“පැරෑලියේ සීන් එක”

 පැරෑලියේ දුම්රිය ඛේදවාචකය වූ සැටි ගැන මුහුදුබඩ ප්‍රදේශයේ කියැවෙන කතාවක්, ඉතාමත් හැඟීම් දනවන ආකාරයට ප්‍රියාන්ද සිල්වා විසින් මුහුණු පොතේ ලියා තිබුණා. එයට ඉමහත් පාඨක ප්‍රතිචාර ද හිමි වූවා.

ඊට අනුව එම කථා සාරාංශය මෙසේයි.

දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා හොඳ මනුස්සයෙක්. කාහටත් උදවු උපකාර කරන, ප්‍රියමනාප පුද්ගලයකු වූ ඔහු සිය රැකියාවෙන් ලැබෙන ආදායමට අමතරව සුළු ආදායමක් ලැබු‍ෙව් වෙළෙන්දකු විසින් එවන කන්තලේ මීකිරි අවට වෙළෙඳ සැල් කීපයකට යොමු කිරීමෙනි.

‍ කිසිවකුට යහපතක් මිස අයහපතක් නොවෙන මේ අහිංසක ව්‍යාපාරයේ ඔහුගේ භූමිකාව ඔය කියන දවසෙත් ක්‍රියාත්මක වූවා. ව්‍යාපාරිකයා එවන කිරිහට්ටි ටික බාලා - ස්ථානගත කරන එක තමයි ඔහුගේ “කොටස”. වෙනදා ඒක කරවන්ට සේවකයො හිටියා. එදා සේවක අඩුපාඩුවකුත් තිබුණ නිසා අපෙ ස්ටේෂන් මාස්ටර්ම එතැනට ගියා.

කිරිහට්ටි ටික බාව ගන්න අතරේ එස්.එම්. ගෙ ඔෆිස් එකේ ටෙලිෆෝන් එක නද දුන්නා. ඒක ගන්නට කෙනෙක් හිටියෙ නෑ! එස්.එම්. කිරිහට්ටි බානවා! ඒකෙන් කියන්නට නියමිතව තිබුණ පණිවුඩය තමයි “මූදේ රළු ස්වභාවයක්, එනිසා ඔය දුම්රිය යවන්ට එපා. නවත්තගන්ඩ...!”

ෆෝන් එකට ආන්සර් කරන්ට ඉන්න එක ම පුද්ගලයා “කිරිහට්ටි ටික බාගෙන” දුම්රියට පිටත් වෙන්න සංඥාව නිකුත් කළා!

දුම්රිය පිටත් උනා!

ඊට පස්සෙ වෙච්ච දේ කවුරුත් දන්නවා. යකඩ යකා විතරක් නෙවේ; රේලී පීලි පවා අඹරවා ගෙන “සුනාමිය” මේ කෝච්චිය බිලිගත්තා. ජීවිත දේපළ - මිල කරන්ට බැරි තරමේ විනාසයක් සිදුඋනා!. එතැනින් එහා කොටසත් ප්‍රියාන් ද සිල්වා විස්තර කරනවා.

මේ සිදුවීමෙන් පසු රැකියාව අහිමි වන “ස්ටේෂන් මාස්ටර්” ට සමාජයෙන් බොහෝ තර්ජන ගර්ජන, දෝෂාරෝපණ, අරක මේක එල්ල වෙනවා.

මේ කිසිවකට නොසැලෙන දුම්රිය ස්ථානාධිපති යුතුකම් ඉටුකිරීම පිණිස කුලී වැඩ කරනවා. තවත් විවිධ ආකාරවලට කටයුතු කරමින් “දරු පවුල” රකිනවා. ඔය අතර “නඩුව” ඇහෙනවා!.

මොනතරම් අපහසුතා - අසීරුතා තිබුණත් තම දරු පවුලේ යුතුකම් ද ඉෂ්ඨ කරන ස්ටේෂන් මාස්ටර් “නඩුව” ට ද ඉදිරිපත් වෙනවා.

මේ අතර සමාජයෙන්ද, ඔහුට, එපමණක් නොව දරුවන්ට නොයෙක් ආකාරයේ “දෝෂා‍රෝපණ” එල්ල වෙනවා. කෙසේ හෝ අවසානයේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වන දිනය එළඹෙනවා. ඊට පසුදා කෙටි ලියුමක් ලියා තබන හිටපු දුම්රිය ස්ථානාධිපති ගෙල වැලලා ගෙන මිය යනවා!.

නඩු තීන්දුව දෙන්ට කලින් දවසේ සියදිවි හානි කරගත් නිසා එස් එම් උන්නැහෙ, “නඩු තීන්දුව” දැන ගත්තෙ නෑ!

තකතීරුවා දන්නෙත් නෑ!

හැබැයි, මේ ලංකාදීපෙම ඉපදිලා, නිවාඩුවකටවත් රටෙන් පිට නොගිය, සත වරුස බාගයකටත් එහා මේ රට ගැන දන්න තකතීරුවා හිතන්නේ මේ නඩුව ඇහෙන්ට ඇත්තෙ මේ විදිහට කියල.

ඉස්සර වෙලාම ස්ටේෂන් මාස්ටර් කැඳවනවා. එස්.එම්. කියනවා කිරිහට්ටි කතාව. “ඒ මුදලාලි කිරිහට්ටි එවුවා. මම කළේ ඒව බාර ගන්න එක.”

“කිරි හට්ටි මුදලාලී කැඳවනු!”

කිරි මුදලාලි උසාවි ගෙන්නනවා.

“කිරි හට්ටි එවුවේ ඇයි?”

“ඒක මගෙ බිස්නස් එක ස්වාමීනි. කිරිහට්ටි කියල දෙයක් මේ කන්තලේ පැත්තෙ මිනිස්සු හදනවා. මේ පැත්තෙ කට්ටිය ඒව කන්ට ආසයි...”

‘ඇති ඇති... ඔය කියන කිරි හදන කන්තලේ මිනිසුන් කැඳවාගෙන එනු!”

අනතුරුව කන්තලේ කිරි නිෂ්පාදකයන් උසාවියට කැඳවාගෙන එනු ලැබේ.

“තොප මී කිරි නිෂ්පාදනය නිසා වී ඇති අපරාධයක තරම බලව! තොප ඇයි මී කිරි නිෂ්පාදනය කරන්නේ?”

“ස්වාමීනි, අපෙ පළාතෙ මී හරක් කියල ජාතියක් ඉන්නව. උන්ගෙ දෙන්නුන්ට කිරි එරෙනවා. ඒ‍වගෙන් තමයි අපි කිරි මුදවන්නෙ.”

“ඔය කියන මී දෙන්නු වහා ගෙන එනු!”

මී දෙන්නු උසාවිගත කරනු ලබයි.

මී දෙන්නු වෙනුවෙන් පෙනී සිටින “නීති ආධාර කොමිසමේ” නීතිඥවරයා කියා සිටින්නේ, “මී දෙනුන්ට කිරි වැරීම සිදුවන්නේ ඔවුන් ගැබ් ගන්නා නිසා බවත්, ගැබ් ගන්නේ මීහරකුන් නිසා බවත්ය. අවසානයේ මී හරකුන් උසාවියට රැගෙන එනු ලබන අතර උන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් පෙනී නොසිටියි.

තකතීරුවා සිතන අන්දමට මේ නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් වන්නට නියමිතව තිබුණේ එසේ විය යුතුය.

ඒ නිසා එස්. එම්. මහත්තයා කලින් දවසේ එල්ලිලා මැරු‍ෙණ් අපරාදේය.

පැරෑලියේ ඛේදවාචකයට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ කන්තලේ පැත්තේ “මී හරක්ය”

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.