නිවන නිසා මහ බැංකුව පේන්නෙ නෑ!

 බලතල ඇති තනතුරුවලට අප තෝරාපත් කළ රට වැස‍ියෝ ඔවුන් මිරිකී පීඩිතව සිටි සමාජ තත්ත්වය නිදහස ළඟාවීම නිසා වඩා ස්ථාවර වූ සාධාරණ වූ තත්වයකට පරිවර්තනය වෙතැ’යි විශ්වාස කළහ. ඔවුන් අප වෙත තැබූ ඒ විශ්වාසය අප පිට පැවරී තිබෙන වගකීම තරම්ම වූ බරපතළ එකකි.

ජේ.ආර්. ජයවර්ධන නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමතිවරයා විතරක් නෙවෙයි, එකල පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යන්ගේ මුදල් ඇමතිවරුන් අතරින් වයස අතින් ළාබාලයා ද වුණා. ලංකාව විදිහට බැලුවොත්, JRJ 1947 ඉඳල අයවැය ලේඛන හතක් ඉදිරිපත් කරමින් තම මාතෘ භූමියට ඔබින ආර්ථික ප්‍රතිපත්තියක් හැඩගස්වා ගන්න ප්‍රඥා සම්පන්න තාර්කිකත්වයක් ඉදිරිපත් කරල තියෙනවා.

JRJ සූත්‍ර අංක 3 විදිහට ආරම්භයේදීම උපුටා දක්වා තියෙන්නෙ 1948 ජූලි මාසෙ 20දා පැවැත්වූ අයවැය කතාව අවසන් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මතු වූ සූත්‍රයක්. මේ සූත්‍රය කෙරෙහි පාඨක අවධානය වඩාත් විපිලිසර විය යුතු කාරණය තමයි, නිදහස ලැබිල හය මසක්වත් ගෙවෙන්න කලින් ප්‍රකාශ කළ එකක්වීම.

මේ සූත්‍ර අංක 3 සමුනිගේ මනස සිහි කැඳවා දුන්නේ පසුගියදා පැවති 69 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජනාධිපති මෛත්‍රි විසින් ජාතිය අමතා ආර්ථික නිදහස සපුරා ගැනීමේ බලාපොරොත්තුව ගැන කතා කරපු මොහොතෙ.

ඉපදුන දා ඉඳල වයස අවුරුදු 51 වෙනකම් ඡන්ද පොළක් අහලකින්වත් සමුනි ගිහිල්ල නෑ, ඒත් 2015 ජනවාරි 8 දා හා පුරා කියල හංසයා ලකුණ හා මෛත්‍රිපාල සිරිසේන කියන නම ඉදිරියේ මනාපය ලකුණු කළේ ක්ෂණික තීරණයකින් මොළේ කචල් කරගෙන හෝ රැල්ලට ගසාගෙන යාමෙන් නෙමෙයි.

ක්‍රියාශීලී දේශපාලනය තිත්ත වී, අඩුම තරමින් උන්ටවත් මුන්ටවත් මනාපයක් නැතිව; ඒත් තම තමන්ට හැකි උපරිමයෙන් පැසිව් පොලිටික්ස් Passive Politics හෙවත් අක්‍රීය දේශපාලනයත් අසංවිධිතව කරමින් හිටි සමුනි වර්ගයේ පුද්ගලයන් ලක්ෂ ගණනකින් මෛත්‍රිට ලැබුණු ගැම්ම සුළු පටු නැහැ. JRJ කියන ආකාරයෙන් මිරිකී පීඩිතව සිටි මොවුන් ස්ථාවර හා සාධාරණ පරිවර්තනයක්, මෛත්‍රී රජ කරවීමෙන් ප්‍රාර්ථනා කළා මිස බොක්ක හෝ හක්ක සතපවන්ට බලාපොරොත්තු වුණේ නෑ, එහෙත් මෛත්‍රිට ඇති වූ වගකීම තරමට ම ඔවුන් මනසින් හා ආත්මයෙන් සුබවාදී පරිවර්තනයක් රට තුළ බලාපොරොත්තු වුණා.

ඉස්සර ඡන්ද මැෂින් ක්‍රියා කරවන්නන් හිතුවෙ හාල්සේරු දෙක ඇට අට, පච දේශ හිතෛශි බව වගේ දෙයින් පාවෙන ඡන්ද හුළ‍ඟෙදිම අල්ල ගන්න පුළුවන් කියල. මේ විදිහට හිතන අය තවමත් එහෙන් මෙහෙන් හිටියත් JRJ 3 වන සූත්‍රයට අනුව බලතල ඇති තනතුරුවලට පුද්ගලයන් තෝරන්නෙ දිනු නිදහස ප්‍රායෝගිකව අර්ථ ගන්වන්න උත්සහ දරන රටවැසියන් මිසක් එදිනෙදා වේල පිරිමහ ගන්න උද්ඝෝෂණ පා ගමන් පිකටිං වලට එකතුවන නන්නත්තාරයන් නෙවෙයි.

JRJ නායකයෙක් කියල හිතන්න සමුනිගෙ හිත කවදාවත් ඉඩ දුන්නෙ නෑ. සත්තයි, ඔහු නායකයන්ගෙ නායකයෙක්. ලංකා ජාතික සංගමයෙ ලේකම් ධුරයේ ඉඳල ශ්‍රී ලංකා ජනරජයෙ පළමු විධායක ජනපතිකමෙන් නිරුපද්‍රිතව විශ්‍රාම ගන්නා තුරු ඒ බව ඔප්පු කරල තියෙනව.

JRJ පුද්ගලයන් ගැන කතා කළේ නොකරම බැරි තැනකදී විතරයි. උචිත අවස්ථාවලදි සිද්ධි ගැනත් කතා කරන්න තරමක් උනන්දු වුණා. ඒත් ඔහු හැමවිටම ජාත්‍යන්තර මට්ටමේ දේශනවල සිට පෞද්ගලික සාකච්ඡා දක්වා උනන්දු වුණේ අසන්නන් හට අවබෝධය හා වැටහීම ලබාදීමට සංකල්ප හෝ අදහස් ගැන කතා කරන්න. සුදු නාකයෙකු හා නායකයන්ගෙ නායකයෙකු අතර වෙනස සමුනි තේරුම් ගත්තේ JRJ ගෙ මේ සංකල්ප හා අදහස්වලින් සපිරි කථිකත්වය තුළින්. ඔහු ඡන්ද පොර පිටියෙදි වුණත් විරුද්ධවාදින්ට මඩ ගැහැව්වෙ නෑ. කාටත් හිනා යන පොඩි කිංඩියකින් නෝන්ඩි කිරීමක් විතරයි කළේ.

අප 3 වන සූත්‍රය මතු කරගත් අය වැය කතාවෙ එක තැනකදි JRJ මෙහෙම කියනව.... “මේ අවස්ථාවෙදී ආණ්ඩුව විසින් කරන්නෙ අපේ අනාගත සංවර්ධනය පිළිබඳ කටුසටහන් ඉදිරිපත් කිරීමයි. එය මිනිසුන් විසින් සකස් කරන ලද, මිනිසුන් විසින් සාදන දේවල පවත්නා අඩු පාඩු සහිත වූ සැලැස්මකි. තවද දැනට පවත්නා මුදල් තත්වයෙන්ද, එය සීමාසහිත වූවකි. එහෙත් මේ සැලැස්ම සකස් කිරීමේදී අපේ පරමාර්ථය වූයේ වැඩි දෙනෙකුට යහපත සිදුකිරීම බව අවංකව කියමි...”

යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය JRJට අනුව නම් කටුම කටු සටහනකි. ගහේ කටු උල්කරන්න ඕන නෑ කිව්ව වගේ අගමැති රනිල් හා මුදල් ඇමති රවී මංගල අයවැය ලේඛනය හැදුවෙ තමන්ගෙ පරමාදර්ශි නායකයා වූ JRJ ගෙ මේ කටුසටහන් බජට් තියරියට වෙන්න ඇති.

ඒත් පුද්ගලයන්ගේ ඕපදූප හොයන්න - සිල්ලර සිද්ධි ගැන බෙරිහන් දෙන්න මිසක් සංකල්ප ගැන මොලෝ හසරක් නැති දේශපාලන බාලාංශකයන් ඒ අයවැය විවේචනය කළේ මක මකා ලියන කළු ලෑල්ලක් කියල හිතාගෙන. මිනිසුන් විසින් සකස් කරන සාදන දේවල අඩු පාඩු කිසිදා තිබෙන්නට බැරිය කියා හිතන මේ වර්ගයේ මැට්ටන් JRJ ජීවතුන් අතර සිටින විට පවා ඔහු නොමරා මැරුවා විතරයි.

JRJ මුදල් ඇමති විදිහට කටයුතු කරපු දීර්ඝ කාලය පුරාම ලංකාවෙ ආර්ථික හා මුල්‍ය ආකෘතිය සුද්දගෙ ක්‍රමයෙන් ඈත් කරල රටට ඔබින විදිහට ගළපන්න උත්සහ ගත්තා. පසුගියදා නිදහස් උලෙළදි ජනාධිපති මෛත්‍රී උළුප්පා දැක්වුවෙ ඇති කළ යුතු ආර්ථික නිදහස ගැන. එදා මුදල් ඇමති විදිහට JRJ ට සිද්ධ වුණේ දේශපාලන නිදහසත් එක්කම ආර්ථික නිදහසත් ඉල්ලා හිටින්න.

ආර්ථික නිද‍හසේ පදනම විදිහට JRJ දැක්කෙ මහ බැංකුවක අවශ්‍යතාව. ලාංකික ජාතිය පණ ගන්වන්න නියම ජාතික ගීයක අත්‍යවශ්‍ය බව තේරුම්ගත් ඔහු එය ඉෂ්ඨ කළ ආකාරය ගිය සතියෙ මේ තීරුවෙන් ඔබ කියෙව්වනෙ. මහ බැංකුවක අත්‍යවශ්‍ය බව දැකීමෙන් පමණක් නොනැවතී එය ස්ථාපිත කළ ආකාරයත් ලාංකිකයන්ට විශේෂයෙන් ම ආර්ථික ක්ෂේත්‍රය ගැන උනන්දු අයට මේ සතියෙ ලබා දෙන්නෙ ආස්වාදයක්.

1947 ‍සැප්තැම්බර් 30 දා වෙනකොට ලංකාවට අයත් විදේශ වත්කම් ප්‍රමාණයෙන් වැඩි හරියක් බ්‍රිතාන්‍ය පවුම් sterling විදිහට තමයි තිබිල තියෙන්නෙ. ඊළඟ වැඩිම වත්කම් තැන්පත් වෙලා තියෙන්නෙ ඉන්දියානු මුල්‍ය ආයතනවල. නිදහස ලැබීමත් එක්ක JRJ මේ මුදල් ලංකාවේ දියුණුවට ගන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එක්ක ගැඹුරු කතාබහක යෙදුණා. කොහොම හරි 1948 - 49 - 50 යන වර්ෂවලදී ‍කොටස් කොටස් විදිහට අපේ වත්කම් රටට ගැන්මට JRJ තීක්ෂණ වුණා. JRJ ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රඥාව මේ තීරණාත්මක යුගයෙන් පසු ඉක්මනින් ඵලදැරුව. 50 දශකයෙන් පසු ලාංකික වත්කම් ප්‍රයෝජනයට ගැනීමට තිබුණු සියලු බාධක ජය ගැනීමට බ්‍රිතාන්‍ය සමඟ සම්මුතියක් ඇති කර ගන්න JRJ ට පුළුවන් වුණා.

මේ ක්‍රියාවලිය ක්‍රමානුකූළ කරන්නත් ශ්‍රී ලංකාවට මහ බැංකුවක් නැතිවම බැරි බව JRJ ඒත්තු ගත්ත. විශේෂයෙන් ම ලංකාවෙ මුදල් ක්‍රමය ඉන්දියාවෙ මුදල් ක්‍රමයට බද්ධ කරලයි සුද්දා වැඩේ දීලා තිබ්බෙ. දේශපාලන නිදහසත් එක්ක ආර්ථික නිදහසත් ඕන කියල කලින්ම JRJ තර්ක දැම්මෙ මේ නිසයි. තර්කෙ විතරක් නෙවෙයි නියම නිදහසේ සංකේතෙ විදිහට මහ බැංකුවක් අත්‍යවශ්‍යයි කියල මතවාදයක් මහ හඬින් ගෙනියන්න JRJ අදිමදි කළේ නැහැ. අන්තිමේදි JRJගෙ මහබැංකු සිහිනය කල් නොමරා භෞතික යථාර්ථයක් බවට පත් වුණා. ජෝන් එක්ස්ටර් කියන ආර්ථික විද්‍යාඥයාගෙ උපදෙස් ලබා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව 1950 දීම ස්ථාපිත කරණ්න JRJට පුළුවන් වුණා.

මහ බැංකුව කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට පාසල් ගුරුවරු දෙන සරල පිළිතුර තමයි ‘බැංකු කරුවන්ගේ බැංකුව’ කියල. ඒත් හොඳ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් තවදුරටත් මෙහෙම විස්තර කරන්න පුළුවන්. රටේ ආර්ථික හා මිල ස්ථායීතාව ව ගේ ම මුල්‍ය ක්‍රමයේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා මූලික පියවර ගන්නා ආයතනය.

ආර්ථික විද්‍යාවට වගේම රටේ ආර්ථිකය ගැනත් උනන්දු ඕනෑම කෙනෙකුගේ ජනප්‍රියම අත්‍පොත ප්‍රකාශයට පත් කරන්නෙත් මහ බැංකුව විසින්. වාර්ෂික වාර්තාව නමින් නිකුත් කෙරෙන මේ පොත කි‍ලෝ දෙකක් විතර දඬු ග්‍රන්ථ රාජයෙක්. රටේ ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ මණ්ඩලය විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක විවරණයක් මේ මඟින් ඉදිරිපත් කෙරෙනව. ඒ ඒ මුදල් වර්ෂය අවසන් වෙලා මාස 4ක් ගෙවෙන්න කලින් මේ වාර්ෂික වාර්තාව මුදල් ඇමතිවරයට මහ බැංකු අධිපති විසින් බාර දෙන්න නීතියෙන් බැඳිල ඉන්නව.

JRJ පටන් ගත්ත වැඩේ ලේසි නෑ කියල සමුනිට හිතෙන්නේ ඉහත කාරණා ගැන සිහි වෙනකොට නෙවෙයි; පහුගිය අවුරුදු දෙකක් ඇතුළත ‘මහ බැංකුව’ කියන්නෙ මොකක්ද කියල රටේ ‘මහා’ ජනතාව විතරක් නෙවෙයි ‘පොඩී’ ජනතාවත් ඉව ඇල්ලීම ගැන. විශේෂයෙන් ම බැඳුම්කර කෙළිය, යහපාලනයෙ පළමු මහබැංකු අධිපති ඉකිමනින් ම ගෙදර යැවීම, ඒගොල්ලයි - මේගොල්ලයි මහ බැංකුව බින්ද විදිහ ගැන වාද විවාද පැවැත්වීම, ජනාධිපති මෛත්‍රි මේ දෙගොල්ල ගැනම වග බලා ගන්න කොමිසමක් පත් කිරීම ..... තව තවත් මොන මොනව නම් මහබැංකුව අරබයා වෙයිද?

ඇත්තට ම JRJ ගැන පව් කියල සමුනිට හිතුණෙ ජාතික ගී හුටපටයටත් වඩා මේ මහබැංකු ජිල්මාට් එකේදි. මොකද ජනතාව තමන් කෙරෙහි තිබූ විශ්වාසයේ තරමට ම තමන්ට ජනතාව කෙරෙහි වගකීමකුත් ඇති බව අමතක නොකළ JRJ ට මහබැංකුවේ මේ වෙච්ච දේ ගැන හා හූවක්වත් දැන ගන්න විදිහක් නෑ. රෑ කෑමෙන් පස්සෙ බ්‍රැන්ඩි ටිකක් තොල ගෑවත් තමන් නිවන් දකින බව මරණයට පෙරම ඔහු දැන ප්‍රකාශ කොට හිටි නිසා.

අද අප සලකා බැලූ සූත්‍ර අංක 3 ඇතුළත් අය වැය කතාව අවසන් කරමින් JRJ මෙහෙම කියා සිටිනවා. ‘අපි ලෞකික සැප සම්පත්වලට පමණක් ලෝභ කළ අය නොවෙමු. භව භෝග සම්පතට වඩා චිත්ත පාරිශුද්ධතාව අගේ කොට සැලකීම අපේ ධර්මය අපට පෙන්වා දී තිබේ.’

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.