දූෂණ - අක්‍රමිකතා පිටුදකින්න කොමිෂන් සභා විසි දෙකක් ඕනෑ! | Page 2 | සිළුමිණ

දූෂණ - අක්‍රමිකතා පිටුදකින්න කොමිෂන් සභා විසි දෙකක් ඕනෑ!

ඉහ වහා ගිය දූෂණ හා අක්‍රමිකතා පිටු දැකීමට ද, මහජන දුක් ගැනවිලිවලට කන්දෙන සංවේදී රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැඟීමට ද අවශ්‍ය පරිපාලන පසුබිම සකස් කර ගැනීම සඳහා තවත් කොමිෂන් සභා 22ක් පත් කළ යුතු යැයි මහජනතාව ව්‍යවස්ථා සම්පාදන කමිටුවට යෝජනා කර සිටිති.

දැඩි නිලධාරීවාදය හා දේශපාලනීකරණය ආදී සාධක නිසා රාජ්‍ය අංශය ඔස්සේ තමන් පීඩාවට පත්වන්නේ යැයි පෙන්වා දෙන ජනතාව නම්‍යශීලී නොවන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය නිසා තමන් තවදුරටත් අසරණ වන බව ද පැහැදිලි කරති.

මේ තත්ත්වය මඟහරවා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ අදාළ අංශ මෙහෙයවීමට හා අධීක්ෂණය කිරීමට සම්බන්ධ කොමිෂන් සභා පත් කිරීම බව ද ඔවුහු පෙන්වා දෙති.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රජයේ ප්‍රධාන ස්ථම්භ තුනේ වඩාත් ස්වාධීන සහ මහජනතාවට සහන සේවා සපයන ආයතන බවට පත් කිරීමේ අරමුණින් මහජනතාව කමිටුව වෙත මේ යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ ලේකම් වින්ස්ටන් පතිරාජ මහතා ‘සිළුමිණ’ට ප්‍රකාශ ‍ෙකළේය.

නිලධාරිවාදය, දේශපාලනීකරණය, දූෂිත හා මහජන දුක්ගැනවිලිවලට සංවේදී නොවූ ආයතන රාමුවෙන් රට නිදහස් කර ගැනීම රටවැසි ජනතාවගේ එකම අභිලාෂය වී ඇතැයි මේ යෝජනා විශ්ලේෂණය කිරීමේදී තමන්ට පෙනී ගිය බව ද ලේකම්වරයා කීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනටමත් පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව නව ව්‍යවස්ථාව මඟින් පිහිටුවිය යුතු යැයි මහජනතාව යෝජනා කරන කොමිෂන් සභා මෙසේයි.

රාජ්‍ය සේවා දුක් ගැනවිලි කොමිසම, අර්ධ රාජ්‍ය ආයතන සඳහා වූ රාජ්‍ය සේවා කොමිසම, වෙනස් ලෙස සැලකීමට විරුද්ධ හා සම අවස්ථා පිළිබඳ කොමිසම, මාධ්‍ය කොමිසම, කාන්තාවන් පිළිබඳ කොමිසම, ළමුන් සඳහා වූ කොමිසම, නීති ආධාර කොමිසම, අධ්‍යාපන කොමිසම, සෞඛ්‍ය කොමිසම, පරිසර කොමිසම, ආර්ථික සංවර්ධන දුක් ගැනවිලි කොමිසම, ආබාධිතයන්ගේ අයිතිවාසිකම් කොමිසම, උපරිමාධිකරණ සඳහා අධිකරණ කොමිසම, මලයහ (උඩරට) දෙමළ සංවර්ධන කොමිසම, තානාපති/ විදේශ සේවා කොමිසම, කේන්ද්‍රය - පර්යන්ත සබඳතා කොමිසම, ජාතික ඉඩම් කොමිසම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රාජ්‍ය භාෂා කොමිසම, ආහාර හා කෘෂිකර්ම කොමිසම, දේශීය වෛද්‍ය කොමිසම, සහ සහනදායි ක්‍රියා සඳහා වූ කොමිසම ඒවා වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ/ විපක්ෂ මන්ත්‍රීවරු 225 දෙනාම මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කොට ඇති අතර මේ කටයුතු මෙහෙයුම් කාරක සභාවේ සභාපති ධ‍ූරය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද වින්ස්ටන් පතිරාජ මහතා කීය.

මෙම මෙහෙයුම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු 21 දෙනෙකු ද ඇතුළත් ය. ඊට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට අනුකාරක සභා හයක් පත්කොට ඇතැයි ද පතිරාජ මහතා පැවසීය.

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව, අධිකරණ, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සහ මධ්‍යම පර්යන්ත සම්බන්ධතා එම අනුකාරක සභා හයයි. ඒවායේ වාර්තා මේ වනවිට මෙහෙයුම් කාරක සභාවේ සභාපතිවරයා වෙත පිළිගන්වා ඇත.

එවැනි ක්‍රියාදාමයක් සිදු ව ඇති මේ අවස්ථාවේදී මේ මාසය හෝ ලබන මස මුල් සතිය තුළ මෙහෙයුම් කාරක සභාවේ වාර්තාව ද රට හමුවේ තබනු ඇතැයි වින්ස්ටන් පතිරාජ මහතා විශ්වාසය පළ කෙළේ ය. 

Comments