හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ප්‍රතිබිම්බ පුපුරුවා හැරීම

ප්‍රතිබිම්බ පුපුරුවා හැරීම

 

මේ දිනවල දහවල දිග ය. විඩාබර හිරු සිය රශ්මිය වලාකුළු අතර සඟවා නික්ම ගියේ දැන් ටිකකට කලිනි. ගංගාරාම වැව් තීරය ඝෝෂාවෙන් ම බොහෝ කලබලයට පත් ව තිබිණි. වැව දෙසට මුහුණ ලා තැබූ සිමෙන්ති බංකුවක හිඳ මම වැව් තීරය දෙස බලා හුන්නෙමි. වැව් දිය වරෙක ගැඹුරු ව නිසල ව සිටී; තවත් වරෙක හමන මඳනලත් සමඟ ම රැලි තරංග විහිදුවමින් තාලයකට පැද්දෙයි. වැව් දියත් ජීවිතය සේ ම ය. වරෙක නිසල ව සිටින එය තවත් ‍වරෙක කුඩා මඳනලකට පවා සසල වන්නේ ය; කලබල වන්නේ ය. ජීවිතය සේම බොහෝ දේ දරා ගන්නා වැව් දිය නිහඬ ව ඒ සියල්ලට ම උපේක්ෂාවෙන් මුහුණ දෙන්නේ ය. දෙමව්පියන් පරිද්දෙන් ම ඒ සියල්ල ම තම ඇකයේ සඟවා ගෙන මතුපිටට ඒ කිසිවකුත් නොපෙන්වා ශාන්ත ව ඉන්නේ ය.

ඈතින් ඇසුණු වෙඩි හඬකට බිය වූ අවට ගස්වල සැඳෑව ගතකරන්නට පැමිණ සිටි කාක්කෝ කලබල වූහ. කාක්කන්ගේ කරවුවෙන් මුළු පරිසරය ම වැසී ගියේය. ගලා එමින් තිබූ අන්ධකාරය තවත් සිය දහස් ගුණයකින් වැඩි කරමින් මුළු අහස්තලය ම නොපෙනී යන ලෙසින් කාක්කෝ වියනක් ව අහස්තලය වසා ගත්හ. නිහඬබව බිඳ පරිසරය ම ගිනිගන්නට මහ වේලාවක් ගත වූයේ නැත. ජීවිතය සේම ක්ෂණයෙන් එය ද ගිනි ගත්තේය. සිතාමතා කිසිවකුත් කලබල නොවන්නා හා සේම කාක්කන් නිසා ගිනිගත් පරිසරය ද එසේ වූයේ ක්ෂණික ව ම ය. කරවු කළ කාක්කෝ වෙඬි හඬ අමතක ව ගිය ඇසිල්ලේ නැවත තුරු හිස් මත සැඳෑව ගත කරන්නට වැහුවෝ ය. කාක්කන් ට බොහෝ දේ අමතක වන්නට ගත වන්නේ සුළු කාලයකි; හරියට ම මිනිසුන්ට මෙනි.

සොබාදහම බොහෝ දේ මෙසේ ඇති කළද එයට චින්තනය ඇති කළ හැකි වීද? මහා ගල් පර්වත, ඒ මැදින් ගලා එන සොඳුරු දිය ඇලි, සියවස් ගණන් සිය මව්බිමට යුතුකම් ඉටු කරන වනස්පති, ගංගා සමුදුරු ආදී විස්මයජනක සොබාදම් නිමැවුම් මිනිසාගේ නිර්මාණ නොවේ. මිනිසා කරන්නේ ඒවා විනාශ කිරීමට ක්‍රම සෙවීම ය. එසේත් නැතිනම් සිය චින්තනය මෙහෙයවා විනාශකාරී යුද උපකරණ සෑදීම ය. යහපත් දේට මෙන්ම අයහපත් දේට ද චින්තනය මෙහෙයවීම මිනිසාගේ ස්වභාවයයි. එහෙත් අප ඉදිරි‍යේ ඇති බොහෝ දේ නිරාකරණය කර ගැනීම සඳහා, ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා චින්තනය කොතෙක් ඉවහල් වී ඇති දැයි ඔබට කෙදිනක හෝ සිතී තිබේද? එපමණක් නොවෙයි, අවම වශයෙන් චින්තනයේ ක්‍රියාකාරිත්වය කෙබඳුදැයි හෝ අප සිතා තිබේද?

අප සිතන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ය. මොළයේ ක්‍රියාකාරීත්වය නිසා හට ගන්නා දැනුම ප්‍රායෝගික තලයට ගෙන එන්නේ අත්දැකීම් මඟිනි. ලක්ෂ සංඛ්‍යාත වූ අත්දැකීම් සම්භාරයක් මිනිසා සතු ය. ඒ අත්දැකීම් නිසා යථාර්ථය හා ගැළපෙන සේම නොගැළපෙන දැනුම් සම්භාරයක් ද හට ගෙන තිබේ. ඒ දැනුම ස්මෘතියයි; එය මොළයේ තැන්පත් ව තිබේ. අපට යම් කිසි ප්‍රශ්නයක් පැනෙන විට ස්මෘතියෙන් ඊට ලැබෙන ප්‍රතිචාරය චින්තනයයි. මඳක් සිතුවොත් ඔබට ම එය වැටහෙනු නියතයි.

අපි මේ ගැටලුව මඳක් ලිහිල් කර ගනිමුද? ඔබට, මට අත්දැකීම් තිබේ. ඒ අත්දැකීම්හි ඵලය වන්නේ අප වෙත ඒකරාශී වූ දැනුමයි. ඒ දැනුම ඇත්තේ ඔබේ, මගේ මතකයෙහි ය. මතකයෙන් හෙවත් ස්මෘතියෙන් සමන්විත ඒ දැනීම චින්තනය බිහිකරයි. ඔබ ම ආදර්ශයට ගෙන මේ ගැන සිතා බලන්න. අත්දැකීම් නැතිනම් ඔබට සිතන්නට හැකියාව ලැබෙන්නේ නැත. ඔබ යම් යම් දේට ප්‍රතිචාර දක්වන්නේ තම අත්දැකීම් ඔස්සේ පහළ වූ දැනීම හේතුවෙන් නොවේද?

ඔබට යම් අභියෝගයක් හෝ ප්‍රශ්නයක් පැන නඟින්නේ නම් ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ චින්තනය උපයෝගී කර ගනිමිනි. එහෙත් ඔබට දැනී තිබෙනවා ද අත්දැකීම් ඔස්සේ තිළිණ වූ දැනීම බොහෝ විට සීමාසහිත බව. කිසිම විටෙක කිසිම දෙයක් ගැන පරිපූර්ණ වූ දැනුමක් උත්පාදනය නොවන්නේ ය. යථාර්ථයේ සත්‍යය එයයි. එපමණක් නොවෙයි; ඒ ඔස්සේ හට ගන්නා චින්තනයත් සීමාසහිතයි. චින්තනය කොතරම් රමණීය වුවත් කදිම පන්සලක්, විස්මය දනවන පිළිමයක්, ශ්‍රේෂ්ඨ නවකතාවක් හෝ කාව්‍යයක් යනාදී මේ කවර අන්දමේ චින්තනයේ ප්‍රතිඵලයක් ගෙන බැලුවත් පෙනෙන්නේ ඒවායේ අඬුලුහුඬුකම් ඇති බව ය; එනම් සීමාසහිත බව ය; ඊට වඩා හොඳ දෙයක් නිර්මාණය කරගත හැකි බව ය. ඔබට ම ආදේශ කරගෙන බලන්න. ඔබ කරන ඕනෑම දෙයක් ඊට වඩා හොඳින් කරන්නට තිබුණා නොවේදැයි ඔබට ඒ ක්‍රියාවෙන් අනතුරුව සිතෙනවා නොඅනුමානයි.

ඔබේ ඒ චින්තනයේ ප්‍රතිඵල වශයෙන් ඔබ විසින් ම විවිධ අය අරභයා විවිධ ප්‍රතිබිම්බ සාදා ගෙන ඇත. ඔහු මෙසේය; ඔහුගේ නිර්මාණ කෞශල්‍ය මෙපමණ ය; ඔහුගේ චරිත ලක්ෂණ මේ වැනිය යනාදී වශයෙන් ඔබ විවිධ ප්‍රතිබිම්බ සාදා ගෙන ඇති බවට සැක නැත.

මා ඔබට ආරාධනා කරන්නේ ඔබ ඔබෙන් ම වටහා ගත් පරිද්දෙන් මේ සීමාසහිත අත්දැකීම් ඔස්සේ ඔබ විසින් සාදා ගත් ප්‍රතිබිම්බ පුපුරුවා හරින ලෙසයි. ඒවා දෙස තවත් එක් කෝණයකින් පමණක් නොබලා ඒවා ක්ෂණයෙන් වෙනස් විය හැකි බැව් වටහා ගෙන ඒ දෙස විවෘත ව බලන ලෙසයි. එවිට ඔබට මේ ලෝකය තවත් සුන්දර ලෙසින් පෙනෙනා බැව් මට සහතික වශයෙන් ම කිව හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්