මේ ගීවලින් පෙන්නුම් කරන්නේ නිසදැස් කවියේ අාභාසයයි. නිදහස් කාව්‍ය රීතිය චිත්‍රපට ගීතයට ගෙන ආවේ මඩවල බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අදහසයි.

මඩවලගේ නවකතා, කෙටිකතා පිළිබඳ ඇගැයීමක් වෙනම ලිපියකින් කළ යුත්තකි. ඔහුගේ සාහිත්‍ය ප්‍රබන්ධවල උඩරට ගැමි වාග් මාලාව මනාව යොදා ගෙන ඇත. තුඹුල්ල, මල්ලැහැව, මඩවල සමන්තැන්න වැනි ග්‍රාමීය පෙදෙස් ඔහුගේ කෘතින්ට පසුබිම් වෙයි.

‘දෙසතිය’ පුවත් සඟරාව වෙනුවෙන් මම වරක් මඩවල සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදුණෙමි. ඉතාම සරල, නිර්ව්‍යාජ ගැමියකු ඔහු වෙතින් එදා මට දැකගත හැකි වූයේය. ‘පෑනෙන් අඳුරට නොගැලු සිතුවිලි’ යන ශිර්ෂය ඒ මගේ එකී ලිපියට යෙදුවේ ගාමිණි විජේතුංගය.

මඩවල අපෙන් සමුගත් අවස්ථාවේ ප්‍රවීණ පුවත්පත් කලාවේදි අජිත් සමරනායක ඔහු ගැන අගනා මරණාස්මෘති සටහනක් ලීවේය. එහි ශිර්ෂය වූයේ ‘ද රොමෑන්ටික් අවුට්සයිඩර්’ ය. ඇත්තටම මඩවලගේ කව්, ගී, ප්‍රබන්ධ කතා සලකා බලන විට ඔහු රොමෑන්තික පිටස්තරයකු යැයි කිව හැකිය.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්