ප්‍රංශයත් ට්‍රම්ප්කරණයට

 ප්‍රංශයේ පස්වැනි ජනරජයේ නිර්මාතෘවරයා හා එරට 18 වැනි ජනාධිපතිවරයා ද වු මහ සෙනෙවි චාල්ස් ඩිගෝල් ජාතිකවාදය අර්ථදක්වා ඇත්තේ එලෙසිනි. එහෙත් අද වන විට ඔහු නායකත්වය දුන් ප්‍රංශය ද ක්‍රමයෙන් ජාතිකවාදී සංකල්ප කරා ඇදෙමින් පවතින බවක් දක්නට ලැබෙන්නේ එරට මීළඟ ජනාධිපතිවරණය ආසන්න වෙමින් පවතින වකවානුවකයි. මෙය ප්‍රංශයට පමණක් පොදු වුවක් නොවේ. සමස්ත යුරෝපයටම බලපාන සාධකයකි. ගෝලීයකරණයේ අහිතකර අතුරුඵල, වෙළෙඳ අසමතුලිතතා හේතුවෙන් දේශිය ප්‍රජාව මුහුණ දෙන පසුබෑම, සංක්‍රමණිකයන් හමුවේ ආර්ථික හා දේශපාලනික අවස්ථා දේශීය ප්‍රජාවට අහිමිවිම හා ආගම්වාදය හා රැඩිකල් ආගමික ව්‍යාපාර හා නව ත්‍රස්තවාදි තර්ජන හමුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා නව ජාතිකවාදය පෝෂණය කරන සාධක වේ. අද යුරෝපයේ පවතින්නේ නව ජාතිකවාදය පෝෂණය කිරීම සඳහා හිතකර වාතාවරණයකි.

ප්‍රංශ ජනාධිපතිවරණය හා බැඳුණු ප්‍රශ්න එහි එක් පිළිබිඹුවක් පමණි. ජාතිකවාදී සංකල්ප හා වර්තමානයේ දක්නට ලැබෙන නව ජාතිකවාදී ව්‍යාපාරය අතර වෙනස හඳුනාගැනීම වැදගත් වේ. පැරණි ජාතිකවාදී සංකල්පවල පදනම වුයේ ජාතික රාජ්‍යයයි. එක් ජනවර්ගයකට අනන්‍ය වු රාජ්‍යයක ඔවුන්ගේ ආර්ථික දේශපාලනික හා ජාතික සංකල්පවලට මුලිකත්වය ලබාදෙන පාලන රටාවක් උදෙසා මේ දේශපාලනික මතවාදය මඟ පෙන්විය. එහෙත් දැන් එය වෙනස් මඟක් ගෙන තිබේ. නව ජාතිකවාදී සංකල්පයේ දී මුලිකත්වය ගන්නේ රාජ්‍යය නොව ආර්ථික දේශපාලනික හා සංස්කෘතික සෛවරිභාවයයි. අද වනවිට යුරෝපයේ බටහිර අන්තය නියෝජනය කරන බ්‍රිතාන්‍යය හා ප්‍රංශයෙන් මෙන්ම නැඟෙනහිර අන්තය නියෝජනය කරන හංගේරියාව හා පෝලන්තය වැනි රටවලින්ද නව ජාතිකවාදී බලවේග ශක්තිමත් වීම පැහැදිලිව දක්නට ලැබෙයි. මේ අප දකින්නේ බටහිර ලෝකය මුහුණ දෙන නව දේශපාලනික සංස්කෘතිකයක ආගමනයදැයි ප්‍රශ්නයක් මතුවේ. ඒ මන්ද යත් නිදහස් වෙළෙදාම ගෝලීයකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනමි බටහිර දේශපාලනික සංස්කෘතිය ඊට එරෙහිව උඩු ගං බලා ගමනක් අරඹා ඇද්ද යන්න ගෝලීය දේශපාලනික මෙන්ම අන්තර්ජාතික සබඳතා අධ්‍යයන ක්ෂේත්‍රයේද විමසිල්ලට ලක්වු කරුණකි. නිදහස් වෙළෙද සම්මුතීන් වෙනුවට අද බටහිර ලෝකය තුළ නැඹුරුවක් දක්වන්නේ අදාළ රට හා ජාතිය පදනම් කරගත් ආරක්ෂණවාදි ස්වරූපයේ ආර්ථික රටාවකි. එහි මුල්තැනක් ලැබෙන්නේ රටින් බැහැර ආයෝජනවලට වඩා දේශීය සේවකයා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියකටයි.

ගෝලීයකරණයේ ව්‍යාජ ගීතයට එරෙහි වන ලෙස අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණය ජයගන්නේත් බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික පාර්ශ්ව ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ පසුබස්සමින් හා අගමැති ඩේවිඩ් කැමරන් දේශපාලනයෙන් ඉවත් කරමින් බ්‍රික්සිට් ජනමතවිචාරණය ජයගෙන යුරෝපා සංගමයෙන් බැහැර වන්නේත් නව ජාතිකවාදී සංකල්ප ඡන්ද පදනම සහිත ජනකොටස් වෙත කාවද්දමිනි. බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයකු හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ වඩාත් ප්‍රකට න්‍යායාචාර්යවරයකු වන ඊ එච් කාර් විසින් රචිත කෘතියෙන් අන්තර්ජාතිකවාදයට එදිරිව නැඟී එන ජාතිකවාදය ගැන කරුණු දක්වා ඇත. ජාතික ඒකාග්‍රතාවක් සඳහා නිරන්තරයෙන් ජනතාවගෙන් අයැද සිටින දේශිය පාලන කණ්ඩායම්වල අභිප්‍රාය වන්නේ එම ඒකාග්‍රතාව අදාළ ජාතියෙහි පාලනය අත්පත් කරගැනීමේ අභිලාෂය මුදුන්පත් කරගැනිමයි.

ප්‍රබල අධිපතිවාදයක් කරා යොමුවීමේ අභිලාෂයෙන් යුතුව එම බලවේග අන්තර්ජාතිකවාදයට එරෙහිව ජාතිකවාදය යොදාගනී යන්න ඊ එම් කාර්ගේ පිළිගැනීමයි. මේ සංකල්පය අද වනවිට යුරෝපා දේශපාලනය හා පොදුවේ බටහිර දේශපාලනික රටාව කෙරෙහි කොතරම් බලපා ඇද්ද යන්න වටහා ගත හැක්කේ මෑත දී සිදුවු දේශපාලනික පෙරළි හා නැ‍ඟී එන දේශපාලනික ප්‍රවණතා අධ්‍යයනය තුළිනි. හරබර අන්තර්ජාතික සබඳතා හා දේශපාලන න්‍යායන්ගෙන් බැහැරව සරල වශයෙන් සලකා බැලිමේදී අප මෙතෙක් කතා කළ ජාතිකවාදයෙහි නැඟීම මෑතකාලින යුරෝපා හා අමෙරිකානු මැතිවරණවල අවසන් ප්‍රතිඵල දෙස බැලීමේදි වඩාත් හොඳීන් අවබෝධ කරගත හැකිය. ඒ සඳහා විද්වත් දේශපාලනික හෝ අන්තර්ජාතික සබඳතා පිළිබද දැනුමක් අවශ්‍ය නොවේ. එක්සත් යුරෝපයක් බිහිකිරීමේ මුලික පදනම් ගිවිසුමක් වශයෙන් සැළකෙන රෝම ගිවිසුමට එළඹී වසර හැටක් සපිරෙන මේ යුගය වනවිට එක්සත් යුරෝපා සංකල්පය ඉතිහාසයේ වඩාත්ම බරපතළ අවදානමට ගොදුරු වී ඇති බව යුරෝපා මණ්ඩලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් පෙන්වා දෙයි. ඒ සඳහා ඉතිහාසයේ පෙර නොදුටු ප්‍රබල සාධක තුනක් මුල්වී ඇති බව යුරෝපා මණ්ඩල සභාපතිවරයාගේ පිළිගැනිමයි. යුරෝපයේ දැනට හිස ඔසවමින් තිබෙන ජාතිකවාදී බලවේගය ඒ අතරින් පළමුවැන්නයි. ඒ හරහා මතුවන්නේ එක්සත් යුරෝපා සංකල්පයට ප්‍රතිවිරුද්ධ මතවාදයයි. දෙවැන්න බ්‍රික්සිට් ජනමතවිචාරණය හා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුළින් යුරෝපයට අත්වු හුදෙකලා බවයි. තුන්වැන්න යුරෝපයෙන් බැහැර සාධකයක් වන රුසියාවේ හා චීනයේ නැඟීම හා මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ ඇතිවු අරාබි වසන්ත යුගය තුළින් බිහිවු සංක්‍රමණික ප්‍රශ්නයයි.

මේ සියල්ල අද වනවිට එක්සත් යුරෝපයේ එනම් අද අප දකින ලොව වඩාත්ම ශක්තිමත් කලාපිය සංවිධානය වන යුරෝපා සංගමයේ ඉදිරි පැවැත්මට ඍජුව බලපාන සාධක වේ. යුරෝපය හා බටහිර ලෝකය තුළ පැහැදිළි දේශපාලනික මතවාදිමය වෙනසක් සිදුවන බවට හොඳම උදාහරණය එහි ඡන්ද පදනමෙහි චර්යාත්මක වෙනස්කමයි. සරලව කිවහොත් අදාළ කලාපයේ පසුගිය කාලයේ පැවැති මැතිවරණවලින් අත්වු වෙනස් ආකාරයේ ප්‍රතිඵලයි. ඒ සඳහා වන උදාහරණ කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මුල්වරට ඔස්ට්‍රියාවේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ දෙකම අකර්මණ්‍ය වී පසුගිය වසරේ ජනාධිපතිවරණයේ අවසන් වටයට එළඹීමට අපොහොසත් විම හා මෙතෙක් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී තිබු අන්ත දක්ෂිණාංශික මතය නියෝජනය කළ නෝබට් හෝල්ෆර් ප්‍රථම වටය ජයගෙන අවසන් වටය දක්වා පැමිණීමත් ඉතිහාසයේ නොවි විරූ පරිදි 46කට අධික ඡන්ද ප්‍රතිශයක් අවසන් වටයේදී ලබාගැනීමත්ය. ඔහු අවසන් වටයේදි වත්මන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් බෙලෙන්ට පරාජය වුවද රටතුළ අන්ත දක්ෂිණාංශික දේශපාලනික ඡන්ද පදනම හා සංකල්ප ශක්තිමත් වීම ඔස්ට්‍රියානු ජනාධිපතිවරණයේ අතුරු ප්‍රතිඵලයයි. ඩෙන්මාර්කයේ රජයේ පැවැත්ම තීරණය කිරීම අන්ත දක්ෂිණාංශික ෙඩනිෂ් ජනතා පක්ෂයට හිමිවීම හා රජයේ පාර්ශවකරුවකු වෙමින් යුරෝපයේ වඩාත්ම දැඩි සංක්‍රමණික පාලන නීති හදුන්වා දීමට මුල්වීම වඩාත් මධ්‍යස්ථ හා ලිබරල් මතධාරි රටක් වන ෆින්ලන්තයේ රජය අන්ත දක්ෂිණාංශික පක්ෂය සමඟ සන්ධානගත වීම හා එහි නායක ටිමෝ සොයිනි විදේශ ඇමැති පදවියට පත්විම. හංගේරියාවේ අන්ත දක්ෂිණාංශික ජොබික් පක්ෂය එරට මහමැතිවරණයෙන් තුන්වැනි ප්‍රධාන බලවේගය බවට පත්විම ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික නායිකා ෂෝන් මරී ල පන් ජනාධිපතිවරණ සටනේ දී බෙහෙවින් ප්‍රබල ස්ථානයක් හිමිකරගෙන සිටීම මේ සඳහා වන උදාහරණ කිහිපයකි. සමස්තයක් වශයෙන් ගත්කළ යුරෝපයේ දක්ෂිණාංශික කණ්ඩායම් අදාළ රටවල ජනතා පදනම සංඛ්‍යාත්මක වශයෙන් ලබා ඇති ප්‍රගතිය බී බී සී වෙබ් අඩවිය පහත ආකාරයෙන් පෙන්වා දෙයි. ෆින්ලන්තයේ එයැ ජ්සබබි පක්ෂය - 18%ක් ස්වීඩනයේ ස්විඩන් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය - 13%ක් ඩෙන්මාර්කයේ ඩේනිෂ් ජනතා පක්ෂය 21%ක්. ඔස්ට්‍රියාවේ නිදහස් පක්ෂය 35%ක්, ස්විටිසර්ලන්තයේ ස්විස් ජනතා පක්ෂය - 29%ක් හංගේරියාවේ ජොබික් පක්ෂය 21%ක් ප්‍රංශයේ ජාතික පෙරමුණ 14%ක් වශයෙන් තම ඡන්ද පදනම ශක්තිමත් කරගෙන ඇති බව මෑතදී පැවැති මැතිවරණවලින් පෙනී යයි. මෙ පක්ෂ අදාළ රටවල අතීතයේදී 10% ටත් වඩා අඩු ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ජනතාව අතින් දිගින් දිගටම ප්‍රතික්ෂේපිතව සිටි දේශපාලන කණ්ඩායම් බව අමතක නොකළ යුතුය. වත්මන් වෙනස හමුවේ දක්නට ලැබෙන තවත් වෙනසක් වන්නේ යුරෝපයේ ප්‍රධාන ප්‍රවාහයේ ශක්තිමත් දේශපාලන පක්ෂ මුහුණ පා ඇත. පසුබෑමයි. ඊට කදිම උදාහරණය අපට හමුවන්නේ දැනට දේශපාලන ලෝකයේ අන්තර්ජාතික වශයෙන් වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රංශයෙනි.

ලබන අප්‍රේල් මාසයේ ජනාධිපතිවරණයට මුහුණ දෙන ප්‍රංශයේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ මේ වනවිට ජනතාව අතින් ප්‍රතික්ෂේප වන තත්ත්වයකට මුහුණ දී සිටී. ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම තුළ ඔහුගේ පක්ෂයේ අපේක්ෂකත්වය දුර්වල මට්ටමක පවතී. ජනාධිපති ඔලොන්ද්ගෙන් පසු ප්‍රංශ සමාජවාදී පක්ෂයේ අපේක්ෂකත්වය දිනා සිටින බෙනුවා හැමන් ජනාධිපතිවරණයේ මුල්වටයේදීම ඉවතට විසිවන ලකුණු දක්නට ඇතැයි ජනමත විමසුම පෙන්වා දෙයි.

සමාජවාදී පක්ෂය එවැනි අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක එරට මධ්‍ය දක්ෂිණාංශික බලවේගයද එවැනිම අර්බුදයක පසුවෙයි . එහි ජනප්‍රිය නායකයන් වන ඇලන් ජුපේ හා හිටපු ජනාධිපති නිකොලා සර්කෝසි වැන්නෝ තේරීම් වටයේදීම පක්ෂ අපේක්ෂක තරගයෙන් පරාජය වුහ. නිකොලා සර්කෝසි මේ වනවිට බරපතළ වංචා හා දුෂණ අපවාදයකට ගොදුරු වී ඇති අතර ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද පසුගිය සතියේදි ආරම්භ විය. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය හිමිව ඇත්තේ හිටපු ජනාධිපතිවරයකු හා මුල්පෙළේ දේශපාලනඥයකු වන ප්‍රංශුවා ෆිලන්ටයි . ඔහු පළමු අපේක්ෂකයන් දෙදෙනා අතරට පැමිණිමට සමත්වන බව ජනමත විමසුම් පෙන්වා දෙයි. එහෙත් අවාසනාවකට මේ වනවිට ෆිලන් බරපතළ මුල්‍ය අපවාදයට ගොදුරු වී සිටියි. ඔහු ඇමති පදවියක් දැරූ සමයේ තම බිරිය පුද්ගලික සහායක ලෙස යොදාගනිමින් ඇයට අයථා ලෙස රාජ්‍ය අරමුදල් භාවිතයෙන් වැටුප් හා එම පදවියට අයත් නොවන දීමනා ලබාදීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවකට ඔහු ගොදුරු වී සිටියි. මේ සම්බන්ධයෙන් ඔහු දැනටමත් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති අතර මේ අර්බුදය මුල්කර ගනිමින් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයාගේ අනාගතයද පවතින්නේ අවිනිශ්චිත මට්ටමකයි. රටක ප්‍රබල ජනපදනමක් සහිත ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ මැතිවරණයදී බරපතළ ලෙස අසාර්ථක වන්නේ නම් එතුළින් පිළිබිඹු වන්නේ එම රට තුළ එම අවස්ථාවේ පවතින දේශපාලන අස්ථාවර භාවයයි. ප්‍රංශයේ ප්‍රශ්නය එයම පමණක් නොවේ. ඊට එහා ගිය දේශපාලනික අවදානමක. ඒ නම් ප්‍රංශ ඩොනල්ඩි ට්‍රම්ප්ගේ ආගමනයයි. වෙනත් වචනවලින් කිවහොත් ප්‍රංශයද ට්‍රම්ප්කරණය වීමේ ප්‍රවණතාවකට මුහුණපෑමයි. කවුද මේ ප්‍රංශ ට්‍රම්ප් - ඒ පිරිමියකු නොවේ යකඩ ගැහැනියකි.

ෂෝන් මරී ල-පන් ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙන්නේ 1986 වසරේ දීය. 1990 දශකයේ සිටම දැඩි අන්තවාදී ප්‍රකාශ හා දේශපාලනික අදහස් නිසා ඇය ප්‍රංශයේ පමණක් නොව සමස්ත යුරෝපයේම දේශපාලනික ලෝකයේ කතාබහට ලක්වු චරිතයකි. 2004 වසරේ සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇය 2011 වසරේදී ජාතික පෙරමුණේ නායකත්වයට පත්වන්නීය. 2017 ජනාධිපතිවරණයට ඉදිරිපත් වු මරි ල-පන් අද වනවිට යුරෝපයේ දේශපාලනික කුණාටුවක් නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටින අපේක්ෂිකාව බවට ඇතැම් ජනමත විමසුම් පෙන්වා දීමත් සමගයි. ඇතැම් අනාවැකි පවසන්නේ ට්‍රම්ප් මෙන්ම අනපේක්ෂිත ජයග්‍රාහකයා ලෙස ඇය ප්‍රංශයේ ජනාධිපති පදවිය දිනාගැනීමේ ඉඩ ප්‍රස්ථා බැහැර කළ නොහැකි බවයි. මරී ල-පන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ තමා ට්‍රම්ිප්ගේ දේශපාලනික උපාය මාර්ගයද සැලකිල්ලට ගනිමින් අප්‍රේල් ජනාධිපතිවරණ සටන ගෙනයන බවයි.

ට්‍රම්ප් අමෙරිකානු දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රය ජනාධිපති අපේක්ෂක සමය්දීම සසල කළ ආකාරයෙන් ෂෝන් මරි ල-පන් ද දේශපාලනික භූමිකමිපාවක් අරඹා ඇත. ඇය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රංශයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනික රාමුවට හා නිදහස් ආර්ථික රටාවට එල්ල කරන්නේ මරු පහරකි. ෂෝන් මරි ල-පන්ගේ මුලික යෝජනාව ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත්කරවීමයි. එනම් බ්‍රික්සිට් වැනි ජනමත විචාරණයකින් ෆ්‍රික්සිට් එකක් හඳුන්වා දීමයි.

එක්සත් යුරෝපා ක්‍රමය තුළ පවතින අවාසිදායක තත්ත්වය හා ප්‍රංශ ජන ප්‍රජාව එතුළින් මුහුණ දෙන ගැටලු සහගත තත්ත්වයපෙන්වා දෙමින් ඇය මේ සඳහා යෝජනා ඉදිරිපත් කරයි. ප්‍රථමයෙන් මේ සඳහා යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් එය අසාර්ථක වන්නේ නමි ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත් කිරිමේ ජනමත විචාරණයකට යන බවත් ඇය පවසන්නීය. බ්‍රිතාන්‍යය ඉවත්වුවාක් මෙන් නොව යම් හෙයකින් ප්‍රංශය ඉවත් වුවහොත් එය යුරෝපා සංගමයේ අවසානය වන ඇතැයි යන්න දේශපාලනික අංශවල මතයයි. ඒ මන්ද ප්‍රංශය යනු යුරෝපා සංගමය දරා සිටින ප්‍රධාන බල කණුවක් වීමයි.

මරී ල-පන් ගේ අනෙක් යෝජනාද ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමානය. ඇය රුසියාව සමඟ වඩාත් කුළුපග සබඳතා ඇරඹිමටත් ප්‍රංශය දැඩි සංක්‍රමණික විරෝධී ස්ථාවරයකට ගෙනයාමටත් ප්‍රතිඥා දෙන්නීය. වර්තමානයේ ප්‍රංශයේ භූ දේශපාලනික රටාව සලකා බැලිමේදී මරී ල පන් එරට ජනාධිපතිවිම සම්බන්ධයෙන් පවතින්නේ අඩු සම්භාවිතාවකි.

ජනතාව විසින් පසුපෙළට දමා සිටි මේ අන්තවාදී බලවේගවලට ඉහළට ඒමට අත දුන්නේ ප්‍රංශයට දැඩි තර්ජනයක් වු අයි එස් ත්‍රස්තවාදයය. ප්‍රහාර කිහිපයක් තුළින් ප්‍රංශ වැසියන් සියගනන් මරා දැමු අයි එස් කල්ලිය ප්‍රංශ ජන සමාජය තුලද නිහඩ සංක්‍රමණ හා ඉස්ලාමිය විරෝධයක් රෝපනය කිරිමට සමත් වුහ. එහි මුහුණුවර නියෝජනය කරන්නේ ෂෝන් මරි ල-පන් වැනි අන්තවාදී බලවේගයි. මෙහි අවසන් බලපෑම ගෝලීය ස්ථාවරභාවයට දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.