හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දෝණි අපිව දාලා යන්න හදනව නේද!

දෝණි අපිව දාලා යන්න හදනව නේද!

සතියක් ගෙවී ගියේ කෙසේදැයි නොසිතිය හැකි තරමින් කාලය ඉකුත්වී පැමිණි ඉරිදාවක නේෂන් සරවනමුත්තු වෛද්‍යවරයා දියණිය ද සමඟ ඔවුන් මිලයට ගෙන තිබුණු නිවාස සංකීර්ණයේ වාසය සඳහා යෑමට සූදානම් වන සැටි නරේන්ද්‍ර බලා සිටියේ උපේක්ෂාසහගත වීමේ උත්සාහයක් ද සිත ඇතිවය.

එම නික්ම යෑම ඔහුගේ සිතට කිසියම් සැනසිල්ලක් ගෙන දීමට ද සමත්ව තිබිණි. සොහොයුරියන් දෙදෙනා ඔවුන්ගේ පැමිණීමත් මහ ගෙදර නවාතැන් ගැනීමත් දැඩි සේ දෝෂ දර්ශනයට ලක් කරමින් නරේන්ද්‍රට කීප වරක් ම කීවේ වහා ඔවුන් නි‍ෙවසින් පිට කරන ලෙසය.

“ගෙදරට හොරෙන් කඩා පනින කිටියෙක් ටොමියෙක් සුද්දම්මා කෙනෙක් එළියට ඇදලා දාන්න වගේ මනුෂ්‍යයො දෙන්නෙක් ගෙයින් එළියට දාන්න බැහැ රාජනී අක්කා.” නරේන්ද්‍ර තරයේ කියා සිටියේ ය.

“මාධවී මැතිනියත් ඔයා වගේ ම දවසට දෙතුන් සැරයක් ඔය ටකේම ගහනවා. හරියට ඒ මිනිස්සු අපෙන් යමක් කඩා වඩා ගන්න ඇවිත් වගේනෙ ඔය දෙන්නා බය වෙලා තියෙන්නෙ. ඒ මාව මරණෙන් ගොඩ දාපු දොස්තර. මට පුළුවන්ද ඒක අමතක කරන්න?”

“ඔයාව මරණෙන් ගොඩදාපු එක ඇත්ත. මට බය අපේ එවුන්ට නුවමනා ලෙඩ දායිද කියලා. අපි ටොමියො කිටියො සුද්දම්මලා නෙමේ. පරම්පරා ගෞරවයක් තියෙන නම්බුකාර මිනිස්සු. කිව්වට අහන්නෙ නැහැ අපේ එකත් එතෙන්ට ම වහ වැටිලා.”

රාජනී දොස් තබා අවසන් වනතුරු නරේන්ද්‍ර අසා සිටියේය. ටොමියා ගෙදර සිටි සුරතල් බලු පැටවාය. කිටියා බළල් පැටියාය. සුද්දම්මා කිරි එළදෙනයි. නරේන්ද්‍රට මතක ඇති කාලයේ සිටම තාත්තාටත් ඔහුටත් උදෑසන කිරි වීදුරුවට කිරි ලබා දුන්නේ සුදු අම්මා නැතිනම් සුද්දම්මායි. තාත්තා ආදරයෙන් ඇමතූ තනි පැහැ ඡවිවර්ණයක් තිබුණ එළදෙනයි.

“අක්කා උදේ හවස පන්සල් යන බෞද්ධ කාන්තාවක්. ඒ වුණාට සාමාන්‍ය මනුෂ්‍ය ආස්සරේදිත් ජාතිය කුලය ආගම බලනවා.”

නරේන්ද්‍ර සොහොයුරියට අමනාපය පළ කරන්නට විය. ඇය ඔහුට දැඩි හඬකින් දෝෂාරෝපණයක් වැනි බාධා කිරීම් කරන්නට වූවාය.

“පන්සල් ගියාම පන්සලේ විදිහට හැසිරෙනවා. ගෙදරදි මේ විදිහට. අපි අහසින් වැටුණ මිනිස්සු නෙමේ. ඔයා නොදන්නවට පන්සල්වලත් කුල භේද තියෙනවා. නිකාය භේද තියෙනවා.”

“ඒවා මං දන්නෙ නැහැ. මං දන්නෙ ලෝකෙට පහළ වුණේ එක ගෞතම බුදුන් වහන්සේ කෙනෙක්. ගෞතම බුදුන්ගේ ධර්මයෙන් උගන්වන්නෙ කුලය නිසා නෙමේ ක්‍රියාව නිසා මනුෂ්‍යයෝ උස් පහත් බව තීරණය වෙන්න ඕන කියලයි. අක්කා මොනවා කිව්වත් බුදුන් උපන්නෙත් ඉන්දියාවෙ.”

“එහෙම කියලා අපි සියලු ම පරදේශක්කාරයින්ට යට වෙන්න ඕනද? මෙහෙව් දේශපාලනඥයොනෙ මේ රට පාලනය කරන්නෙ? ඉතින් රට වළපල්ලට යන එක අහන්න දෙයක්ද?”

නරේන්ද්‍ර පුරුදු පරිදි සොහොයුරිය හා කළ වෙහෙසකර දුරකථන සංවාදය නිමා කරනු වස් එය විසන්ධි කර දැම්මේය. බොහෝ විට සොහොයුරිය හේතු ඇතිව හෝ නැතිව අනවශ්‍ය තරම් දෝෂාරෝපණයකට පිවිසීම පුරුද්දක් කර ගෙන සිටින්නීය. එවිට ඔහු කරන්නේ දුරකථනය විසන්ධි කොට නිහඩ වීමය.

එය ඇය වඩාත් කෝප කරවන්නක්ව පවතින බව නරේන්ද්‍ර දනී. සංවාදශීලි මිත්‍ර කතාබහක වුවද අවසානය බොහෝ විට සිත් රිදවා ගැනීම්වලින් අවසන් වීමේ පුරුද්ද ඇගේ ස්වාමියා වූ පංකජ ගේ ඉක්මන් මරණයට හේතු වූ බවට ඥාතීන් අතර මිමිනුම් කතා ඇත.

නිවාස සංකීර්ණයට යෑමේ පෙර සූදානම අවසන් කළ රෝජා සඳපාණි නරේන්ද්‍ර ඉදිරියට ආවේ ගමනට අවසර ගන්නටය.

“දෝණි අපිව දාලා යන්න හදනවා නේද?” නරේන්ද්‍ර ඇසුවේ මඳක් දුක්බර හඬකිනි.

“කවදා හිටියත් යන්න වෙනවනෙ නරේන් මාමා”

“අනේ මන්දා. ඔයා මේ දවස් ටිකේ ම හිටියෙ රෝසමල් යායෙ. දැන් රෝසමල් මගෙන් අහවි කෝ මේ රෝජා කෙල්ල කියලා. අපට පියාඹන්න උගන්වපු ලස්සන අක්කා කෝ කියලා සමනලයොත් අහාවි. මොකද්ද මං දෙන උත්තරේ?”

“එයා ගියා කියන්න නරේන් මාමා.”

“ඔව් මං කියනවා හිතුවක්කාර නපුරු මුරණ්ඩු ගෑනු ළමයා සුළඟක් වගේ ඇවිදින් සුළඟක් වගේ ගියා කියලා.”

“ඔය මං ගැන ද කියන්නෙ? හිතුවක්කාර නපුරු මුරණ්ඩු ගෑනු ළමයා මම ද? අනේ දෙයියනේ මං එච්චර ම නරක ගෑනු ළමයෙක් ද?”

නරේන්ද්‍ර ඇයට පිළිතුරු ‍දුන්නේ නැත. බන්දුල ඔවුන්ගේ ගමන් මලු රථය වෙතට ගෙන ගියේ ය. රෝජා සඳපාණි මෘදු කරුණාවන්ත තරුණියක වීම බන්දුල සිත ප්‍රසන්න කරවන්නක් විය. ඇය ඔහුට බන්දු යි කාරුණික අමතන්නීය. නිලන්ත ගැන ද විමසන්නීය.

එහෙත් පසුගිය දින කිහිපය තුළ තමාට ඔත්තුකරුවෙකුගේ චර පුරුෂයෙකුගේ භූමිකාවට අනුගත වන්නට සිදුවීම නිසා බන්දුල සිටියේ කනස්සල්ලෙනි. හැකි ඉක්මනින් පියාත් දියණියත් නිවෙස හැර යනු දැක්ම ඔහුට අස්වැසිල්ලක් විය. රාජනී මාධවී මහත්මීන්ගේ තොරතුරු විමසීම්වලට පිළිතුරු දීමට සිදු වූයේ බන්දුලටය.

නරේන්ද්‍ර ලොකු සර්ගේ නුවුවමනා තරමේ සැලකිලි සත්කාර නිසා පියාත් දියණියත් දෙදෙනා ම රාජඍෂි ග්‍රහණයට ගැනීමේ උත්සාහයක් ගෙන ඇතැයි සොහොයුරියන් සිතීම බන්දුල අවඥාවෙන් බැහැර කළේය.

“ඒ නෝනලා මොනවා කිව්ව වුණත් අපේ පුංචි සර්ට රෝජා වගේ ගෑනු ළමයෙක් හොඳට ම ගැළපෙනවා. මාධවී මැඩම්ගෙ මහත්තයා යාපනේදී ඝාතනය වුණා කියලා එල්.ටී.ටී.ඊ. එකට බයේ පිටරටට පැනලා ගිහින් ඉඳලා දැන් ආපහු එන අයටත් ඒ දෙන්නා වෛර කරනවා. එහෙම නම් ඉතින් මෙහෙදි දෙමළ අයත් ඝාතනය වුණේ. දැන් ඒ වෛර ක්‍රෝධ පළිගැනීම් ඉවර වෙන්න ඕන. ගැටලුව සිංහල දෙමළ ආරවුල් නෙමේ....”

බන්දුල රෝජා සඳපාණි නේෂන් වෛද්‍යවරයා සහ රාජඍෂි ගැන සිතමින් ගමන් මලු මෝටර් රථයට දැම්මේය.

ගමනට මෝටර් රථය ගෙන යන්නේ බන්දුලය. රාජඍෂි පුංචි සර් එන ලකුණක් නැත. ලොකු සර් එනවාදැයි ඍජුව ඇසීමට නුපුළුවන. පාර්ලිමේන්තු විශේෂ විවාදයක් නිසා ඒමට පුළුවන්කමක් ඇත්තේ ද නැත. නැත්තේ ද නැතැයි ලොකු සර් නේෂන් වෛද්‍යවරයාට කියනවා බන්දුලට ඇසුණේ උදෑසන කෑම මේසයේදීය.

බන්දුලගේ මතකයට මෑතදී පැවති අයවැය කියවීමේදී ගත් පත්තර ඡායාරූප පෙළක් ඇදී ආවේය. බොහෝ මැති ඇමැතිවරු සිටියේ නින්දේය. සමහරවිට ඒ අයට නි‍ෙවසේදී සුවබර නින්දක් ලබා ගැනීමට ඇති කාලය කෙටි විය හැක. ඔවුන් ද මිනිසුන්ය. නිලන්ත කියන්නේ කුමන දේශපාලන මතවාදයක සිටියත් මන්ත්‍රී ඇමැති ජනයා ද මිනිසුන් බවය. රටවැසියා ද ඔවුන්ට මිනිසුන්ට සේ සැලකීමට පුරුදු විය යුතු යයි පවසන කතාව ඇසීමට කුසල් කැමති නැත. මන්ත්‍රිවරුන් පිළිබඳව ඡන්දදායකයන් තුළ ඇති විවිධ මත බොහෝය.

“මොනවා වුණත් අපේ සර් ටිකක් හරි හොඳයි.”

එමට අකුසල් වැඩ කළත් කුසල් කියන එවැනි උපහාස කතා නරේන්ද්‍රගේ දෙසවනට ගෙන යන කෙනෙක් නොසිටීම කුසල්ගේ පූර්වයේ කළ කුසලයක ඵලයකි. නරේන්ද්‍ර ඕපාදූප කයි කතන්දර කේළාම් නොඅසන්නෙකු ලෙස ද අනුගාමියෝ සලකති.

රෝජා සඳපාණි බන්දුල දෙස ද බලමින් පියා නි‍ෙවසින් පිටතට එනතුරු නරේන් හා කතා කළ ද ඇයගේ සිතෙහි සක්මන් කරමින් සිටියේ රාහුල රවිහාරි මනෝහාරි සහ රාජඍෂිය. රාජඍෂි හැර අනෙක් තිදෙනා නිවාස සංකීර්ණයට එන පොරොන්දුවක් දී තිබුණ ද උදෑසන මනෝහාරි කීවේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒමට බැරිකමකි. රවිහාරි සහ රාහුලගේ පැමිණීමට බාධාවක් නැත.

නේෂන් ගෙතුළින් ආලින්දයට පැමිණෙන විට රෝජා සඳපාණි නැගී සිටියාය.

“යමු නේද පුතා?”

නේෂන් ඇසුවේය. තරුණිය නරේන්ද්‍ර වෙත හැරුණාය. වෙන්වීමේ දුකක් වියපත් දේශපාලනඥයාගේ දෙනෙතෙහි තිබෙනු ඇය දුටුවාය.

“නරේන් මාමා නිවාඩු වෙලාවක අපිව බලන්න එන්න.”

නරේන්ද්‍ර ඇගේ ඉල්ලීම පිළිගන්නා බව හඟවමින් හිස සලෙුවේය.

“රාජඍෂි අයියාට ස්තුති කළා කියන්න. එයා අපිට හුඟක් උදව් කළානෙ...”

“ස්තුතියි! ස්තුතියි? මොකද‍ මේ? හැම වෙලේම ස්තුති කරන්න ඕනෙ නැහැ. අපි දැන් යාළුවො.”

නරේන්ද්‍රගේ ස්වරයෙහි ‍චෝදනාවක් ගැබ්වී තිබිණි. රෝජා සඳපාණි ඔහු දෙස මඳ වේලාවක් නිහඬව බලා සිටියාය.

“දෝණි. මිනිස්සුන්ව අවිශ්වාස කරන්න එපා. විශ්වාස කරන්න. ඔයා තාමත් පොඩි ළමයෙක් වගේනෙ. අවුරුදු තිහක කරදර ඉවරවෙලා දැන් අවුරුදු හතකටත් කිට්ටු වුණානෙ. ඒ කාලෙ තිබුණ කරදර නෙමේ දැන් තියෙන්නෙ. තරුණ ඔයාලගෙ යුතුකමයි වගකීමයි වෙන්නෙ වැඩිහිටි ජාතිය ගැන විශ්වාසයක් ගෞරවයක් ඇතිව අලුත් රටක් හදන්න පෙරමුණ ගන්න එක. මේක අවවාදයක් නෙමේ ඉල්ලීමක්. මුළු රටේ ම අවශ්‍යතාව ජීවත් වීම. සයනයිඩ් කරල් බෙල්ලෙ බැඳගෙන හිටපු කාලෙ ඉවරයි දෝණි. ඒ මෝඩ වැඩ වලින් පාඩම් ඉගෙන ගෙන ජීවිතයට වටිනාකමක් දෙන්න ඕන. ඔයාල වගේ මේ මහා පෘථිවිතලයේ වර්තමාන දේශපාලන ව්‍යාප්තිය හොඳින් දැකපු තරුණ ළමයි සමාජය දැනුවත් කරන්න ඕන. හොඳට මතක තියාගන්න සමස්ත රටවැසියාගේ ම අවශ්‍යතාව සතුටෙන් ජීවත්වීම. සැනසිල්ලෙ ජීවත්වීම. ඒ අයිතිය දේශපාලන බලයට යට කරන තීරණ තීන්දු ගන්න එපා. මරාගෙන මැරෙන එක නෙමේ වැදගත්. සමගියෙන් ජීවත්වීම. විශ්වාස කරන්න වැඩිහිටි ජාතිය. සිංහල දෙමළ මුස්ලිම් අපි එකට එකතු නූණොත් අපිත් රටත් දෙකම විනාශ වෙයි. බල අරගල නිසා රට කැලඹෙනවා. ඒක බොරදියේ මාළු බාන්න බිළී පිති උස්සන් ඉන්න අයට ලොකු රුකුලක්.”

රෝජා සඳපාණිගේ මුහුණ ලජ්ජාවෙන් රතු වුණා පමණක් නොව ගෙල මුල දහදියෙන් තෙත් විය. මේ කුමන අර්ථ කථනයක් ද? තමා මායාවෙන් මිදෙමින් සිටින බව මේ කෘතහස්ත දේශපාලනඥයාට නොවැටහුණේ ඇයි?

ඇය අසරණ දෙනෙතින් පියා වෙතට හැරුණාය. ඔහු සිනාසුණේ සැහැල්ලුවෙනි. පියා දේශපාලනඥයාට එකඟ වෙමින් සිටී. ඔවුන් වැරදි නැත. වැරදි ඇතත් නැතත් නි‍ෙවසින් පිටව යන්නට සූදානම් වන මොහොතේ ඔහු මෙවැනි දීර්ඝ අවවාදයක් දෙන්නේ මන්දැයි සිතා ගැනීම අපහසුය.

බියපත් දෙනෙතින් බලා සිටිනා තරුණියට ළං වූ නරේන්ද්‍ර ඇගේ හිස් මුදුනට දකුණත තැබුවේය.

“මං දෝණිට බය වෙන්න දෙයක් කිව්වෙ නැහැ. හිතන්න දෙයක් කිව්වෙ. ඔයා බලන්න යාපනෙත් නෑදෑ මිත්‍රයො එන්න පටන් ගනීවි. ඒක වෙන්න ඕන. ඒත් අනවශ්‍ය ගැටලු හදා ගන්න එපා කියලයි මං කියන්නෙ. මුළු රටේ ම මිනිස්සු ත්‍රස්තවාදය නිසා වින්ද දුක් ඇති. මුළු රටේ ම තරුණ තරුණියෙ ත්‍රස්තවාදයට විරුද්ධව නැගී හිටින්න ඕන. අපි වගේ නාකි දේශපාලනඥයො බලය වෙනුවෙන් බෙරිහන් දෙනවා. හරියට සිංහ හම පොරවා ගත්ත නරි වගේ. හැබෑ සිංහයො නැතුවා නෙමේ. වැඩියෙන් ඉන්නෙ සිංහ හම පොරවා ගත්ත නරි. උන්ට ඕන කොයි රටකට දණ ගහලා හරි බලය තියා ගන්න. ඒක මිනිස් නිදහසට ලොකු තර්ජනයක්.”

නරේන්ද්‍ර එසේ කියමින් ම තරුණියගේ අත ගෙන මෝටර් රථය සමීපයට ගියේය.

“දෝණි ඔයා මට විශේෂ චරිතයක්. නිවාඩු වෙලාවක මං එන්නම් තාත්තයි ඔයාවයි බලන්න. දැන් ඉතින් සතුටෙන් ඉන්න ලැබේවා කියලා හිතාගෙන ගෙදර යන්න.”

නේෂන් දියණියට රථයේ දොර හැර දුන්නේය. අනතුරුව ඔහු නරේන්ද්‍ර වැලඳ ගත්තේය.

“මගෙන් හරි දරුවගෙන් හරි වැරැද්දක් වුණා නම් සමාවෙන්න.” නේෂන් කීවේය.

“නෑ. නෑ. මං දෝණිගෙ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කිව්වෙ. ඒ ළමයා හොඳ දරුවෙක්. පුළුවන් වුණොත් යාපනේ යන්න මාත් එනවා.”

නරේන්ද්‍ර කීවේ නේෂන්ගේ සිතට සැනසුමක් ළං කරමිනි. ඔවුන් නේෂන්ගේ උපන් ගමට යෑමේ තීරණයක් ද ගෙන තිබිණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්