හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


හිත රිදෙන කවි

හිත රිදෙන කවි

 


මඩමේ අම්මාගේ  ලියුං කර­ද­හිය...

මා මෙහි නවතා ගිය දින පටං
පුත නුඹ ආවේ නැති නිසාවෙං
දුක සැප දැන­ගන්න ආසාවෙං
මේ ලියුං කර­ද­හිය ලියන්නං
මඩ­මට ඇවි­දින් වස­රක් ගෙවුණා ය
රස­වත් අහර කොතෙක් නම් ලැබුණා ය
නුඹලා සමඟ සෙනෙ­හ­සින් බැඳිලා ම
ලුණුයි බතුයි කෑවත් ඇති හිතුණා ය
පියා නොමැති දා පටන් නුඹ­ලාට
පියා විය මෙමං දුක් ගිනි නො දීම
පල් වතුර පොකුණෙ ලෙලි තළ­ලාම
කර­ගැට කියයි අපෙ දුක් කතාව
කොතැ­නක හෝ නුඹලා නිදු­කින්නං
ඒකයි මගෙ පැතුම ද සදා­කල්
මට දුක නුඹලා දකින්න නැත්තං
හීනෙ­න්වත් දකි­න්නට පතන්නං

 

එක අතෙකින් මහලු මඩම් පිරී - ඉතිරී යයි

තව අතෙකින් ගබ්සා කිරීම් ඉහළ යයි.

අම්මලාට දරුවන් එපා වී ඇත.

දරුවන්ට අම්මලා එපා වී ඇත.

ඉතින් අපේ මානව සබඳතාවලට

සිදුවන්නේ කුමක් ද?

මානව සබඳතා බිඳ වැටීම යන පොදු මාතෘකාව ඔස්සේ මේ නිර්මාණය රචනා වී ඇත. ජයන්ත ග. ජෝතියරත්න කවියාගේ “මාවිල්ආරු නොහොත් මරණයේ දොරටුව” කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනිණි. එය එහි 52 වන කවිය ලෙස සටහන් වන අතර සිරස් තලය හැටියට යොදාගෙන තිබුණේ මහලු මඩමේ සිට අම්මා ලියූ හසුන යන්න ය. අම්මාගේ පසුබිම හා හැසිරීමට අනුව හසුන නො ගැළපෙයි. ලියුං කරදහිය වඩාත් ගැළපෙයි. එබැවින් “මඩමේ අම්මාගේ ලියුං කරදහිය” ලෙස සිරස වෙනස් කළෙමි. “මඩමේ අම්මා” යනුවෙන් එය තවදුරටත් සංක්ෂිප්ත කළ ද වරදක් නැත.

අම්මා යනු සිංහලයෙහි ඇති හැඟුම්බරම වචනය යැයි කියති. තව අතෙකින් මේ සර්වනාමය විශ්ව සාධාරණ අර්ථයකින් ද පුළුල් හැඟුම් සමුදායයකින් ද සමන්විත භාව පූර්ණ යෙදුමක් ලෙස ද හැඳින්විය හැකි ය. තවත් අතෙකින් අම්මා යනු කතාන්දරයක්, ඉතිහාසයක් හා සාංස්කෘතික කියැවීමක් ලෙස ද විග්‍රහ කළ හැකි ය. මව්බිම, මහී කාන්තාව වැනි යෙදුම්වලින් ද එය සනාථ වෙයි. අම්මා වස්තු විෂය කොට ලක්ෂ - සංඛ්‍යාත නිර්මාණ සමූහයක් බිහි වී ඇති සේ ම අදටත් නිර්මාණය වෙමින් පවතී. මෙබඳු පොදු මාතෘකාවක් ඔස්සේ පද්‍යකරණයට පිවිසීමේ දී කවියා පරෙස්සමෙන් සිය තෝරා ගැනීම් කළ යුතු ය. නැතහොත් නිර්මාණයෙහි අපූර්වත්වය පිළිබඳ සාධකය බිඳී යයි.

කවියාගේ තෝරා ගැනීම් නරක නැත. මහලු මව ඇත්තේ අනාථ මඩමක ය. නැතහොත් මහලු මඩමක ය. ඇය එතැනට ගෙන ගොස් වසරක් ගෙවී ඇත. එහෙත් පුත්‍රයා එක ම එක වතාවක් හෝ මව බැලීමට පැමිණ නැත. ඇය දින ගණිමින් බලා සිටින්නට ඇත. රස ආහාර ලැබුණත් ඒවා කුමකට ද? දරුවන්ගේ ඇසුර හා සුවඳ නැතිව අම්මලාට ජීවිතයක් නැත. කිඹුල් අම්මා රහස් තැනෙක බිත්තර දමා ඒ මත සිට ඒවා ආරක්ෂා කරයි. කිඹුල් තාත්තා බිත්තර ගිල දැමීමට එයි. එවිට ඌ හා සටන් කොට බිත්තර බේරා ගැනීමට කිඹුල් අම්මා සමත් වෙයි. බිත්තරවලින් කුඩා කිඹුල් පැටවුන් බිහි වූ විට ඔවුන් ගිල දැමීමට ද කිඹුල් තාත්තලා පෙළට එති. උන් හා තනිව සටන් කරන්නට කිඹුල් අම්මා ඉදිරියට එයි. ඒ සත්ත්ව ලෝකයේ අම්මලාගේ හැටි සොබාව ය.

අම්මාගේ හදවත පුත්‍රයා අමතා කතා කරන බෞද්ධ ආඛ්‍යානය අප සිහියට නැ‍ඟේ. එම කතාවට අනුව පුත්‍රයාගේ ගැබ්බර බිරියට නැන්දණියගේ හදවත කෑමේ දොළදුකක් උප දී. සැමියාට මේ බව දන්වා ඇවිටිලි කිරීමෙන් පසු ඔහු තීන්දුවක් ගනී. උපායකින් රවටා මව වනාන්තරයක් වෙත ගෙන යන පුත්‍රයා වහා ඇය මරා හදවත උලුප්පා ගනී. නැවත හදවත ගෙන වේගයෙන් නිවෙස දෙසට දුවයි. හදිසියේ ම පය පැටලී පුත්‍රයා මුණින් තලා වැටෙන අතර හදවත විසි වී අසල ගාලක රැ‍ඳෙයි. තුවාල සහිත ව මහත් අපහසුවෙන් නැඟී සිටින පුත්‍රයාට කතා කරන මවගේ හදවත ‘පුතේ උඹට රිදුණා දැ’යි අසයි. මවක පුත්‍රයාට දක්වන අසීමිත ආදරය මෙයින් ප්‍රකට වෙයි. මේ කවියෙන් ද මතුවන්නේ මහලු මව සිය පුත්‍රයාට දක්වන ළෙන්ගතුකම ය.

කවියේ එන මව නිරූපණය වී ඇත්තේ සාම්ප්‍රදායික දිළිඳු ගම ගැහැනියක හැටියට ය. ඇය දරුවන් කිහිප දෙනකු ඇති වැන්දඹුවකි. දරුවන් කුඩා කල ම සැමියා මිය ගොස් ය. නැතහොත් පවුල හැර ගොස් ය. මව මේ දරුවන් රකින්නේ කොහු මෝලක වැඩ කිරීමෙන් ය. ඇයට ලැබෙන්නේ මෝලේ ඇති පහත් ම රැකියාව ය. එනම්; මඩ වතුරේ පල්වෙන පොල්ලෙලි ගොඩගෙන ඒවා තැළීම ය.

“පල් වතුර පොකුණෙ ලෙලි තළලා ම

කරගැට කියයි අපෙ දුක්බර කතාව”

දෙවන පාදයෙන් කවියේ රිද්මය කැඩී ඇති නමුදු අර්ථයට හානි සිදු වී නැත. අම්මා දරුවන් රක්ෂා කිරීම සඳහා අතීතයේ විඳි දුක් ගැහැට අප සිහියට නැ‍ඟෙයි. අම්මා දරුවන් සියලු දෙනාට සමසේ සලකන්නට ඇත. එහෙත් පුත්‍රයා කෙරෙහි ඇගේ ළෙන්ගතුකම වඩා තීව්‍ර වන්නට ඇත. එලෙස ම ඇය සිය පුත්‍රයා කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගන්නට ඇත. අම්මලා පුත්‍රයන්ට වැඩිපුර ආදරය කිරීම ස්වාභාවික ය. ගැටලුව ඇත්තේ මව මහලු මඩම වෙත රැගෙන එන්නේ ද ඔහු ම වීම ය.

මහලු මවට කළ හැකි දෙයක් නැත. ඇය ලියුං කරදහියක් ලියන්නං යැයි කියූව ද ලියන බවක් පෙනෙන්නට නැත. ඇය කරන්නේ ලියුං කරදහියක් ලියන හැටි සැලසුම් කිරීම ය. ඇයට කරුණු දෙකක් තිබේ. පළමු කරුණ ලියුං කරදහියක් ලිවීම ය. දෙවන කරුණ හීනෙන් දරුවන් දැකීම ය. මඩමේ තරම් සැප පහසුව නැතත් දරුවන් කැටුව ලුණුයි - බතුයි බුදිමින් සිටීමට වුව ඇය කැමැති ය. මෙයින් පුත්‍රයාගේ නිවසේ ඇති දුප්පත්කම හෙළිදරව් වන්නේ යැයි එක අතෙකින් සිතිය හැකි ය. තව අතෙකින් ලුණුයි - බතුයි යන යෙදුම අම්මලාගේ පොදු වහරකි. මේ දෙකෙන් කුමක් වුව කවියෙන් ප්‍රකාශ වන්නේ අම්මාගේ දුක ය.

මේ අම්මා කෙරෙහි දැඩි කම්පනයක් හා දුකක් ද, ඇයගේ පුත්‍රයා කෙරෙහි යම් අප්‍රසාදයක් ද සහෘදයා තුළ මතු වෙයි. පොදුවේ ගත් කල ශ්‍රී ලංකාව වැනි රටවල මහලු මාපියන්ගේ හුදෙකලා භාවය හා ආදරය අහිමි වීම මේ කවියෙන් මනාව නිරූපිත ය. වැඩිහිටියන්ගේ හුදෙකලාව බටහිර රටවල් ද මුහුණ දෙන සමාජ ගැටලුවකි. දියුණු රටවල් මේ සඳහා ක්‍රියාත්මක කරන උපාය මාර්ග පවා මුළුමනින් සාර්ථක වී නැත. එය භෞතික සම්පත්වලින් සපුරාලිය හැකි අඩුවක් නො වේ. ශ්‍රී ලංකාව වැනි රටවල සාංස්කෘතික සාධකවලට අනුව තත්ත්වය වඩාත් තීව්‍ර වෙයි. අපේ මාපියෝ දරුවන්ගේ සබඳතා පමණක් නො ව; සමස්ත ඥාති පරපුරක සබඳතා ඉල්ලා සිටිති. මෙය නො ලැබෙන කල මහලු අය ලෙඩ වී ඉක්මනින් ම මරණය කරා ඇදී යති.

මේ ප්‍රබන්ධයෙහි එන මහලු අම්මා ද පසුවන්නේ අවදානම් තැනෙක ය. ඇය පුරා වසරක් පුත්‍රයා එනතුරු දින ගණිමින් බලා සිටියාය. පුත්‍රයා එන හැඩක් නැති බැවින් ඇය හීන දකින්නට පටන්ගෙන තිබේ. එහි ම ඊළඟ පියවර ඇගේ මනස විකෘති වීම විය හැකි ය. එය මෙබඳු තැනැත්තන්ගේ ඇද වැටීමේ ආරම්භය යි. කවියා මෙබඳු අවදානමක් නොකියා කියයි.

“මට දුක නුඹලා දකින්න නැත්තං

හීනෙන්වත් දකින්නට පතන්නං”

කවියා සිය රිද්මය හා වචන හසුරුවා ඇත්තේ විලාපයක් හැටියට ය. එය අම්මා වෙතින් එල්ල වන නෝක්කාඩුවක් වන්නට ද පුළුවන.

“පටං”

“නිසාවෙං”

“ආසාවෙං”

“ලියන්නං”

“නිදුකින්නං”

“නැත්තං”

“පතන්නං”

යන තෝරාගත් වචනවලින් අර්ථ දෙකක් මතු වෙයි. එක අර්ථය වන්නේ ශෝකය හා නෝක්කාඩුවයි. නැතහොත් ලෝකයා වෙත ඉදිරිපත් කරන පැමිණිල්ලයි. දෙක අර්ථය වන්නේ අම්මා සාම්ප්‍රදායික ගැමි ගැහැනියක බවය. ඇය අහිංසක නිර්ව්‍යාජ අම්මා කෙනකු බව ද එයින් ගම්‍ය වෙයි. ඒ සියල්ලෙන් අප්‍රසාදයට හා අපහසුවට පත්වන්නේ පුත්‍රයා ය. පුත්‍රයා යනු නූතන පරපුර ය.

වත්මන් සමාජයේ මාපිය - දූ දරු සබඳතා බිඳ වැටීමට බලපාන තවත් එක් ප්‍රබල සාධකයක් වන්නේ පාරම්පරික ඝට්ඨනය යි. අම්මලාගේ සිතුම් - පැතුම්, චාරිත්‍ර හා ක්‍රියාකාරීම් නූතන පරපුරට ගැළපෙන්නේ නැත. නූතන පරම්පරාවේ ක්‍රියාකාරකම් ද මාපියන්ට ගැළපෙන්නේ නැත.

එහෙත් පරම්පරා දෙක ම මේ තත්ත්වය වටහා ගන්නේ ද නැත. එක අතෙකින් අම්මලා පුත්‍රයන්ගේ නිදහස් ජීවිතයට බලපෑම් කරති. තව අතෙකින් පුත්‍රයෝ අම්මලාගේ සම්ප්‍රදායට අභියෝග කරති. මේ දෙක ම වැරැදි ය. කුමක් වුව තත්ත්වය නිරාකරණයක් වෙත හෝ සම්භාෂණයක් වෙත හෝ යන බවක් පෙනෙන්නට නැත. එහි ප්‍රතිඵලය වන්නේ මහලු මඩම් තව - තවත් පිරී - ඉතිරී යෑම ය.

කවියා පාදක කර ගන්නේ අම්මාගේ පාර්ශ්වය පමණි. මේ ගැටුම තුළ පුත්‍රයාගේ පාර්ශ්වයට ද තැනක් ලැබිය යුතු ය. ඇතැම් විට ඔහු පසුවන්නේ ද ඛේදවාචකයක විය හැකි ය. දුප්පත්කම, බිරියගේ බලපෑම, සමාජ තත්ත්වය, වෙනත් වගකීම් ආදිය මව බැහැර කිරීමට හේතු සාධක විය හැකිය. කුමක් වුව ඔහු සතුටෙන් සිටින්නේ යැයි කිව නො හැකි ය. වේදනාව පුත්‍රයාට ද සමගාමී ය. කවියා එය අතහැර තිබේ.

ඩොනල්ඩ් හෝල්ගේ “මගේ පුත්‍රයා හා මගේ වධකයා” නම් ප්‍රබන්ධය අප සිහියට නැ‍ඟේ. එය ද ඒක පාර්ශ්වීය පද්‍ය නිර්මාණයකි. ඉන් කියැවෙන්නේ දාරක ස්නේහය ගැන ය. මරණය හා දාරක ස්නේහය ගැන ය. වැඩිහිටියා සිය පුත්‍රයා දෑතෙහි සිටි ආකාරය සිහිපත් කරමින් ශෝක වෙයි.

“My Son, My executioner

I take you in my arms

Quiet and small and just astir

And whom my body warms”

මෙබඳු බොහෝ ප්‍රබන්ධ ඒක පාර්ශ්වික ය. මානව සබඳතා බිඳ වැටීමට හේතු - සාධක ඒ මඟින් විශ්ලේෂණය කළ නො හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්