කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ක්‍රීඩාවටත් තිරසාර ගමනක් ඕනෑ

ක්‍රීඩාවටත් තිරසාර ගමනක් ඕනෑ

නියත, ස්ථිර, ඒකාන්ත, නොසැල්වෙන මේ වදන් අග මුල කෙසේ පෙළ ගැස්සුවද තිරසර හෝ තිරසාර අරුත් ගෙන දෙයි. තිරසර සංවර්ධනයක තෙවසර ඇරැඹුම නව වසරේ ආණ්ඩුවේ දැක්මයි. මෙකී දැක්ම ආර්ථික - සමාජීය - සංස්කෘතික- දේශපාලනික වශයෙන් ගත් කළ ක්‍රීඩාවට ද ඉන් පීලි පැනිය නොහැකිය.

ක්‍රීඩාව පැත්තෙන් ගත්ත ද පසුගිය කාලයේ මහා විප්ලවීය වෙනසක් සිදුවූවා යැයි උදම් ඇනිය නොහැකිය. ගොඩගැනීමට තිබුණේ මහා නරකාදියක එරී තිබුණු ක්‍රීඩාවකි. මොන පොරොන්දු දී ක්‍රීඩා මහා පුටුවලට පැමිණිය ද කවුරු කවුරුත් කළේ සමස්ත ක්‍රීඩාවම තම තමන්ගේ කෙවිටේ දිග ප්‍රමාණයට දක්කාගෙන ගිය ගමනක් මිස ඊට වඩා දෙයක් නම් නොවන බවට සාධක සෙවීමට වෙහෙස මහන්සි විය යුතු නොවේ. එවන් වටපිටාවක් අංශක තුන්සිය හැටකින් අනිත් පැත්තට කරකවා ජයග්‍රාහි හැරවුම් ලක්ෂයක් වෙත යාම කෙසේවෙතත් උත්සාහ කිරීමටත් කාලයක් ගතවන බව අමතක කළයුතු නොවේ. ඒ අරුතින් ගත් කළ පසුගිය දෙවසරක කාලයම ඒ සඳහා වෙන් කළද, මෙකී වසරට එකී කරුණු කාරණා තවදුරටත් කරතියාගෙන යා නොහැකිය.

මේ වසරේ තමා සමඟ සෙල්ලම් කිරීමට ලෑස්ති නොවන ලෙසට ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යවරයා අනතුරු අඟවද්දී, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වරක් ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලාංකේය ක්‍රීඩාවේ කරුමක්කාරයන් වෙමින් තවත් වසරකට හෝ තම කාලය දිගු කරගැනීමට මාන බලන්නේ ක්‍රීඩාවට ඇති ආදරයට නොවන බවය.

රටට සේම ක්‍රීඩාවට ආදරය කරන පිරිස් ඕනෑ තරම් මෙකී වර්ග කිලෝමීටර් හැටපන්දහස තුළ තවමත් සොයා ගත හැකිය. ඒ ජරාජීර්ණ ක්‍රමය වෙනුවට වෙනසක් සොයන - පතන පිරිසකි. එකී පිරිස රට වුවද, ක්‍රීඩාව වුවද, නිසිමඟ යන්නේ නම් එක්සිත්ව ඊට සහාය දීමට කැමැතිය.

දැන් ඇවැසි වන්නේ ගෙවුණු වසර දෙකම පැත්තකින් තබා වැඩ කිරීමය. එකි වැඩ කිරීම වැරැදියට නොව නිවැරැදිව වැඩ කිරීමය. ක්‍රීඩා අමාත්‍යවරයාම ප්‍රකාශ කරන පරිදි සෙල්ලම් කිරීමට බැරි නම් වැඩ කළ යුතුය. එකී වැඩ කිරීම පසුගිය දෙවසරටම වඩා පලදායි විය යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2017 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk