හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ශ්‍රී ලංකාවේ මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා

ශ්‍රී ලංකාවේ මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා

පාලම

මාර්ටින් වික්‍ර­ම­සිංහ හා ජී.බී. සේනා­නා­ ය­කගේ පටන් වර්ත­මාන ලේඛක පර­පුර දක්වා  සිය ගණ­නක් සිංහල ලේඛ­ක­යන් දෙමළ ජන­තා­වට හඳුන්වා දුන්නේ ‘මල්ලිකෛ’ සඟ­රාව මඟිනි. නොක­ඩවා වසර 50ක් පුරා ඔහු මෙම සඟ­රාව ස්වෝත්සා­හ­යෙන් පළ කළේය. තනි­වම වැඩක්­ප­ළක් කර­ගැ­නී­මට බැරි තර­මට ඔහු විය­පත් වූ විට ‘මල්ලිකෛ’ පළ කිරීම නැව­තිණ. ඔහු වෙනු­වෙන් එය දිග­ටම පළ කිරී­මට දෙමළ හා මුස්ලිම් ලේඛ­ක­යන් කිහිප දෙනකු ඉදි­රි­පත් වුවද තර­මක හිතු­ව­ක්කා­ර­යකු වූ ඩොමි­නික් ඊට කැමැති වූයේ නැත.

අද දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියා කවුරුන් ද කියා විමසුවහොත් ඊට දිය හැකි කෙටිම පිළිතුර වන්නේ ඩොමිනික් ජීවා යනුවෙනි. ඩොමිනික් ජීවා වැදගත් වන්නේ දෙමළ සාහිත්‍යයේ ජ්‍යෙෂ්ඨයා වීම නිසා පමණක්ම නොවේ. සමස්ත ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ප්‍රථම නිර්ධන පාන්තික ලේඛකයා වශයෙන් ද ඔහු හැඳින්විය හැකි යයි මම සිතමි. ජනවර්ගය, කුලය හා පන්තිය ආදි සමාජ සම්බාධකවලට සාපේක්ෂව බලන කල ඩොමිනික් ජීවා තරම් පීඩනයට, අසාධාරණයට හා අවමානයට ලක් වූ වෙනත් ලේඛකයන් ශ්‍රී ලාංකික සාහිත භූමියෙන් සොයා ගැනීම උගහටය යනු මගේ හැඟීමයි.

රුසියාවේ මැක්සිම් ගෝර්කිට හෝ එංගලන්තයේ චාල්ස් ඩිකන්ස්ට සමාකම් පාන ලේඛකයකු මෙරටින් සොයන්නේ නම් නිතැතින්ම මා මතකයට නැ‍ඟෙනුයේ ඩොමිනික් ජීවාය. ඩොමිනික් යනු දෙමළ සාහිත්‍යයේ සලකුණක් පමණක් නොව ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ප්‍රදීපස්තම්බයක් ලෙස බුහුමනට ලක්විය යුතු නාමයකි. කුල භේදය, ඇති නැති පරතරය ආදි පීඩනයන් ඔඩු දිව ගොස් තිබූ 1927 බඳු සමයක යාපනයේ පීඩිතම කුලයක් වන කරනවෑමි පවුලක උපත ලද ඩොමිනික් ජීවාට පස් වන පන්තියෙන් ඔබ්බට සිල්ප ලබන්නට ඉඩ ලැබුණේ නැත. ගණිත ගුරුවරයාගේ අත්වැරැද්දක් පෙන්වන්නට ඉදිරිපත් වූ ඩොමිනික්ට සිදු වුණේ සදහටම පාසලෙන් සමුගන්නටය. ‘තොපි ඉස්කෝලවලට වද්දාගන්න වටින උන් නෙමේ. පල ගිහින් තාත්තලාගේ රස්සාවට බැහැපිය. ආයෙමත් මේ පැත්ත පළාතෙ ආවොත් බලාගෙනයි.’ යාපනේ ඉහළ කුලයකට අයත් ගුරුවරයා ඩොමිනික් පන්තියෙන් පන්නා දැමීය.

ඩොමිනික් ජීවා කෙළින්ම ගොස් නැවතුණේ යාපනයේ කස්තුරියාර් වීදියේ පිහිටි ‘ජෝසප් සැලුන්’ එකේය. එහි ඔහුගේ පියාත් සොහොයුරාත් ජීවිතා වෘත්තියේ නිරතව සිටියහ. දෑසේ නැඟුණු කඳුළු පිසදා දැමු ඔහු සැලුනයේ පොළවට අත ගසා තමාටම මෙසේ දිවුරා ගත්තේය. “මං කවදා හරි ගුරුතුමාට පෙන්වනවා ඩොමිනික් ජීවා කියන්නෙ කවුද කියලා” ඔහු එතැන් පටන් සාප්පුවේ වැඩට උදවු කරමින් ඉඩක් ලැබෙන හැම මොහොතකම යාබද පිහිටි ‘පූබාලසිංගම් පොත් සාප්පුව වෙත දිව ගියේය. මේ උද්‍යෝගිමත් ළමා පාඨකයා කෙරෙහි පැහැදුණු පූබාලසිංහම් මහතා කියවා ආපසු දෙන ලෙස පවසා ඔහුට අලුත් පොත්පත් පිරිනැමීය.

පොත් සාප්පුවට නිතර ගොඩ වන රාජ ගෝපාල් නම් ගුරු පියකුට මේ කොලු ගැටයා ඇස ගැසිණි. පූබාලසිංහම් පොත්හල ඉදිරිපිට බංකුවකට වී උනන්දුවෙන් පොත් කියවන මේ කොලුවා දුර ගමනක් යාමට අරඅඳින්නෙකු බව ගුරුතුමා සැණින් වටහා ගත්තේය. “පොත් කියවලා විතරක් මදි. ලියන්ඩත් පුරුදු වෙන්ඩ ඕනැ.” ඉස්කෝල මහතා දිනක් පැවසූ ඒ වදන ඩොමිනික‍්ගේ සිතේ තදින්ම කා වැදිණ. ටික දවසක් ගත වන විට ඩොමිනික්ගේ අතින් පුංචි පුංචි නිර්මාණ බිහි විය. ඔහු ඒවා රාජගෝපාල් ගුරුතුමා අතට දුන්නේය. එතුමා ඒවා කියවා අඩුපාඩු පෙන්වා දුන්නේය. ඉන් පසු ගුරුතුමාගේ මඟ පෙන්වීම අනුව ඔහු පත්තර සඟරාවලට ලියන්න පටන් ගත්තේය. ලංකාවේ පමණක් නොව දකුණු ඉන්දියාවේ නම් දැරූ දෙමළ වාමාංශික පුවත්පත් වන ‘වසන්දම්’, ‘සරස්වතී’ හා ‘කාමරෛ’ ආදියේ ද ඔහුගේ නිර්මාණ පළ විණ.

සමාජයට බලපෑම් කළ හැකි ලේඛඛයකු වීමට

නම් තමාට කිසියම් සමාජ හා දේශපාලන දෘෂ්ටියක් අවැසි බව තුරුණු වියට එළඹෙත්ම ඩොමිනික් ජිවා තේරුම් ගත්තේය. එකල යාපනයේ වාම දේශපාලනයේ පෙරමුණ ගෙන සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයය. අවුරුදු 18 පිරෙන විට ඩොමිනික් එහි සාමාජිකත්වය ලබා ගත්තේය. යාපනයේ සෙසු සියලුම දේශපාලන පක්ෂ ප්‍රභූ පැලැන්තියේ උවමනාවන් නියෝජනය කළේය. යාපනයේ ප්‍රගතිශීලී තරුණ ප්‍රජාව සමඟ අත්වැල් බැඳගත් ඩොමිනික් කුල පීඩනයට හා ධනපති පන්තියට එරෙහිව සටනට බැස්සේය. එකල සොහොන් බිම් පවා වෙන් කර තිබුණේ කුල භේදය අනුවය. මියගිය වුන්ට අවමන් කෙරෙන මෙම ක්‍රමයට විරෝධය පාමින් ඩොමිනික් ඇතුළු ප්‍රගතිශීලි තරුණ කණ්ඩායම කුලහීන ස්ත්‍රියකගේ දේහයක් කුලීනයන්ට වෙන් කර තිබූ සොහොන් පිටියක් වෙත බලහත්කාරයෙන් රැගෙන ගියහ. කුලීනයෝ සංවිධානය වී අවමඟුල් පෙරහරට වෙඩි තැබූහ. නායකත්වය දුන් එක් තරුණයෙක් මිය ගියේය. ඩොමිනික් බේරුණේ අනූ නවයෙනි.

මෙවන් පීඩනයන් තේමා කරගනිමින් ඩොමිනික් නිර්මාණ කළේය. ඔහුගේ ජනප්‍රියම සාහිත්‍යාංගය වන කෙටිකතා කලාවට බොහෝ විට පාදක වුණේ ජනතාවට ඉදිරි දර්ශනයන් සපයන අත්දැකීම් සහිත නිර්මාණය. ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ‘තන්නීරුම් - කන්නීරුම් (වතුරයි - කඳුළුයි) මුද්‍රණය කළේ මදුරාසියේය. 1960 නිකුත් වූ එම පොතට 1961 දී රාජ්‍ය සම්මාන හිමි විය. දෙමළ කෘතියකට රාජ්‍ය සම්මාන පිදූ ප්‍රථම අවස්ථාව වශයෙන් ද එය ඉතිහාසගත වී තිබේ. යාපනයේ ඩොමිනික් ජීවා පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කෙරිණි. එහෙත් කුලීනයෝ එය වර්ජනය කළහ. යාපනය ගුරු විදුහලේ එක් ප්‍රබූ කථිකාචාර්යවරයෙක් පවසා තිබුණේ ‘බාබර්ලාට සම්මාන දීමෙන් දෙමළ සාහිත්‍ය විනාශ වන’ බවය. ඩොමිනික් මේ කිසිදු අවමානයක්. අභියෝගයක් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ඔහු සැබෑ ජනතා මිතුරකු ලෙසින් දිගටම සිය පන්හිඳට පණ පෙවීය.

අපේ බොහොමයක් දේශපාලනඥයන් හා කලාකරුවන් වාර්ගික සුහදත්වය පිළිබඳ කතාබස් කරන්නට බොහෝ කලින් ඩොමිනික් ජීවා සිය ශක්ති පමණින් ඊට දායක විය. ඒ අදින් අඩ සියවසකට පමණ කලිනි. ‘පිච්චමල’ නම් සිංහල අරුත් ඇති ‘මල්ලිකෛ’ සඟරාව ඔහු ආරම්භ කළේ ජාතික සමඟිය සඳහා පාලමක් තනනු රිසියෙනි. මාර්ටින් වික්‍රමසිංහ හා ජී. බී. සේනානායකගේ පටන් වර්තමාන ලේඛන පරපුර දක්වා සිය ගණනක් සිංහල ලේඛකයන් දෙමළ ජනතාවට හඳුන්වා දුන්නේ ‘මල්ලිකෛ’ සඟරාව මඟිනි. නොකඩවා වසර 50 ක් පුරා ඔහු මෙම සඟරාව ස්වෝත්සාහයෙන් පළ කළේය. තනිවම වැඩපලක් කරගැනීමට බැරි තරමට ඔහු වියපත් වූ විට ‘මල්ලිකෛ’ පළ කිරීම නැවතිණ. ඔහු වෙනුවෙන් එය දිගටම පළ කිරීමට දෙමළ හා මුස්ලිම් ලේඛකයන් කිහිප දෙනකු ඉදිරිපත් වුවද තරමක හිතුවක්කාරයකු වූ ඩොමිනික් ඊට කැමැති වූයේ නැත.

කෙටිකතාව සිය එකම ප්‍රකාශන මාධ්‍යය බවට පත් කරගෙන සිටින ඩොමිනික් ජීවා 1961 දී රාජ්‍ය සම්මාන දිනූ ‘තන්නීරුම් - කන්නීරුම්’ කෘතියට අමතරව තවත් කෘති 4ක් රචනා කර ඇත. ඒවා නම් පාදුනෙයි (පාවහන්), සාලියින් තිරුප්පම් (වංගු පාර), වාරිවින් තරිසනංගල් (ජීවිත දසුන්) හා ඩොමිනික් ජීවා සිරුතන්ඩෙයිහල් (ඩොමිනික් ජීවාගේ කෙටිකතා) වශයෙනි. ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ තවත් කැපී පෙනෙන ලකුණක් වනුයේ සාහිත්‍ය රචනා කෘති හතරක් ද ලියා තිබීමයි. ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානය ‘undrawn portrait for unwritten poetry ලෙසින් ඉංග්‍රීසි බසට ද නැඟී තිබේ. ඩොමිනික් ජීවාගේ කෙටිකතා එකතුවක් ‘පත්තර ප්‍රසූතිය’ නමින් සිංහලට ද නැඟී ඇත. සූර කෙටිකතාකරුවකු වීම සේම ප්‍රගතිශීලී දෘෂ්ටියකින් යුතුව ශ්‍රී ලාංකේය සාහිත්‍යයක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව සිය පන්හිඳ මෙහෙයවූ මානව හිතවාදී සාහිත්‍යකරුවකු වීම ද ඩොමිනික් ජීවා සිංහල, දෙමළ හා මුස්ලිම් ලේඛක ප්‍රජාව අතර මහත් ගෞරවයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවයි.

විදෙස් රටවල ද නිබඳ ඇගැයීමකට ලක්වන ඩොමිනික් ජීවාට මෑතකදී කැනඩාවේ Tamil Thathan නම් සංවිධානය මඟින් මුදල් ත්‍යාගයක් ද සමඟ සම්මානයක් ද පිරිනැමීය. 89 වන වියේ පසුවන ඩොමිනික් ජීවා දැන් මට්ටක්කුලියේ සිය පුතුගේ නිවසේ කල් ගෙවයි. මෙම ජ්‍යෙෂ්ඨ ලේඛකයාට 90 වසර සපිරෙන 2017 ජූනි 27 වනදාට ඔහුගේ විශිෂ්ට සාහිත්‍ය මෙහෙවර අළලා සැමරුම් උලෙළක් පැවැත්වීමට ශ්‍රී ලාංකික සිංහල දෙමළ හා මුස්ලිම් ප්‍රගතිශීලි ලේඛකයෝ එක්ව කටයුතු සංවිධානය කරමින් සිටිති. ඩොමිනික් ජීවා ජ්‍යෙෂ්ඨ ලේඛකයාණන්ට තවත් බොහෝ කලක් සිය සහෝදරත්වයේ හස්තය සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත දිගු කිරීමට ආයු බලය ලැබේවායි ප්‍රාර්ථනය කරමු!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්