හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නූතන සාහිත්‍යයට කෙණෙහිලි කුමට ද?

නූතන සාහිත්‍යයට කෙණෙහිලි කුමට ද?

සංවාදයට විවෘතයි

මේ වන විට උසස් පෙළ සිංහල නව විෂය නිර්දේශය උදෙසා මා ලියූ ලිපි ගණනාවක්ම විවිධ පුවත්පත්වල පළ විය. එයින් යම් යම් සහන උසස් පෙළ දරු දැරියන්ට හිමි වුවත්, දැවැන්ත ගැටලු කිහිපයක්ම නැවත පැන නැඟී තිබේ. නියම කිරීමට ගිය නවකතා තුන එකක් බවට පත් වී තිබේ. එහෙත් විභාග ගණනාවකට නියමිතව තිබූ ලෙනාඩ් වුල්ෆ්ගේ “බැද්දේගම” හැරුණු විට උසස් පෙළට නියම කිරීමට වෙන නවකතාවක් නොතිබුණේ ද? මෙකී කෘතිය සමඟ කතාබහට ලක්වූ කේ. ජයතිලකයන්ගේ “චරිත තුනක්” නිර්දිෂ්ට නොකළේ මන්ද? ස්වර්ණ පුස්තක සම්මාන ලෝකයේ උසස් පෙළ උදෙසා සුදුසු නවකතාවක් නොවූයේ ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සම්මාන, විදුදය සම්මාන, ඩී. ආර්. විජේවර්ධන සම්මාන හිමිකර ගත් කෘති අතර උසස් පෙළ සිසු දරු දැරියන්ට හැදෑරීමට සුදුසු එකම නවකතාවක්වත් නොමැති ද? ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ටවත් මේ පිළිබඳ අවධානයක් නොතිබුණේ ද? බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට මේ ගැන අදහසක් පහළ නොවූයේ ද?

පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය ධූරයක් හිමිව තිබූ බැවින් පියසීලි විජේමාන්න කෙටිකතාකාරියක ලෙස පෙනුණු උසස් පෙළ විෂය දේශය තේරීම් කමිටුවට මේ වතාවේ සැබෑ කෙටිකතාකරුවකු වූ ඇරැව්වල නන්දිමිත්‍රගේ නිර්මාණයක් පෙනී යාම සැබවින්ම සතුටට කරුණකි. එහෙත් මේ වකවානුවේ ප්‍රශස්තම කෙටිකතාකරුවා වූ ජයතිලක කම්ම­ැල්ලවීරයන් අත්හැර දැමීම කෙසේ නම් යහපත් ක්‍රියාවක් ලෙස පිළිගත හැකි ද? මේ වන විට කෙටිකතා සංග්‍රහයන් එකොළොසක් ලියා පළ කර ඇති මොහු කෙටිකතා සංග්‍රහයන් සතරක් උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ගත්තෙකි. එපමණක් නොවේ මෙතෙක් කලක් රස වින්දනයට භාජනය වූ “ප්‍රදීපාගාරය යට” කෙටිකතාව විරචිත රන්ජිත් ධර්මකීර්ති නම් ප්‍රතිභාසම්පන්න නිර්මාණකාරකයා ද සහමුලින් පිටුදැක තිබේ. ඔහු පමණක් නම් එය ද ඉවසිය හැකිය. සෝමරත්න බාලසූරිය නම් රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී රචකයාගේ නිර්මාණයකට මෙවර ඉඩ සලසා නැත. මෙලෙස ප්‍රශස්තයන් ඉවත් කිරීම වෙනුවට කීර්ති වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම් වැන්නවුන්ගේ නිර්මාණ කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබිණි.

එතරම් පාඨක ප්‍රසාදයකට පාත්‍ර නොවූවත් අජිත් තිලකසේන කෙටිකතාවේ පර්යේෂකයෙකි. මෙවර පළමු වරට ඔහුගේ කෙටිකතාවක් උසස් පෙළ තෝරාගෙන ඇත. එහෙත් මෙතැන ද ගැටලුවක් තිබේ. උසස් පෙළ දරු දැරියන් උදෙසා අජිත් තිලකසේනගේ කෙටිකතා පහදා දෙන්නේ කෙසේ ද යන්නය.

සත්‍යය ඉදිරියේ අමනාප නොවන මැනව, බොහෝ ගුරුවර ගුරුවරියෝ ද, ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල අංශයේ සේවය කරන්නෝ ද පොත් පත් නොකියවති. මෙහි කිසි මුසාවක් නැත. මා මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගත්තකි. මෙවන් පරිසරයකදී අජිත් තිලකසේන වැනි පර්යේෂණකාමී ලේඛකයෙකුගේ කෙටිකතාවක් උසස් පෙළ විභාගය උදෙසා නිර්දේශ කළේ මන්දැයි නැවත ප්‍රශ්න කරමි.

මෙවර විෂය නිර්දේශය සැකසීමේ දී වඩාත්ම අසාධාරණයට ලක්ව ඇත්තේ නූතන සිංහල කවියයි. කොළඹ යුගයේ පළමුවන පරපුරේ හා දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණ සහමුලින්ම ඉවත් කර තිබේ. හෙළ හවුලේ රචකයන්ව ද අමතක කර දමා ඇත. අතීතයකින් තොර වර්තමානයක් කොයිබක ඇද්දැයි අපි කමිටු සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරමු. තුන්වන පරපුරේ රචකයන්ගේ කාව්‍ය නිර්මාණ පමණක් තෝරා ගැනීමේ අධ්‍යාශයක් ඇතැයි, ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ කෙනෙකු සඳහන් කරද්දී එසේ නොකළ යුතු බව අපි පැහැදිලිව පැවසීමු. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද? කොළඹ යුගයේ සිංහල කවියේ තුන්වන පරපුරේ දැවැන්තයන්ගේ නිර්මාණ සහමුලින්ම ඉවත්කර තිබේ. අන්තර්ජාතිකව කීර්තිධර එකම සිංහල විචාරකයා වූ මහාචාර්ය විමල් දිසානායකයන්ගෙන් තොරව නූතන සිංහල කවිය පිළිබඳව කාට කතා කළ හැකි ද? නව කවිසරණිය කෘතියට ඇතුළත් කාව්‍ය විචාරය අබිබවා යන වෙන කාව්‍ය විචාරයක් සිංහලයෙන් ලියවී ඇද්ද? තමන් ලියූ ගේය පදමාලා ඉහළින් නොසලකන මේ වන විට කාව්‍ය සංග්‍රහයන් අටක් සිංහල පාඨකයාට පිරිනැමු විමල් දිසානායකයන්ගේ නිර්මාණ ඉවත් කොට නූතන සිංහල කවිය ගැන සාකච්ඡා කළ හැකි ද? මේ උසස් පෙළ තේරීම් කමිටුව, වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන තේරීම සිය බූදලයක් කර ගත්තවුන් මෙන් විමල් දිසානායක ත්‍රීවිල් කවියෙකු ලෙස සැලකුවේ ද?

නන්දන වීරසිංහ යනු කවිය උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානය පස් වතාවක් දිනා ගත්තෙකි. සිංහල කවිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් ජපානයෙන් පිරිනමන “බුන්කා” සම්මානයෙන් පිදූවෙකි. ඔහුගේ නිර්මාණයක් මෙවර උසස් පෙළ විෂය නිර්දේශයෙන් බැහැර කළේ කාගේ අවශ්‍යතාවකට ද?

ආරියවංශ රණවීර කාව්‍ය සංග්‍රහ දොළොසක් සිංහල පාඨකයා අතට පත් කළ ලේඛකයෙකි. මෙහි සඳහන් කරන්නට යෙදුණේ ඔහුගේ ස්වාධීන නිර්මාණයන් ඇතුළත් කාව්‍ය සංග්‍රහයන් සංඛ්‍යාව පිළිබඳව පමණකි. ඔහු ද විදුදය හා රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ගෙන් පුද ලැබූ කාව්‍ය රචකයෙකි. ඔහු ගේ ස්වාධීන පද්‍ය සංග්‍රහයන් දොළසෙහි උසස් පෙළට සුදුසු එක් නිර්මාණයක්වත් නොතිබුණේ ද? පරිවර්තන කෙටිකතා තෝරා ගත් විනිශ්චය මණ්ඩලයට ඔහුගේ පරිවර්තන පද්‍ය සංග්‍රහයන් සතරින් එකක්වත් උසස් පෙළට සුදුසු පරිවර්තන පද්‍ය නිර්මාණයක්වත් නොතිබුණේ ද? විෂය නිර්දේශ කමිටුවලට සාමාජික සාමාජිකාවන් පත් කරනු ලබන්නේ මෙවන් අගනා නිර්මාණකාරකයන්ගේ නිර්මාණ ඉවත් කිරීමට ද?

බුද්ධදාස ගලප්පත්ති යනු අද්‍යතන කවි කිවිඳියන්ගේ ගැලවුම්කරුවාය. මගේ මතකය නිවැරැදි වේ නම් “දොළොස් මහේ පහන” කෘතියෙන් අරඹා “තීර්ථය අසබඩ” වන විට ඔහු පද්‍ය සංග්‍රහයන් අටක් පාඨකයා අතට පත්කර තිබේ. මේ එකම නිර්මාණ සංග්‍රහයකවත් උසස් පෙළ විභාගය උදෙසා නිර්දේශ කළ හැකි එක් පද්‍ය පන්තියක්වත් නොතිබුණේ ද? “තුරුලිය අකුරු විය” පද්‍ය කෘතිය උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ මේ රචකයා අන් කවර මාධ්‍යයක නිරත වුවත්, තම ප්‍රකාශන මාධ්‍යය කාව්‍ය නිර්මාණ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. එවන් ලේඛකයෙකුගේ නිර්මාණ අරුචි වූයේ මේ විද්වත් මණ්ඩලයේ කවර සාමාජිකයෙකුට ද?

කෝ. ආනන්ද හිමියන්ගේ “ගුරු පියාණනි” වත්මන් නූතන පද්‍ය සංග්‍රහයට ආලෝකයකි. ඒ හිමියන්ගේ එකී නිර්මාණය කිසිසේත් ගිහියෙකුට ලිවිය හැක්කක් නොවේ. එය ඉවත් කළේ නම් කළ යුතුව තිබුණේ ඒ හිමියන්ගේ වෙනත් කෘතියකින් කාව්‍ය නිර්මාණයක් තෝරා ගැනීමය. ඒ හිමියෝද කවිය වෙනුවෙන්ම දිවි කැප කළ යතිවරයාණ කෙනෙක් වූහ.

මේ සියලු නිර්මාණකාරකයන්ගේ නිර්මාණ ඉවත් කරද්දී ධර්මසිරි රාජපක්ෂගේ නිර්මාණ ත්‍රිත්වයක් තෝරා ගත්තේ, ඔහු ගේ අභාවය නිසා ඔහු සිහිපත් වූ හෙයින් ද? ධර්මසිරි රාජපක්ෂගේ නිර්මාණවලට අපි ගරු කරමු. එහෙත් ඔහුගේ නිර්මාණ තෝරා ගනිද්දී ඔහුටත් වඩා නූතන සිංහල කවිය පෝෂණය කළවුන්ගේ නිර්මාණ කපා හැරීම කිසිසේත් අගය නොකරමු. කළ යුත්තේ කෙනෙකු ඇතුළත් කරද්දී අනෙකුත් කපා හැරීම නොවේ. තවත් ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවකුගේ හා නිර්මාණකාරියන්ගේ නිර්මාණ තව තවත් හඳුන්වා දීමයි. වසර ගණනාවක් පුරා කාව්‍ය නිර්මාණයෙහි නිමග්න වූ, එහෙත් කිසිවෙකුගේ ඇගයුමට ලක් නොවූ, කවි කිවිඳියෝ කොතෙක් අපට සිටිත් ද? ලාල් හෑගොඩ, කුමාර හෙට්ටිආරච්චි, ලක්ශාන්ත අතුකෝරල. ඩබ්ලියු. ඒ. අබේසිංහ, බර්ටි බී. කුඩාහෙට්ටි, වින්ටන් කුරේ, උදේනි සරත්චන්ද්‍ර, සුහර්ෂණී ධර්මරත්න, අනුරාධා සෙනෙවිරත්න, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සෙනරත් ගොන්සල්කෝරාල ඉන් කිහිප දෙනෙක් පමණකි.

කාව්‍ය නිර්මාණකාරකයෙකු හඳුනා ගැනීම උදෙසා එක් නිර්මාණයක් නොසෑහෙන බව පැවසුවේ ද මේ කමිටුවට අයත් මහාචාර්යවරයෙකි. එසේ නම් කෙටිකතාවටත් එය පොදු විය යුතුය. අතීතයත්, වර්තමානයත් හළා ඇති නව නිර්දේශයට වඩා මේ ලියන අපත් සම්මාදම් වී සැකසූ දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය කෙසේ නම් නුසුදුසු වන්නේ ද? එයින් මේ වනතුරා මතු වූ කිසිදු ගැටලුවක් නොමැත. අපේ නමට ඉදිරියෙන් තනතුරු නොමැත්තෙන් අපේ නම් ගම් කොතැනකවත් නොවීය. අවම වශයෙන් කවිය තුන්වන පරපුරට සීමා කළේ නම් ඒ පරපුරේ ප්‍රබල කවි කිවිඳියන් කවරේදැයි තෝරා ඒවා අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුය. එක් නිර්මාණයකින් පවා කවියා හඳුන්වා දීමේ කටයුත්ත බුද්ධිමත් ගුරුවරු මැනවින් ඉටු කරන්නාහ. සන්සන්දනාත්මකව ඉගැන්වීම දක්ෂ ගුරුවරයාගේ කාර්යභාරය වෙයි. බාහිර පොත් පත් නොකියවන ගුරුවර ගුරුවරියන් ගැන අපි මෙහිදී කිසිවක් සඳහන් නොකරමු. රාජකාරිය දේවකාරිය ලෙස සැලකිය යුතු බවට අමුතු උපදෙස් අවශ්‍ය වේ ද?

විෂය නිර්දේශය පිළිබඳ ගැටලුව අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු වී ඇති බව අපි හොඳින්ම දනිමු. ඒ විෂය නිර්දේශ කමිටු සාමාජිකයන්ගේ සාර්ථකත්වය ද? ගරු ජනාධිපතිතුමනි, නමට ඉදිරියෙන් කියැවෙන පට්ටම් කුමට ද? නූතන සාහිත්‍ය පිළිබඳ අවංක දැනුම් සම්භාරයක් ඇත්තෝ මීට ප්‍රමාණවත්ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්