කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යකාගේ පඩිපෙළ දිගේ කළුපහනට

යකාගේ පඩිපෙළ දිගේ කළුපහනට

යකා ගේ පඩිපෙළ දිගේ චාරිකාවක් යනවා අපිත් එක්ක එක් වෙනවද? ඒ ම වෙත ආ ඇරියුමකි. මම ටිකක් අන්දමන්ද වීමි. මොකක් ද මේ යකාගේ පඩිපෙළ. එය තවමත් බහුතරය අතර කුකුසක් ගෙනෙන පැනයකි. බොහෝ දෙනෙක් තාමත් නිසි ලෙස මේ යකාගේ පඩි පෙළ යනු කුමක්දැයි නොදනිති.

යකාගේ පඩිපෙළ යනු ඔහිය සිට උඩවේරිය තේ වත්ත හරහා කළුපහන නගරය වෙත ගමන් කළ හැකි කිලෝ මීටර් 23ක පමණ දුරක් විහිදෙන මාර්ගයකි. මාර්ගය වැටී ඇත්තේ තේ වතු මැදින් ය.

සුදු පාලන සමයේ තේ වතුවල නිෂ්පාදන නගරයට ගෙන එන්නට මේ මාර්ගය නිර්මාණය කොට තිබේ. මහා දුර්ගයක් හරහා සර්පයෙකු ඇදෙන ආකාරයෙන් මේ මාර්ගය නිර්මාණය කොට ඇත. මෙහි ඇති විශේෂත්වය නම් ලංකාවේ සුන්දරත්වය මැනවින් පෙනෙන දර්ශන ගණනාවක් දැකගන්නට හැකී වීමයි. මහා දුර්ගය කපමින් දැවැන්ත ප්‍රපාත හා ගිරි නිම්න හරහා වැටී ඇති මේ මාර්ගයේ පා ගමන අපූරු ම අත්දැකීමකි.

මේ වන විට යකාගේ පඩිපෙළ මාර්ගයේ ෆෝ වීලර් ජිප් රියකට හෝ මෝටර් සයිකලයකට හෝ අසීරුවෙන් ගමන් කළ හැකිය. අනෙකුත් වාහන සඳහා නම් කිසිසේත්ම යෝග්‍ය නොවේ. අප තෝරාගත්තේ පා ගමනයි. මේ එම චාරිකාවේ හද රැඳි මතකයයි.

ඇමතුමක් හරහා ම වෙත කෙරුණු ආරාධනය අනුව මම විස්තර සෙවුවෙමි. ඒ අනුව

මූහුණු පොතේ පිටු අතර සැරිසරද්දී ට්‍රැවල් විත් දිලිනි Travel with Dilini පිටුවේ වූයේ ඔහියේ සිට කළුපහන දක්වා වූ අතිශය දුෂ්කර මාර්ගයක් වූ යකාගේ පඩිපෙළ ඔස්සේ කෙරෙන පාද චාරිකාවක වග තුගයි. දෙවරක් නොසිතාම එයට එක්වන්නට මම තීරණය කෙරුවෙමි. කතිකා කරගත් පරිදිම සිකුරාදා සවස්වන විට එකා දෙන්නා ලේක්හවුසිය ඉදිරිපිටට එක් වූහ. නඩයට 28 දෙනෙක් ඇතුළත් වූහ. මේ පිරිසෙන් මා කලින් සිට දැන සිටියේ අභීත, දුලිප්, නිල්මිණි හා රුසිරු පමණකි. නොදන්නා පිරිස වැඩි වුව කිසිදු චකිතයක් නොදැනිණි. සියල්ලෝම බොහෝ ළෙන්ගතු වූහ. හමුවී විනාඩි ගණනක් ඇතුළත සියල්ලෝම සහෝදරත්වයෙන් එකාවන්ව එක් වූහ.

සිත් සේ විනේද වෙමින් රස කතා කියමින් රැය පහන් කරමින් චාරිකාව ඇරැඹූහ. පාන්දර 5 පමණ වන විට පට්ටිපොළ සූදානම් කර තිබූ නවාතැනට අපට ළඟා වෙන්නට හැකි විය.

ඒ අපේ චාරිකාවේ පළමු දිනයයි. උදේම ප්‍රණීත ආහාර වේලක් සකසා තිබිණි. ඉන් සන්තර්පණය වූ අපි එදින එක් එක් ඉසව් සඳහා වෙන් වෙන්ව සුදානම් වුණෙමු. ඇතැමෙක් රේල් පාර දිගේ හපුතලේ යන චාරිකාවට සූදානම් වූහ. තවත් අය කිරිගල් පොත්ත කන්ද තරණයටත්, තවත් අය තොටුපළ කන්ද තරණයටත් සූදානම් වූහ. මම ද තොටුපළ කන්ද හා හෝර්ටන් තැන්න බලා යන සංචාරක පිරිස අතරට එක් වුණෙමි.

සුදු සේලයක් දිග හැරියා සේ ගත දැවටෙන මී දුමත් සමග සීතලේ පහස විදිමින් ඒ දිනය පුරා අපි සිත් සේ විනෝද වූයෙමු. උදේ කාලයේ වෙන් වූ අපි සියල්ලෝම යළිත් සවස් කාලයේ නවාතැනේ දී එකතු වූයෙමු. එදින රාත්‍රියද මහත් විනෝදයක් ලැබූ දිනයක් ම විය.

යකාගේ පඩිපෙළ ඔස්සේ කළුපහනට චාරිකාව ඇරැඹියේ පසුදින අලුයමයි. සියල්ල සූදානම් කරගත් අපි කණ්ඩායම බස් රියෙන් ඔහිය ට පැමිණියෙමු. එතැන් සිට වූයේ මහා දුර්ගය ඔස්සේ යා යුතු පාද චාරිකාවයි. විටෙක තේ වතු මැදින් ද විටෙක ඝන කැලෑව මැදින්ද බොහෝ සුන්දර දසුනින් සිත සුවපත් කරගනිමින් අපි ඇවිද ගියෙමු. ඒ අතර තුර දකින්නට බොහෝ තැන් විය. ඔහියේ සිට කිලෝමීටර් 23ක දුරක් අපි පයින්ම චාරිකා කෙරුවෙමු. මෙසිරිලක සැබෑ සුන්දරත්වය දැකගතිමු. ඈත ක්ෂිතිජය දක්වා පෙනෙන අයස්කාන්ත දසුනින් අපි වශීකෘත වූයෙමු.

ගමනේ අවසන් භාගය වන විට මහා කැලයෙන් වැසී පවතින ලංකා ඇල්ල දැක ගතිමු. ලංකාවේ උසම දිය ඇල්ල වූ බඹරකන්ද ඇල්ලේ දිය දහර පටන් ගන්නා තැන දැකගතිමු. ලංකා ඇල්ලටත් බඹර කන්ද ඇල්ලටත් අතර පිහිටි ස්වාභාවික දිය තටාගයෙන් ඇඟ දොවා ගත්තෙමු.

ළෙන්ගතු මිතුරු මිතුරියන් පිරිසක් සමඟ අපි බොහෝ සේ විනෝද වූයෙමු.

මෙවන් චාරිකාවක දී ඔබ සැලකිල්ලක් දැක්විය යුතු කරුණු බොහොමයකි.

ගමන් මාර්ගය-

කළුපහන සිට කන්ද තරණය කරමින් ඔහිය දෙසට පැමිණෙන්න හැකි මුත් අප තෝරාගත්තේ ඔහිය සිට කළුපහන දක්වා පල්ලම බැසීමේ මාර්ගයයි.

ඔහිය - උඩවේරිය වතුයාය - යකාගේ පඩිපෙළ - බඹරකන්ද - කළුපහන

ඔහිය සිට කිලෝමීටර 3 ක් පමණ යද්දී උඩවේරිය ස්ටේට් (Udaweriya Estate) යනුවෙන් නම් කළ පුවරුවක් සහිත අතුරු මාර්ගයක් වම්පසට දක්නට ලැබෙයි. ඒ ඔස්සේ මෙන්ම මෙම මාර්ගය පසුකොට තවත් කිලෝමීටර 2ක් පමණ යනවිට වම් පසට දිවෙන අතුරු මර්ගය ද එක්වන්නේ යකාගේ පඩිපෙළටමය. පාගමන සදහා වඩා සුදුසුය.

වැදගත්-

බිමට ජලය අව් වැසි ආවරණ රැගෙන යන්න

පා ගමනින් යන නිසා අවම ඇඳුම් සහ භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යන්න.

පිටේ එල්ලා ගත හැකි බෑගයක් වඩාත් සුදුසුය (දෑත නිදහස්ව තිබීම පා ගමනේදී පහසුවකි).


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2017 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk