අම්මා නැති කලේ චින්නම්මගෙ රඟේ

 තමිල්නාඩුවේ ‘අම්මා’ හෙවත් මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් චෙන්නායි හි ඇපලෝ රෝහලේ දී පසුගිය දෙසැම්බර් 5 දා ජීවිතයෙන් සමුගත්තේ එම ප්‍රාන්තයේ දේශපාලනය උඩු යටිකුරු කරවමිනි. ඒ වහා ඇපලෝ රෝහලට රැස් වූ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් වහා තීරණය කළේ එම පක්ෂයේ ඕ. පනීර්සෙල්වම් මහ ඇමැති ධුරයට පත් කිරීමට ය.

“පනීර්සෙල්වම් ජයලලිතාගේ සුවච කීකරු ගෝලයකු වී සිටි බව ඇත්ත. ඒත් ඔහුට මහ ඇමැති පුටුව ලොකු වැඩියි” දේශපාලන විචාරකයෝ පැවසූහ.

පනීර්සෙල්වම් තනතුර භාර ගත්තේ කොන්දේසියක් ඉදිරිපත් කරමින් බව ද පැවසිණි.

“ඉදිරි වසර හතර හමාරක කාලය ඇතුළත මම මේ ධූරය දරනවාට පක්ෂය ඇතුළත කිසිවකු බාධා නොකළ යුතුයි” යන්න ඔහු ඉදිරිපත් කළ කොන්දේසිය වූ බව ද වාර්තා විය.

එහෙත් ජයලලිතාගේ අභාවයෙන් දින 14 ක් ගතව යන්නටත් පෙර පසුගිය දෙසැම්බර් 17 දා ඕ. පනීර්සෙල්වම්ගේ දේශපාලන එදිරිවාදියෙක් හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ තේනි දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වූ තංගා සෙල්වන් හඬ නැඟූයේ පනීර්සෙල්වම් පක්ෂයට ඉදිරිපත් කළ කොන්දේසිය පිළිබඳ තැකීමකින් තොරවය.

“හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ සමීපතම හිතවතිය හා සහායිකාව කේ.පී‍. සසිකලා පක්ෂයේ මහ ලේකම් තනතුරට පත් කළ යුතුයි” තංගා සෙල්වන් පැවසුවේ ය.

ඊළඟ දිනයේ පටන් පක්ෂයේ තවත් අය සසිකලා පක්ෂයේ මහ ලේකම් තනතුරට ද මහ ඇමැති ධුරයට ද පත් විය යුතු යැයි පවසන්නට වූහ. ප්‍රාන්ත ආදායම් බදු පිළිබඳ ඇමැති ආර්. බී. උදයකුමාර් ඒ අතර පෙරමුණේ ම සිටියේ ය.

“පක්ෂයේ නායකත්වය දරන්නේ මහ ලේකම් තනතුරට පත්වූ කෙනායි. මහ ලේකම් ම මහ ඇමැති ධුරය ද දැරීම තමිල්නාඩුවේ සම්ප්‍රදායක්. මහ ලේකම් තනතුර දරන්නා මහ ඇමැති හමුවන විට එය විවේචනයට භාජන වන නිසා එම තනතුරු දෙක ම එකම පුද්ගලයකුට ලබාදීම තමිල්නාඩුවේ සම්ප්‍රදාය වී තිබෙනවා.” උදයකුමාර් මාධ්‍ය අමතා පැවසුවේ ය.

පසුගිය දෙසැම්බර් 29 දා සසිකලා සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කළ යුතු ය යන්න පක්ෂයේ විධායක කමිටුවට‍ ඉදිරිපත් කෙරිණි. ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරියක හෝ නොවූ සසිකලා ඊට පෙර පක්ෂයේ කිසිම නිලයක් දරා තිබුණේ නැත. එහෙත් ඇය විධායක කමිටුවේ සාමාජිකාවක වූවා ය.

කෝටි 1.72 ක සාමාජිකත්වයක් සහිත ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ අභ්‍යන්තර අරගල ඒ සමඟම තවත් උත්සන්න වූයේ ය. එහි කූට ප්‍රාප්තිය ලෙස පසුගිය ඉරිදා (5) වාර්තා වූයේ ඕ. පනීර්සෙල්වම් තමිල්නාඩු මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූවා කියා ය. ඒ සසිකලාට මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට ඉඩ සලසමින් බව ද පැවසිණි‍.

එහෙත් පසුගිය අඟහරුවාදා (7) ඕ. පනීර්සෙල්වම් කළ තවත් ප්‍රකාශයකින් තමිල්නාඩු දේශපාලන ක්ෂේත්‍රය ඇතුළත ඇති වූයේ මහත් කලබගෑනියකි.

“වී.කේ. සසිකලා මහ ඇමැති ධූරයට ගෙන එන්නට දත කන පක්ෂයේ ප්‍රබලයන් මට ඉල්ලා අස්වීමට බල කළා.‍ එම ඉල්ලා අස්වීම මගේ කැමැත්තට සිදුවූවක් නෙවෙයි” පනීර්සෙල්වම් පැවසුවේ ය.

ඒ වනවිට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඔහුගේ ඉල්ලා අස්වීම භාරගෙන තිබිණි.‍ එහෙත් හිටපු මහ ඇමැතිවරයා තමන් ඉල්ලා අස්වූයේ බලපෑම් මත යැයි පවසත් නම් ආණ්ඩුකාරවරයා කළ යුත්තේ කුමක්ද? එවිට ආණ්ඩුකාරවරයා පවසන්නේ ප්‍රාන්ත රජය ඇතුළත බහුතර සහාය තමාට ඇති බව මහ ඇමැතිවරයා සනාථ කළ යුතුය කියායි.

ජයලලිතාගේ මරණයෙන් පසු ප්‍රාන්ත රජයේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව 233 ක් වෙයි. ඉන් 117 දෙනකුගේ සහාය තමාට ඇති බව පනීර්සෙල්වම් සනාථ කළ යුතු ය. එහෙත් වී.කේ. සසිකලා මේ වනවිට පක්ෂයේ මහ ලේකම්වරිය වන හෙයින් ඇයට පනීර්සෙල්වම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබේ. පනීර්සෙල්වම් මේ වනවිට භාරකාර‍ මහ ඇමැති වශයෙන් කටයුතු කරන අතර එය වැළැක්වීමට සසිකලාට බලයක් නැත. කිසිවකු මහ ඇමැති ධූරයේ දිවුරුම් දෙන තුරුම භාරකාර මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ පනීර්සෙල්වම් ය.

සිය පක්ෂය බේරා ගනු පිණිස තමාට පක්ෂ අභ්‍යන්තරයේ සමහර කැත රහස් පවා හෙළිදරව් කිරීම සිදුවනු ඇතැයි ද පනීර්සෙල්වම් පසුගිය අඟහරුවාදා පැවසුවේ ය. සසිකලා ඊට ප්‍රතිචාර දැක්වූයේ වහා පක්ෂ නායකයන් හා ඇමැතිවරුන් ගේ හමුවක් කැඳවා පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයෙන් පනීර්සෙල්වම් ඉවත් කිරීමෙනි.

පනීර්සෙල්වම් පැවසුවේ තමන් ජයලලිතාගේ ඥාතීන් ද සමඟ ප්‍රාන්තය පුරා ඇවිද යමින් ජනතා සහාය තමා වෙත ලබාගන්නා බව ය. හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ඥාතීන් මුල පටන් ම චෝදනා කළේ ජයලලිතා තමන් වෙතින් ඈත් කළේ සසිකලා කියා ය. ජයලලිතාගේ මරණය අබිරහසක් බව ඔවුන් පවසන අතර පසුගිය 9 වැනි බදාදා පනීර්සෙල්වම් ද ඒ බව ප්‍රකාශ කළේ ය. ඒ වහා ජයලලිතාගේ මෘත දේහය තැන්පත් කර ඇති ස්ථානය හා ඒ අවට පොලිස් ආරක්ෂාව තර කෙරුණු බව ද ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා කෙරිණි.

“තමිල්නාඩු ප්‍රාන්තය මේ වනවිට අරාජික තත්ත්වයට පත්වෙලා” ඒ.‍අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ඕ.පී. පාණ්ඩියන් පවසයි. ඔහුගේ සහාය පනීර්සෙල්වම් වෙත වන අතර ඔහු තවදුරටත් පවසන්නේ මෙවැන්නකි” සසිකලාට අවශ්‍ය සල්ලි විතරයි.‍ ඇය මෙසේ බලයට පොරකන්නේ තමිල්නාඩුවට ඇති ආදරයක් නිසා නෙවෙයි. තව තවත් සල්ලි හොයන්නටයි.”

ජයලලිතාගේ මරණයෙන් පසු මෙසේ තමිල්නාඩුව කලඹවන වී.කේ. සසිකලා කවුරුන් ද?

විවේකානන්දන් ක්‍රිෂ්ණාවේනි සසිකලා 1957 දී මෙලොව උපත ලැබුවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුතුරෙයිප‍ූන්ඩි හි පවුලක දරුවකු ලෙසිනි. එම පවුලට දේශපාලන සබඳතා නො තිබිණි. එහෙත් ඇගේ විවාහය එම්. නටරාජන් සමඟ සිදුවූයේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක එම්. කරුණානිධි ඉදිරියේ ‍ඔහුගේ ආශිර්වාදය ඇතිවය. නටරාජන් ඒ වනවිට තමිල්නාඩු රජයේ මහජන සම්බන්ධතා නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

1980 දී කඩලෝරෙහි පැවැති පක්ෂ සමුළුවේදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් තනතුරට ජයලලිතා පත් වූයේ එවකට මහ ඇමැති ධුරය දැරූ එම්.ජී‍.ආර්.ගේ ආශිර්වාදය ඇතිවය. එහිදී නටරාජන් කිසිවකු හරහා තම බිරිය ජයලලිතාට හඳුන්වාදීමට පියවර ගත්තේ ය. ඒ වනවිට සසිකලා ‘විනෝද් වීඩියෝ විෂන්’ යන නමින් කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිටියා ය.

පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරිය ලෙස කටයුතු කළ ජයලලිතා එතැන් පටන් පක්ෂ රැලි වීඩියෝ කිරීම පැවරුවේ සසිකලාට ය. 1987 දෙසැම්බරයේ එම්.ජී.ආර්. ගේ මරණයත් සමඟ පක්ෂය දෙකඩව යද්දී නටරාජන් - සසිකලා යුවළ ජයලලිතාගේ පාර්ශ්වය ගත්හ. 1991 ජූනි යේදී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පරදවා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් ජයලලිතා තමිල්නාඩු මහ ඇමැති ධූරයට පත්වූවා ය. එතැන් පටන් චෙන්නායි හි පොඑස් උද්‍යානයේ ජයලලිතාගේ මන්දි‍රයේ නිතර දැකිය හැකි මුහුණක් බවට සසිකලා පත් වූවා ය.

1991 - 96 කාලයේ ජයලලිතා මහ ඇමැති ධුරය දරද්දී සසිකලා ප්‍රාන්ත රජය හා පක්ෂය ඇතුළත බොහෝ සබඳතා ගොඩ නඟා ගත්තේ ය. පසුගිය දෙසැම්බර් 29 දා ඇය පක්ෂයේ මහ ලේකම්වරිය විය යුතු යැයි හඬ නැඟූ විධායක සභාවේ බහුතරය 1996 දී හඬ නැඟුවේ ජයලලිතා සසිකලාගෙන් ඈත්විය යුතුය කියායි. එම වසරේ ප්‍රාන්ත මැතිවරණයෙන් පක්ෂය ලැබූ පරාජයට සසිකලාගේ හා ඥාතීන්ගේ අයථා ගනුදෙනු හා ඉඩම් මිලට ගැනීම් හේතු වූ බව ඔවුහු පැවසූහ.

1995 දී සසිකලාගේ වැඩිමල් සොයුරිය වූ වනිතාමනි විවේකානන්දන්ගේ පුත් වී.එන්. සුදාකරන්ගේ විවාහය සිදු වූයේ වාර්තා පොත්වලට එක් වන තරම් වැයකින් යුතුව ය. සූදාකරන් ජයලලිතා හදා වඩා ගත් පුතු ලෙස හැඳින්වුණ අතර එම විවාහයේ දී ජයලලිතාගේ ධනවත්භාවය හෙළිවීම ද මැතිවරණ පරාජයට හේතුවක් බව පැවසිණි.

“මගේ පක්ෂය හා සාමාජිකයන් මෙන් ම ජනතාව ද කරන ඉල්ලීම්වලට කන් දෙමින් මම සසිකලාගෙන් ඈත් වනවා” 1996 අගෝස්තු 27 දා ජයලලිතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය.

එහෙත් ඇය එසේ කළේ ටික කලකට පමණි. මාස ගණනකට පසු නැවත සසිකලාගේ මුහුණ ජයලලිතාගේ මැඳුරේ නිතර දැකගන්නට ලැබිණි. විශේෂයෙන් ම 2011 – 2016 කාලයේ සසිකලා මහ ඇමැතිනී ධුරය ඉසිලූ ජයලලිතා සමීපයෙන් ම සිටියා ය.

ජයලලිතාගේ මරණයෙන් පසු ඇගේ ඥාති දියණියන් දෙදෙනකු වූ දීපා සහ අම්රුතා ද තවත් ඥාතීන් ද ප්‍රසිද්ධියේ චෝදනා කළේ තමන්ට ජයලලිතා ඇසුරට තිබූ සියලු මං අහුරා ලූයේ සසිකලා කියා ය. රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි ජයලලිතාගේ සුව දුක් විමසන්නට රෝහලට යාමට ඉඩ නොදුන් සසිකලා තමන්ට අවමංගල්‍යෝත්සවයට සහභාගි වීමට ඉඩ දුන්නේ ද අවසන් මොහොතේ යැයි ඔවුහු චෝදනා නැඟූහ. ජයලලිතාගේ මරණය අබිරහසක් බව ද ඔවුහු පුන පුනා කීහ. අද එම ඥාතීන් සසිකලාට එරෙහිව කඳවුරු බැඳ සිටින්නේ වැඩ බලන මහ ඇමැති පනීර්සෙල්වම් සමඟිනි.

දුරායි කරුණානිධි පසුගිය දශක හතර පුරාම ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය හා සමීපව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු පවසන්නේ කෝටි 1.72 පමණ වූ සාමාජික සංඛ්‍යාවෙන් 95% ක් ම සසිකලාට එරෙහි බව ය.

“සසිකලා කෙරේ පාක්ෂිකයන් නම්මවා ගැනීම අපේ වැඩක්” ඇයට සහාය දක්වන තිරුහෙල්වේලි දිස්ත්‍රික් මන්ත්‍රී කොලුර් ඊ. වේලා යුදම් පවසයි. “ඒ අයගේ මොළ සෝදන්නට අපට ලේසියෙන් ම පුළුවනි.”

වේලායුදම් පවසන තරමටම ජනතාවගේ මොළ සේදීම පහසු කටයුත්තක් වේවිද? ඔවුනට එය කිරීමට සිදුවන්නේ ඕ. පනීර්සෙල්වම් හා ජයලලිතාගේ ඥාතීන් ද ජනතා මොළ සේදීම කරගෙන යන අතරතුර ය. මේ වනවිට සසිකලාට මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට බාධාවක් වී ඇත්තේ ඇයට එරෙහිව පැවරී ඇති දූෂණ වංචා චෝදනා සහිත නඩුවකි. ජයලලිතාට ද එම නඩුවේ වග උත්තරකාරියක වී සිටි අතර අවසානයේ දෙදෙනාම නිදොස් කොට නිදහස් කෙරිණි.

එහෙත් නැවත එම චෝදනා අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කෙරුණු අතර එම නඩු විභාගයෙන් ද නිදහස් වීම සසිකලා ඉදිරියේ ඇති අභියෝගයකි.

තමිල්නාඩුවේ ‘අම්මා’ වූයේ ජයලලිතාය. සසිකලා හැඳින්වූයේ ‘චින්නම්මා’ යන අන්වර්ථයෙනි. කෝටි 1.72 ක දැවැන්ත සාමාජිකත්වයක් සහිත පක්ෂයක් ඇතුළත දැන් චින්නම්මා දක්වන සෙල්ලම් එම සම්පූර්ණ සාමාජිකත්වය පිළිගනීවිද? පක්ෂයෙන් බිඳී යන පනීර්සෙල්වම් හා ජයලලිතාගේ ඥාතීන්ට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ සහාය ලැබුනොත් සසිකලාට තමිල්නාඩුවේ නායිකාව වීම පහසු වන්නේ නැත.

තමිල්නාඩු දේශපාලන පොරපිටිය අද අන් කවරදාටත් වඩා උණුසුම් වී තිබේ. වසර 35 ක් තිස්සේ එහි රැඳී සිටි ‘අම්මා’ එතැන නැත. එහෙත් ‘අම්මා’ ගේ දැවැන්ත සෙවණැල්ල තවදුරටත් එම පොර පිටිය මතට වැටී තිබේ. ජීවත් වන්නවුන් ගේ මිස මළවුන්ගේ මනාපයන් දේශපාලන පොරපිටියට වලංගු නැතත් ආසියාකරයේ බොහෝ නායක නායිකාවන් බිහිවී ඇත්තේ මළවුන්ගේ නම හා ආශිර්වාදය සහිතව ය.

චින්නම්මා යනු අම්මා නොවේ. අම්මා වෙනුවට තමිල්නාඩු ජනතාව චින්නම්මා ආදේශ කරගන්නට කැමැති වේවිද? දැන්ම එම ගැටලුවට පිළිතුරු සැපයීම අපහසු ය. නැවත ප්‍රාන්ත මැතිවරණයක් පැවත්වෙන්නේ 2021 වසරේ ය. ඊට පෙර තමිල්නාඩු දේශපාලන කරළියේ රඟ දැක්වෙනු ඇත්තේ පනීර්සෙල්වම් ප්‍රමුඛ පිරිසගේ හා චින්නම්මා ප්‍රමුඛ පිරිසගේ ඇන කොටා ගැනීම් ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.