ඉංග්‍රීසි උගන්වන්න ගොස් හින්දි ඉගෙනගත් කැන්ගරුවා

සංචාරක ඔස්ට්‍රේලියානු සහ එංගලන්තය අතර පන්දු ඕවර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් 2013 වසරේදී පැවැත්විණි. එහිදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා වූ ඇරොන් ෆින්ච් ඉතා විශිෂ්ට පිතිහරඹයක නිරත විය. ඒ පන්දු 63 කදී ලකුණු 156 ක්ම රැස් කරමිනි. එය ලෝක වාර්තාවක් විය. එනම් ඕවර 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් රැස් කරන ලද වැඩිම ලකුණු ගණන එය වීම නිසාවෙනි. මේ වාර්තාව තවමත් පවතියි.
ඉහත පිතිහරඹයට 4 පහර 11 කි. 6 පහර 14 කි. 6 පහර ප්‍රමාණයත් වාර්තාවකි. මෙසේ වාර්තාගත වූ ෆින්ච් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ඕවර 20 ජාත්‍යන්තර තරගමාලාවේදී ඔස්ට්‍රේලියානු නායකත්වය දරනු ලබයි.
30 හැවිරිදි ෆින්ච් ප්‍රවේගකාරි පිතිකරුවෙකි. එමෙන්ම දඟ පන්දු යවමින් කඩුලු දවා ගැනීමටත් හැකියාවක් ඇත. තවද හෙතෙම අති විශිෂ්ට පන්දු රකින්නෙකි. "මම කාලයක් ඇලන් බෝඩර්ට ඉතා දැඩි ලෙස ඇලුම් කළා. ඒ නිසා වමතින් පන්දු යවනවා. මගේ පි‍්‍රයතම පිතිකරුවා වූයේ මාර්ක් වෝ. ඒ නිසා දකුණතින් පන්දුවට පහර දෙනවා." ෆින්ච් පවසයි.
ඔහු අපූරු පුද්ගලයෙකි. "මම දත් මදින්නේ දකුණතින්. ක්‍රිකට් පන්දුව විසිකරන්නේ වමතින්. ඒ වගේම ඔස්ටේ‍්‍රලියානු පාපන්දුවට පහර දෙන්නේ දකුණු පාදයෙන්. ඒ වුණත් පාපන්දුව පාස් කරන්නේ වමතින්."
ෆින්ච්ට ඕවර 20 ඔස්ට්‍රේලියානු නායකත්වය පළමුවරට හිමි වුයේ 2012 වසරේදීය. පසුව ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර සහ ඕවර 20 නායකත්වය ස්ටීව් ස්මිත්ට පැවරිණි. පසුව දස්කම් අතර නොසිටි බැවින් ෆින්ච්ට කණ්ඩායමේ ස්ථානයත් අහිමි විය.
නමුත් දැන් යළිත් දස්කම් දක්වමින් ජාතික කණ්ඩායමට ඔහු එක් වී සිටියි. පසුගියදා නවසීලන්තය සමඟ පැවැති එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී ඔස්ට්‍රේලියානු නායකයා වූයේත් ඔහුමයි. හෙතෙම එක්දින තරග විශේෂඥයෙක් ලෙසට සැළකෙයි. තවමත් ඔහු ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර නැත.
ඔහුගේ පිතිහරඹයේ ප්‍රබලත්වය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත්විඳීමට සිදු වූයේ ගිය වසරේදීය. ඒ දඹුල්ලේ දී පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී පන්දු 18 කින් අර්ධ ශතකය රැස් කිරීම නිසාය. එය එක්දින ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියානු වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමකිරීමකි. ඊට පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ සයිමන් ඕ ඩොනෙල් විසිනි. ඒ 1990 වසරේදීය.
ක්‍රිකට් ආරම්භය
"මගේ මවුපියන් (ගැරී සහ ෂූ) ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැහැ. මට සහෝදරයන් දෙදෙනෙක් (මැට් සහ ජෙස්) සිටිනවා. අපි කුඩා කාලයේදී ආච්චිගේ ගෙදර යනවා. එහිදී සීයා අපිව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළා. මුලින්ම ටෙනිස් පන්දුවයි ප්ලාස්ටික් බැට් භාවිතා කරලයි ක්‍රීඩා කළේ."
ෆින්ච් මුලින්ම ක්‍රිකට් පුහුණුව ලැබුවේ අපුරු ආකාරයටයි. එනම් බාස්කට්බෝල් හෙවත් පැසිපන්දු වළල්ලක එල්ලන ලද පන්දුවකට පහරදීමෙනි. මේ වන විට ඔහු එංගලන්තය, ඉන්දියාව සහ නවසීලන්තය වැනි රටවලදී වෘත්තීයමය ලෙසට ක්‍රීඩා කර තිබේ.
ජීවන සහකාරිය
ගිය වසරේදී හෙතෙම විවාහ ගිවිස ගත්තේය. ඔහුගේ බිරිය වනුයේ ඒමි ගි‍්‍රෆිත්ස්ය. එම විවාහ ගිවිස ගැනීම වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලිය සමයේදිය. "මම ඇගේ පියාගෙන් අවසර ඉල්ලුවා. පසුව ඇයට විවාහ යෝජනාව කළේ බැංගලෝරයේ රිට්ස් කාර්ල්ටන් හෝටලයේ ඉහළ මාලයේදීයි."
ෆින්ච්ට ඒමි හමුවීමට පෙර ඉන්දීය පෙම්වතියක් ද සිටියේය. "මම ඉන්දීය කෙල්ලන්ට ආදරෙයි. මට ඉන්දීය පෙම්වතියක් සිටියා. ඇගේ පවුලේ අය පදිංචි වී සිටින්නේ මෙල්බර්න්වල. නමුත් ඇය මට මුල්වරට හමුවුණේ මුම්බායිවලදීයි. ඇය රූපවාහිනි සේවයකයි රැකියාව කළේ. ඇය නිසා මට හින්දි වචන හුඟාක් ඉගෙන ගැනීමට ලැබුණා."

ඉගැන්වීම
අයි. පී. එල්. තරගවලට සහභාගි වන විට ෆින්ච්ට අපුරු අත්දැකීමක් ලැබුණේය. "මට ළමයින් හමුවෙනවා. ඒ අවස්ථාවලදී ඔවුන්ට ඉංග්‍රීසි උගන්වන්න මම උත්සාහ කළා. ඒත් සිදුවුණේ ඔවුන් මට හින්දි ඉගැන්වීමයි."
මිතුරාගේ සමුගැනීම
ෆින්ච්ගේ සමීපතම ක්‍රිකට් ක්‍රීඩක මිතුරා වූයේ ෆිල් හියුස්ය. ඔහු අකාලයේම මෙලොවින් සමු ගත්තේ පන්දුවක් වැදීමෙනි. "මට ෆිල්ව මුලින්ම හමුවූයේ ක්‍රිකට් ඇකඩමියේදී. අපි දෙන්නයි ලුක් රොන්කියි සිටියේ එකම කාමරයකයි. ෆිල් කිසිම කෙනෙකු ගැන නරකක් කිව්වේ නැහැ. එය විශේෂ ගුණයක්. හැමෝම ඒ වගේ විය යුතුයි. මගේ ගෙදර මමත් ෆිලුත් සිටින ඡායාරූප දෙකක් තිබෙනවා. මම වරින්වර ඒ දෙස බලනවා. සමහර වෙලාවට මම හඬනවා. තවත් වෙලාවට සිනාසෙනවා. ඒ අතීත සිදුවීම් මතක් වෙන විටයි."
ෆිල් හියුස්ගේ අවමඟුලේදී ඔහුගේ දෙණ රැගෙන ගිය පිරිස අතරට මයිකල් ක්ලාර්ක්, ටොම් කූපර් සහ ෆින්ච් ද අයත්ය.
නරකම පුරුද්ද
ෆින්ච් දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටියි. එය වත්මන් ක්‍රීඩකයන් අතර දුලබය. "මගේ ජීවිතයේ මම පසුතැවෙන එකම හේතුවත් එයමයි. මම ඒකට චෝදනා කරන්නේ මගේ සහෝදරයාටයි. ඔහු තමයි මට ඒක පුරුදු කළේ. සෞඛ්‍යමය හේතු මත දුම්පානය නතර කරන්න මම කැමතියි. එහෙත් තවමත් බැරි වුණා."
මාලිංග
ෆින්ච් නායකයෙකි. එම නිසා තරගයක ඉතා තීරණාත්මක මොහොතක අවසන් ඕවරය යැවීම සඳහා ඔහු තෝරා ගැනීමට කැමතිම පන්දු යවන්නා වනුයේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි. "එක්දින සහ ඕවර 20 තරගවලදී මාලිංග යනු විශ්වාස කිරීමට අමාරු පන්දු යවන්නාය. ඔහු දඟ පන්දු යවන්නන් වගේ පිතිකරුවන්ව රවටනවා. දස්කම් අතර සිටි උපරිම අවස්ථාවේදී ඔහුගේ පන්දුවලට පහරදීම හරිම අමාරුයි."
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.