ඇල්ලුවාට හපන්න බැහැ

 ආයතන 15 ක් සම්බන්ධයෙන් විමර්ශනය කළ කෝප් කමිටු වාර්තාව පසුගියදා නිකුත් කළා. මේ පිළිබඳ සඳහනක් කළොත්....?

අපි මෙවර ඉදිරිපත් කළේ කෝප් කමිටුවේ තුන්වැනි වාර්තාව. ගිය වසරේ අගෝස්තු මාසයේ ආයතන 19 ක වාර්තාවක් ඉදිරිපත් කළා. ඊටත් පසුව බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව සභාගත කළා. ඒ නිසා මෙය අපේ තුන්වැනි වාර්තාව. පසුගිය 2014 හා 2015 වසර වලදී රුපියල් කෝටි 11,100 ක පමණ රටේ නාස්තිකාර වියදම් සිදුවෙලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තියෙනවා රුපියල් මිලියන 57 000 ක. රුපියල් කෝටි 530 ක් වියදම් වෙලා තියෙනවා සූරියවැව ක්‍රීඩාංගණයට. ඒ වගේම කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය අලුත්වැඩියා කරන්න තවත් අතිවිශාල මුදලක් යොදවලා තියෙනවා. හම්බන්තොට වරායේ පාඩුව රුපියල් කෝටි 3718 ලෙස ගණන් බලා තියෙනවා. ඉංජිනේරු සංස්ථාව විවිධ ව්‍යාපෘතිවලට කරන ලද වියදම් මිලියන 2918 ක් වෙලා තියෙනවා. වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉංජිනේරු සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ඒ යටතේ වූ මඟ නැගුම මෙවර කෝප් විමර්ශනයට හසුවුණා. ඊට අමතරව පාපන්දු සම්මේලනයට ලැබුණු මුදල්, ඒවා යූරෝ ඩොලර්වලින් වියදම් කළ ආකාරය වගේ අංශත් ඇතුළත් වුණා. මේවා මේ රටේ ආර්ථිකයේ මර්මස්ථාන ආයතන. මේවා විධිමත් කළමනාකරණයකට ලක් කරනවානම් , පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයකට පත් කරනවානම් මේ රටේ ණය ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. මේවා රටේ ජනතාව පරිභෝජනය කරලා භුක්ති විදලා ණය වුණු ඒවා නෙවෙයි. මේවා යමක් හදන්න අරගෙන නාස්ති කළ මුදල්.

 පසුගිය රජය මුදල් නාස්ති කළා මිස ජනතාවට කිසිවක් නොකළ බව මින් හැඟවෙනවාද?

ඒ අය යමක් කරලා තියෙනවා. නැත්තේ නැහැ. නමුත් ඒ කළ දේවල හොඳම ප්‍රතිඵල ලැබුණාද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කෙරුණු වැඩවල ප්‍රතිලාභය, ජනතාවට මොනවද ලැබුණේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. කෝටි 530 ක් වියදම් කරලා හදපු සූරියවැව ක්‍රීඩාංගණයට දැන් අයිතිකාරයෙක් නැහැ. ක්‍රිකට් ආයතනයට අයිතිනම් ඒ අය ඒ බිල්පත් පියවිය යුතුයි. නැතිනම් වරාය අධිකාරිය ඒ වගකීම් භාරගත යුතුයි. අනෙක් පැත්තෙන් සූරියවැව ක්‍රීඩාංගණය හැදුවේ ක්‍රීකට් ගහන්න වෙන ක්‍රීඩාංගණ නැතුව නෙවෙයිනේ. මේ නිසා මේ ව්‍යාපෘති කාලීන අවශ්‍යතාවක්ද කියන පැනය මතුවෙනවා. නැඟෙනහිර ජැටියට මිලියන 10800 ක් වියදම් කරලා ජැටිය හදලා තියෙනවා. නමුත් එයින් අපිට අයිතිය තියෙන්නේ සියයට 15 ක් පමණ නම් වරාය හදලා තියෙන්නේ අපි වෙනුවෙන් නෙවෙයි. මඟ නැගුම ව්‍යාපාතිවලින් අදාළ කොන්ත්‍රාත්වලට සියයට 28 ක් දිලා තියෙනවා. මේවා කොමිස්. මඟ නැඟුම කියන්නේ රජයේ ආයතනයක් වුණාට අයිතිකාරයෝ පුද්ගලික අය.

 මේ ආයතන කිහිපය අතුරින් වංචා දූෂණ වැඩියෙන්ම සිදුවෙලා තියෙන්නේ කුමන ආයතනවලද...?

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සිදුවූ වංචා, වරායේ සිදුවූ වංචා ඇතුළු මම මුලින් සඳහන් කළ සියලු ආයතනවල විශාල වශයෙන් වංචා සිදුවෙලා තියෙනවා. අද ණය ගෙවා ගන්න බැරිව මේවා විකුණන්නේත් ඒ නිසායි. හම්බන්තොට වරාය හැදුවේ ඒ පිළිබඳ හරි ශක්‍යතා වාර්තාවක් කරලාද ? ලංකාවට වරායක් ඕනනම් අපට සංවර්ධනය කරගන්න ත්‍රීකුණාමලයේ ස්වභාවික වරායක් තියෙනවා. ත්‍රීකුණාමලයේ තියෙන්නේ නැව් හංඟන්න පුළුවන් වරායක්. ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කළා නම් අලුතින් වරායක් හඳන්න ණය ගන්න අපිට අවශ්‍යතාවක් නැහැ. මෙවැනි ආර්ථිකමය නොවන කටයුතු බොහොමයක් සිදුවී තිබෙනවා.

 මේ සම්බන්ධ චෝදනාවන්ට ලක්විය හැකි පුද්ගලයොත් හඳුනාගෙන තියෙනවාද...?

මේ විමර්ශන වල අපි නිතරම දැක්ක දෙයක් තමයි තීන්දු තීරණ ගත්තු අය අද විශ්‍රාම ගිහින්. තීන්දු තීරණ ගන්න කියපු අය අද දේශපාලනයෙන් විශ්‍රාම ගිහින්. නැත්නම් පැරදිලා. අද මේ වැරදිවලට අයිතිකාරයෝ නැහැ. නමුත් වැරැද්ද සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ යාන්ත්‍රනයේ ක්‍රමවේදවල වැරැද්දක් තියෙනවා කියලා. මේ යාන්ත්‍රනය නිසා වැරදි කරලා පහසුවෙන් හැංගෙන්න පුළුවන්. 2016 වසරේ අපි ආයතන 60 ක් ගැන විමර්ශන කරලා තියෙනවා. මේ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා. මේ නිසා මෙහි තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. රාජ්‍ය මුල්‍ය බලය තියෙන්නේ තනි පුද්ගලයෙක් අත නෙමෙයි. එය පාර්ලිමේන්තුව සතුයි. නමුත් මෙහි ප්‍රගතිය ක්‍රියාවට නැඟීමේ අයිතිය තියෙන්නේ විධායකයට.

 මේ සියලු විමර්ශන වාර්තා හමස් පෙට්ටියට යාමේ ඉඩකඩ පවතී ද?

කැමති අයට මෙය හමස් පෙට්ටියට දා ගන්නත් පුළුවන්. ඒ නිසයි අපි කියන්නේ මේ කිසි දෙයක් හමස් පෙට්ටියට යන්නට නොදී පසුවිපරම් කළ යුතුයි කියලා. මීට කලින් කැදවපු ආයතන අපි යළි යළි කැඳවනවා. උදාහරණයක් විදියට කියනවා නම් අපි තෙල් සංස්ථාවට කිව්වේ හෙජින් ගනුදෙනුව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ අරඹන්න කියලා. නමුත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධ සී අයි ඩී, අල්ලස් දූෂණ කොමිසම් වාර්තා, අමාත්‍යාංශ වාර්තා සියල්ල අපි නැවතත් කැඳවනවා.විගණනකාධිපතිගෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කැඳවලා බැඳුම්කර සිද්ධිය වගේ පාර්ලිමේන්තුවෙන්ම ස්වාධීන පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් වාර්තාව පිටවීමට පෙරම ජනාධිපති විශේෂ කොමිසමක් පත් කළා.මෙමඟින් රජයට මේ කටයුතු විධිමත් කරන්න පැහැදිලි වුවමනාවක් තියෙන බව පේනවා..?

කොමිසමේ කටයුතු නිල අධිකරණමය ක්‍රියාවලියක්. අධිකරණමය කටයුත්ත වෙනම සිදුවිය යුත්තක්. නමුත් එයට අවශ්‍ය සියලු පහසුකම් අපි හදලා තියෙනවා. ඒ කොමිසමට අවශ්‍ය නම් ඒ ලේඛන අපිට ලබා දෙන්න පුළුවන්. මෙහි සියලු ලේඛණ අපි නිතිපතිවරයාට යොමු කර තියෙනවා. අපේ කාරක සභාව හමුවට කැඳවූ පුද්ගලයන් 43 දෙනෙකුගෙන් පමණ අපි සාක්ෂි සටහන් කරගෙන ඉන්නවා. මේ අය වාචිකව ඉදිරිපත් කළ හඬ පටිගත කිරීම් අපි ළඟ තියෙනවා. ඒවා ඒ අයට ලබා ගන්න පුළුවන් නිසා මේ අයට කරන්න තියෙන්නේ සරල ක්‍රියාවලියක්.

 නමුත් මේ කොමිසම නිසා චූදිතයන්ට දඩුවම් ලැබීම කල්ගත වන්නට ඉඩ තියෙනවා..ද?

එහෙම දිග් ගැහෙන්නේ නැහැ. මෙයත් අවසන් කරන්න යම් කාල වකවානුවක් දීලා තියෙන්නේ. ජනාධිපති කොමිසම මාස තුනකින් අවසන් කළ යුතුයි. ඒ සමඟම අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුවට තියෙනවා මේ අධිකරණ ක්‍රියාවලියේ කටයුතුත්, ජනාධිපති කොමිසමේ කටයුතුත් පසුවිපරම් කරන්න.

 මීට කලින් නිකුත් කළ වාර්තා ගැන රජය දැක්වූ ප්‍රතිචාරයන් ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන්ද?

මේ දෙවල් වෙන්නේ මගේ පුද්ගලික හාස්කමකින්වත්, කෝප් කමිටුවේ හාස්කමකින්වත් නොවේ. මේ දේශපාලන වෙනස අපි තේරුම් ගත යුතුයි. ඒ වෙනස තමයි 2015 දී මහා මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් ඇතිවුණු වෙනස. මේ දේශපාලන පරිවර්තනය තුළ ජනතාව ලොකු දෙයක් කළා. ඒ තමයි එක පක්ෂයකටවත් තනිවම ආණ්ඩු පිහිටුවාගන්න බලයක් දීලා නැහැ. මේ නිසා අද යූ ඇන් පී යට වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් තමන්ට හිතු මනාපේ වැඩ කරගන්න බැහැ. මේ බැරිකම හැදුවේ ජනතාව. ජනතාව හදපු පාර්ලිමේන්තුව අනුව තමයි මේ ප්‍රතිඵල පේන්නේ. ජනතාවට ඕනනම් මීට වඩා ප්‍රතිඵල ගන්න පාර්ලිමේන්තුවකුත් හදන්නත් පුළුවන්. හැම දේම තියෙන්නේ ජනතාව අතේ. අද නිලධාරීන් දේශපාලඥයන්ට යටවුණු යුගය ඉවරයි. නමුත් දේශපාලඥයන්ට ඒ වෙනස තේරෙන්නේ නැහැ. අද විගණනකාධිපතිතුමා සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන්නේ ගැටුමක්. විගණකාධිපතිතුමා අමුතු දෙයක් කරලා නැහැ. අද විගණකාධිපති කිව්වොත් බැඳුම්කර වංචාවේ කිසිම දෙයක් වෙලා නැහැ කියලා. එතකොට ඒ විගණකාධිපති තමයි හොඳම කෙනා. නමුත් අද එහෙම වෙන්නැත්තේ ඔහු ස්වාධීනව කටයුතු කිරීම නිසයි. දැන් දේශපාලඥයන්ට යස් සර් ! නෝ සර්! කියන නිලධාරීන් නැහැ.

 චූදිතයන්ට දඩුවම් දීම සම්බන්ධව රටේ ජනතාව අතරත් ලොකු ආන්දෝලනයක් තියෙනවා....?

මේක හරියට අල්ලන්න පුළුවන් වුණත් හපන්න බැහැ වගේ දෙයක්. හපන්න බැරිවීම මේ බල අරගලයේ ප්‍රතිඵලයක්. අල්ලනවානම් අල්ලන්න ඕන තරම් වැරදි තියෙනවා. ඇත්තටම වාහන වැරදි නෙවේ වැරදි කියන්නේ. නමුත් අද අල්ලනව ද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයට අනුවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට කෝ පරීක්ෂණ. මිග් ගණුදෙනුව හෙජින් ගණුදෙනුව ගැන පරීක්ෂණ කෝ? මේවාට වගකිව යුතු අය කෝ? මොනවද මේවාට කළේ.

 වෙහෙස වී කරන ඔය විමර්ශනවලටත් ඒ දේ වෙන්න පුළුවන් නේද?

අපි මේ පරීක්ෂණ කරන්නේ ඒවා කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලලා නෙවේ. ඇත්තටම මම මගේ සීමාව විෂය පථය අඳුනාගෙන තියෙනවා. මම නඩුකාරයෙන් නෙවෙයි. පාර්ලිමේන්තුවත් උසාවියක් නොවෙයි. නමුත් පාර්ලිමේන්තුව නිකම්ම නිකම් කතා සාප්පුවකුත් නොවෙයි කියලා කිව යුතුයි.

 මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

සෑහීමකට පත්වෙන්න බැහැ. අවසාන ප්‍රතිඵලයෙන් ජනතාවගේ බදුබර වැඩි වෙනවනම් , පීඩනය වැඩි වෙනවානම්, රටේ ණය බර වැඩි වෙනවානම්, රටේ ආර්ථිකයේ ගමනක් නැත්නම්, රැකියා ප්‍රශ්න ඇතිවෙනවානම් සෑහීමකට පත්වෙන්න බැහැ. රට හදන්න සැලැස්මක් තිබිය යුතුයි. මේ සැලැස්ම ඇතුළේ මූල්‍ය විනයක් තිබිය යුතුයි. කෝප් කාරක සභාවෙන් අපි කරන්නේ ඒ මූල්‍ය විනය මෙහෙයවීමකට ලක් කිරීමයි. අපි රටේ ජනතාවට දෙන පණිවිඩය මේකයි. හැමෝටම හොරකම ගැන කතා කරන්නත් පුළුවන්. හොරකමට විරුද්ධ වෙන්නත් පුළුවන්. නමුත් හොරකම් නොකර හොරකමට විරුද්ධ වෙන එකත්, හොරකම් නොකර හොරකම් ගැන කතා කිරීමත් අමාරුයි. අපි ඉන්නේ එතැනයි.

ප්‍රථම වරටයි විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සභාපති පදවියට ඔබව පත්කළේ. මේක ජනතා ජයග්‍රහනයක්.....?

ඔව්. මේක ජනතාවගේ ජයග්‍රහනයක්. රජය පිනට දුන්නු දෙයක් නෙවේ. මම අවුරුදු 16 ක් මේ කාරක සභාවේ අඛණ්ඩව හිටපු එකම සාමාජිකයා. මේ නිසා මගේ විෂය දැනුම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මගේ උපාධිය ව්‍යාපාර පරිපාලන විද්‍යාව. මේ නිසා මට වඩා සුදුසු කෙනෙක් ආණ්ඩුවට හොයන්න පුළුවන්ද? මේ නිසා මේක යූ ඇන් පී යට පිං හිත පහළ වෙලා මට දුන්නු දෙයකුත් නෙවෙයි.

 ඉදිරියට කරන්න බලාපොරොත්තු වන විමර්ශන ගැන සඳහනක් කළොත්.....?

ඉදිරියේදි අපි කළ මේ වාර්තා ගැන පසුවිපරම් කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා. පසුගියදා අපි පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව කැදෙව්වා. හිඟුරාන වැවිලි සමාගම , ධීවර සංස්ථාව කැදෙව්වා. ඒ වගේම මිල්කෝ ආයතනය , හම්බන්තොට ලුණු සංස්ථාව ආදී හැම ආයතනයක්ම කැදවනවා.

සේයාරුව- තිලක් පෙරේරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.