හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සමාජ යථාර්ථය මැනවින් ග්‍රහණය කරගත් නවකතාවක්

සමාජ යථාර්ථය මැනවින් ග්‍රහණය කරගත් නවකතාවක්
විමර්ශන

කෘතිය - රළ කරළිය
කර්තෘ - අමිලා නදීශානි
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

වත්මනෙහි ජීවත්වන ජනතාවට මෑතදී නොසිතූ විරූ ඛේදවාචක දෙකකට මුහුණපාන්නට සිදුවිය. ඒ ඛේදවාචක දෙකෙන් ම මේ රටේ අහිංසක ජනතාව දහස් ගණනින් මිය ගියහ. එකක් නම් කුරිරු යුද්ධයයි. අනිත් කරුණ නම් සුනාමියයි. මේ සිද්ධීන් දෙක ම බොහෝ විට අපට මඟහැර ගොස් අවම ජීවිත හානියකින් නිම කරගත හැකිව තිබුණි. නමුත් පාලකයන්ගේ නොමනා ක්‍රියා කලාප නිසා විනාශ වුණේ මේ ර‍ෙට් දේපළ සහ ප‍ීඩිත ජනතාව ය. අමිලා නදීශානි ලේඛිකාවගේ රළ කරළිය නවකතාවට පසුබිම් වන්නේ මේ ඛේදවාචක දෙක ය. ඒ හරහා ඇය මතු කරන සමාජ යථාර්ථය ගැඹුරු ය.

නවකතාව ඇරඹෙන්නේ හමුදාවට ගොස් අතුරුදන් වූවා යැයි සිතන තම ස්වාමියා (ජයන්ත) දෑස් අන්ධ වී යළිත් තමාගේ ලෝකයට පැමිණෙන විස්තර කථනයකිනි. ආරම්භය එලෙස සනිටුහන් කිරීම, නවකතාව නොමැති කියවාගෙන යෑම සඳහා උත්තේජනයක් සපයයි. මෙය යුද්ධය ආශ්‍රිත සිද්ධියක් වුව ද ඒ හරහා උතුරේ යුද්ධය මුල්කර ගනිමින් ජාතිවාදී ප්‍රවණතා මතු කිරීමට කතුවරිය උත්සාහ නොකරයි.

කාත් කවුරුත් නොමැති රත්නමාලි ජීවිතය ගැට‍ගසා ගැනීම සඳහා මේ සමාජය තුළ අනේක දුක් විඳියි. ඇයට අභිමුඛ වන්නේ සතුරු බලවේගයන් ය. නින්දා අපහාසය ආදී සියල්ල අභියෝග ලෙස පිළිගන්නා ඇය තම දරුවා කුසෙහි දරාගෙන ඒ සැමට මුහුණ දෙයි. මේ පුරුෂ මූලික සමාජයේ අම්මා කෙනකු වීමට සිටින තනි වූ ස්ත්‍රියක් මොන තරම් අවාසනාවන්ත දැයි මේ කතාව කියවන විට හැ‍‍ඟෙයි. මේ සමාජය තුළ තරුණියක් විවාහ වී, තම ස්වාමියා අතුරුදන් වී නෑදෑයින්ගේ අඩන්තෙට්ටම්වලට ලක්වූ විට තම ජීවිතයෙන් සමුගැනීමට පවා යොමු වීම පුදුමයට කරුණක් නොවනු ඇත. නමුත් සමාජය තේරුම් ගනිමින් මේ සියලු බාධක මැද ජීවිතය ජය ගැනීමට රත්නමාලි නමැති මේ ප්‍රධාන චරිතය පිය නඟන අයුරු ආස්්වාදජනකය.

රත්නමාලි තම දරුවා කුසේ දරා ගනිමින් තැන තැන බැළ මෙහෙවරකම් කරමින් ජීවත්වෙන්නේ මේ සමාජය හොඳින් තේරුම් ගනිමින් ඇයට වෙනත් පිරිමින් ඇසුරු කිරීමේ අවකාශය තිබුණි. නමුත් ඒ සෑම අවස්ථාවක් ම මඟ හරිමින් යන්තම් හෝ තමාට ආරක්ෂාවක් ඇති ආරෝග්‍යශාලාව කරා ඇය පිය නඟයි. ඇය දරුවන් ලැබීමට සිටින අනිකුත් අම්මලා සමඟ දුක සැප බෙදා ගනිමින් ජීවිතයට මුහුණ දෙයි. කෙසේ හෝ දරුවා බිහිකර ගත් පසු යෑමට තැනක් ඇයට නැත. කිසිදු හව් හරණයක් නැත. ඇයට ආපසු එන්නට සිදුවන්නේ මුඩුක්කුවට ය. රජයේ ආරෝග්‍යශාලාවල දරුවන් ලැබීමට සිටිනා අම්මලා විඳින දුක ද මුඩුක්කු ජීවිතය ද ඇය විස්තර කරන්නේ ඉතා සංවේදී ව ය. ඉස්පිරිතාලයේ වැසිකිළියේදී අම්මා කෙනෙකුට දරුවකු ලැබීමේ සිද්ධිය ඇය ඉදිරිපත් කරන ආකාරය ඉතා සංවේදීය.

මේ අම්මා ටොයිලට් ගියාද?

මේ අම්මා

ආහ්.... කෝ... කෝ ගිහිං එන්න වැසිකිළි ගිහිං පිරිසිදු වෙලා එන්න.

අනේ මන්දා වැරැද්ද කාගෙද කියලා ඔහොම වෙලාවක එකියකට වැසිකිළියේදි ළමයා ලැබුණා. මේ ඇත්තමයි දොර ලෑල්ලකුත් හේත්තු කරගෙන ඒකි ලැට් එක ඇතුළේ.

අම්මෝ... බුදු අම්මෝ... අනේ මගේ දරුවා... අයි...‍ යියෝ...

කෑගහන සද්දෙට මං ඉබේට ම වගේ ඒ පැත්තට දිව්වා. මාත් අමාරුවෙං බඩ පොඩිය උස්සාගෙන අර දොර පළුව උස්සලා පැත්තකට කළානේ. මේ අම්මා තමයි යකාගේ ගෑනි. ලේ පෙරාගෙන ඇඳපු චිත්තෙං දරු පැටියත් උණ්ඩි කරගෙන එළියට ආවා, ලේ විලයි, වියරු වෙලා වගේ වැසිකිළියේ පාත් වෙනකොටම ඒකිට ළමයා ලැබිලා. පටස් ගාලා කිරි සප්පයාව චීත්තේ උණ්ඩි කරගන්ඩ තරම් හයියක් තිබුණ හැටි.... (52 පිට)

කතුවරිය අවස්ථා නිරූපණය සඳහා මනා දක්ෂතාවයක් දක්වන බව ඉහත ඡේදයෙන් වුව ද වටහාගත හැකි ය. කෘතිය පුරාම යම් යම් සිද්ධි නිරූපණය කිරීමේදී ඇය අවස්ථා නිරූපණය සහ ඒ අවස්ථාවන්ට මුහුණ දෙන චරිතවල මනෝ භාවය ද කදිම ලෙස නිරූපණය කර ඇත.

කු‍ඩා දරුවා ලැබුණු පසු ඒ බිලිඳුව නම් කරන්නේ ද තම ස්වාමියාගේ නමිනි. කුඩා දරුවා ජයන්තය. ඒ ස්වාමියාගේ නම ය. ඇයට ඇත්තේ ඒ සැනසීම පමණි. මාතාවක් ලෙස කුඩා දරුවා රැගෙන මහපාරට බසියි. ඒ වනවිට මේ සමාජයේ ම තවත් පුරුෂ චරිතයක් ඇයට හමුවෙයි. ඔහු අර්නි ය. මේ සමාජ පරිසරයේ ම චරිතයක් වන ඒ පුරුෂයා ඇයට සලකන්නේ සහෝදරයකු සේ ය. එවැනි චරිත සමාජයේ ඇත. ඇය ඔහුත් සමඟ කුඩා ලෑලි ගෙයක කල් ගෙවයි. රත්නමාලිට ඇත්තේ අතීත ශෝකයෙන් මිදීම සහ තම දරුවා හදාවඩා ගැනීමේ පරම චේතනාව පමණි. අර්නි නමැති පුරුෂයා ඇගේ අදහස්වලට සමීපය. ඔහු ද සංවේදී මිනිසෙකි. ඔහු ඇයට උපකාර කරන්නේ කිසිදු අයුතු බලපෑමකින් තොරව ය. ඉන්පසු ඇගේ ජීවිතය ගොඩනැ‍ඟෙන්නේ අර්නි යන පුරුෂයා මුල් කොටගත් සමාජ පරිසරයේ ය. මාතාවක් ලෙස තම පුතාත් සමඟ ජීවන ගමන යාම සඳහා දරන උත්සාහයට අර්නිගේ ඇසුර මහත් පිටුවහලක් වෙයි. ඇගේ එකම අභිප්‍රාය වන්නේ තම පුතා කිසියම් නිශ්චිත අරමුණකට යොමුකර ජීවිතය ගොඩනැංවීම පමණි. මෙවැනි වාතාවරණයක ජීවත්වන මාතාවකට මුහුණපාන්නට සිදුවන සියලු දුක් දොම්නස්වලට ඇය මුහුණ දෙන්නේ නිර්භීත බවකිනි. මේ චරිතය ගොඩනැඟීම සඳහා කතුවරිය මේ පරිසරයේ ජීවත්වන චණ්ඩි චරිත ද රත්නමාලිට එරෙහිව උපයෝගි කර ගනියි. ඇය කිසිවකින් සසල වන්නේ නැත.

අර්නිගේ සැදැහැවත් චරිතය වටා රත්නමාලි භ්‍රමණය වෙයි. ඇයට ඔහුට ආදරය කරන්නට ද සිතෙයි‍‍‍. එය ස්වාභාවික ය. එහෙත් ඇය තම සිතැඟි පාලනය කර ගනිමින් මේ කර්කශ පරිසරය මැද ජීවත්වන්නේ තම ස්වාමියාගේ ගෞරවය සහ ඔහු නිසා ලද පුතාගේ ආත්ම ගෞරවය ද සලකා ය. නවකතාව කියවා ගෙන යනවිට සිතෙන්නේ රත්නමාලි අර්නිට ආදරය නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නයයි. අපේ සිත ද රත්නමාලි ‍සමඟ බැ‍ඳෙන්නේ ඇය අර්නිට ආදරය නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නය මත ය. එහෙත් කාලය ඉක්මයත්ම අර්නි ද ඇ‍යගෙන් ඈත්වෙමින් සමාජීය ලෙස අර්නිට බලපාන ප්‍රශ්න නිසා ය. එම පරිසරය තුළ එසේ සිදුවීම පුදුමයක් නොවන බව පාඨකයාට හැ‍ඟෙයි. චණ්ඩියකුගෙන් රත්නමාලි බේරා ගැනීම සඳහා එම චණ්ඩියාව ඝාතනය කිරීමට පවා අර්නි මැදිහත් වෙයි. ඉන්පසු අර්නි ද රත්නමාලිගේ දර්ශන පථයෙන් ඈත් වෙයි. යළිත් ඇය තම කුඩා පුතාත් සමඟ තනිවෙයි. එහෙත් ඒ තනිවීම හරහා ම යළිත් ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ඇය දිරිමත් වෙයි. ඒ වනවිට තම ජීවිතය වෙනස් මගකට යොමු කිරීම සඳහා උපකාරි වන්නේ ද තම පුතාගේ චරියාව ය. ගීත ගායනා කිරීම සඳහා ඇයව පොලඹවන්නේ පුතා ය. එය හාස්කමක් මෙන් ඇයට දැනෙයි. තැඹිලි සීයාගේ පාළු බක්කිය තම නිවහන කරගන්නා මොවුන් විකිණීම යන කුඩා කුඩා වෙළඳාම් සඳහා ද අවතීර්ණ වෙයි. දැන් දැන් ක්‍රමයෙන් මෙ ජීවිත දෙකම නි‍සංසලේ ගොඩනැ‍ඟෙයි. ආශ්චර්යයක් ලෙස කඩා පනින ගීත ගායනා තරගය මේ ජීවිත වෙනස්කිරීම සඳහා මැදිහත් වීම අප තේරුම් ගන්නේ කෙසේද? ජනප්‍රිය සංස්කෘතිය රත්නමාලිගේ ජීවිතයට කඩා වැදීම අහම්බයක් ද? නූතන සමාජයේ පවත්නා මාධ්‍ය සංදර්ශන ජීවිත කුමන ආකාරයෙන් වෙනස් කරන්නේ ද යන ප්‍රශ්නය නවකතාවේ අග භාගයේදී අපට හොඳින් දැනෙයි. මේ අප නූතන සමාජයේ යථාර්ථය නොවේද? එම යථාර්ථය සනිටුහන් කිරීම අමිලා නවකතාවේ එක් අභිමතාර්ථයක් වී දැයි අපට සිතේ. කෙසේ වුව ද ගීත තරග දිනා විශාල මුදල් සම්භාරයක් ලැබීම ද තම ජීවිතය නව මාවතකට යොමුකර ගැනීම සඳහා දරන උත්සාහය ද මේ චරිත වටා අමිලා මනාව සංකලනය කර ඇත.

තම පොඩි පුතා සමාජය තුළ කරන දඩබ්බර හැසිරීම් ද පාලනය කර ගනිමින් මේ මාතාව දිගින් දිගටම ජීවිතයට මුහුණ දෙයි. පොඩි එකාගේ සමහර ක්‍රියා පිළිබඳව ඇය විස්තර කරන ආකාරය තුළ ඒ අවස්ථා නිරූපණය කිරීම ද උචිත ලෙස භාෂාව හැසිරවීම ද අගේ කළ හැකි ය.

අම්මේ මේකේ තියෙන සල්ලි ටික එහෙම මුදලාලිට දෙන්න එපා. පොඩි එකා හංගලා තිබ්බ පොඩි බෝතලයක් අතට ගත්තා. ඒ ඌ එකතු කරපුවා‍. ඌට ඇහෙන්ඩ ඇති සල්ලි දෙන්නං කියලා, මං මුදලාලිට කියනවා, උඹ හරි පුදුමාකාර චරිතයක් පුතේ. මම අහන්නේ නැහැ උඹ මොකටද ස්වීප් විකුණන්න ගියේ කියලා. ඒ හැමදේම මට තේරෙනවා. මට මැවිලා පේනවා.....(169 පිට) පුතා සහ මව අතර සම්බන්ධය ගැඹුරින් ප්‍රකාශ කිරීම සඳහා ඇය මවන අවස්ථා මේ කෘතිය තුළ කැපී පෙනෙයි.

අමිලා නදීශානි ලියා ඇත්තේ ඇගේ ජීවිත කතාව දැයි මම නොදනිමි. ජීවිත කතාව වුව ද එහි වරදක් නැත. තම ජීවන අත්දැකීම් නිර්මාණ සඳහා යොදා ගැනීම ප්‍රශ්නයක් නැත.‍ මේ ඇගේ ජීවිත කතාව වුව ද ඒ හරහා මේ බිහිසුණු සමාජය කියැවීමට ඇය දරන උත්සාහය අගේ කළ යුතු ය. නවකතාව අවසානයේ ස්වීප් ජයග්‍රහණයකින් නවකතාව නිම කිරීම තරමක් අභව්‍ය බව සිතේ. පොදුවේ ගත් කල නවකතාව සාර්ථකය.

 ආරියතිලක පීරිස්

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්