යළිත් පැරකුම් යුගයක්

යම් සංවර්ධන ව්‍යාපෘතියක ඵලදායිත්වය රඳා පවතින්නේ ඒ ව්‍යාපෘතියෙන් ජනතාවට ජීවත්වීමට ලැබෙන සහනය අනුවය.

යම් සංවර්ධන ව්‍යාපෘතියක් අවසන් වීමටත් පෙර ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන්නේ නම් එය ඉතා කාර්යක්ෂම සංවර්ධන ව්‍යාපෘතියක් වනු නොඅනුමානය.

දැන් ජලය පිරෙන මොරගහකන්ද ජලාශය මඟින් දැනටම ඇළහැර ගිරිතලේ කුඹුරු අස්වැද්දවීමට ජලය ලබාදෙන අයුරු එහි ගිය අපි දුටුවෙමු. දිනකට ඝන මීටර් දස ලක්ෂයක් එසේ දැනටම ඒ ගොවියන්ට ලබාදෙයි. නියඟය අධික වූ නිසා මොරගහකන්දේ ජලය නොතිබුණා නම් ඒ අක්කර දහස් ගණන් වූ කෙත්යාය වියැළී යන්නට ඉඩ තිබිණි.

මොරගහකන්ද ජලාශයේ දැනට පිරී ඇත්තේ අක්කර අඩි 50000ක් පමණි. ඒ ජලයෙන් ඇලහැර ගිරිතලේ කුඹුරු අස්වැද්දීම ඉතා සතුටට කරුණකි. ඒ අනුව මුළු ධාරිතාව වූ අක්කර අඩි 460000ක් පිරුණු විට මින් රටට කෙතරම් ප්‍රතිලාභ ලැබෙනු ඇත්ද?

එමෙන් ම මේ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව ද දැන් නව ලග්ගල හා අවට ප්‍රදේශවල සතුටින් ජීවත් වෙති. ඒ බොහෝ දෙනා පවසන්නේ අපට දැන් ඉස්සරට වඩා හොඳ බවයි. දැන් පිළිවෙළකට දියුණු අර්ධ නාගරික පහසුකම් මැද ජීවත්වෙන බව ද ඔවුහු පවසති.

ජනපතිවරයා ගේ උනන්දුව මත ඇරැඹි මේ මොරගහකන්ද - කළුගඟ බහු කාර්ය ව්‍යාපෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දැනටමත් ඉතා කාර්යක්ෂම ‍රටට ඵලදායි ව්‍යාපෘතියක් වී අවසානය.

අක්කර අඩි 445000ක විශාලත්වයෙන් යුත් මේ මනහර ජලාශය අඹන් ගඟේ ජලයෙන් දැන් පිරී යමින් පවතින්නේ මැදරටට, රජ රටට පමණක් නොව උතුරු නැගෙනහිරට ද අලුත් අපේක්ෂා සහගත අනාගතයකට මඟ සලසන ‘පෙර ගමන්කරුවා’ ලෙස ය.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට මොරගහකන්ද ජලාශය මුහුදු මට්ටම අඩි 158.8 දක්වා පිරී පැවතිණි. මුහුදු මට්ටමින් අඩි 160 ක් ජලාශය පිරුණ පසු විදුලි බලාගාරයේ පරීක්ෂණ නිෂ්පාදන කටයුතු ඇරැඹේ. දැනට මොරගහකන්ද ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතුවලින් සියයට 90ක් අවසන් ය. විදුලි බලාගාරයේ කටයුතු ද අවසන් වෙමින් පවතී. දැනට මීටර් 20කට වැඩිය ජලය පිරී පවතින අතර ඒ ප්‍රමාණය අක්කර අඩි 50000කි.

මොරගහකන්ද විදුලි බලාගාරයේ නිෂ්පාදන කටයුතු මැයි මස ඇරඹෙන අතර මොරගහකන්ද ව්‍යාප‍ෘතියේ සියලු කටයුතු අවසන් කර මැයි 31 වැනිදා මෙය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව ඇළහැර කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැනට සියයට 50ක් අවසන් කර තිබේ. කළු ගඟ ජලාශයට ජලය පිරවීම 2017 නොවැම්බර් වලදී ආරම්භ කර 2018 නොවැම්බර්වලදී අවසන් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පවසන පරිදි සම්පූර්ණ ව්‍යාපෘතියට මුළු වියදම රුපියල් කෝටි 18600කි. ඉහළ අලහැර ඇළ ඉදිකිරීම වයඹ පළාතේ වාරි සංවර්ධනය හා මිණිපේ අමුණ වේල්ල ප්‍රතිසංස්කරණය ද හා බිසෝපුර සංවර්ධනය මීට අයත්වේ. මේ අනුව අද මේ මැද රට හා රජරට මායිමේ ඉදිවන මෙරට යෝධ බහුකාර්ය යෝජනා ක්‍රමය නිසා මාතලේ පොලොන්නරුව දිස්ත්‍රික්වල ජනතාවට අලුත් ජීවිත අපේක්ෂා රැසක් සමඟ අලුත් සමාජ සංස්කෘතියත ද පෙර මඟ ලකුණු ද පහළ වෙමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රබලතම ජීවිත අපේක්ෂාවක් වූ මේ මහ ව්‍යාපෘතිය මඟින් රජරටට නැගෙනහිරට ද මධ්‍යම පළාතට ද පිරිසුදු පානීය ජලය, වාරි ජලය හා වෙනත් කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ ආදායම් ලබා දෙන අතර මුල සිටම මෙගා වොට් 25ක ජල විදුලි බලයක් ද ලබා දෙන්නේ රටටම මෙහි ප්‍රතිලාභ පෙන්නුම් කරමිනි.

මේ ව්‍යාපෘතියෙන් නැවත පදිංචි කළ පවුල්වලට මෙරට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල වන රුපියල් දසලක්ෂ 11000ක් පමණ ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව ඔවුන්ට ගෙවීමට තිබූ වන්දි මුදල සියයට 50කින් වැඩි කිරීමට මහවැලි සංවර්ධන කටයුතු බාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමා තීරණය කර ඇති බවත් ඒ වන්දි මුදල එකවර ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සමඟම මැදිරිගිරිය ප්‍රදේශයේ අලුත් ඉඩම් 9000ක් මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ. වැව් 36ක් ප්‍රධාන මාර්ගයක් යටිතල පහසුකම් රැසක් එහි ඉදිවන අතර විශාල කර්මාන්ත පුරයක් ද ඉදිකිරීමට නියමිතය.

කළුගඟ ජලාශය නිසාත් මොරගහකන්ද ජලාශය නිසාත් ඉඩම් අහිමිවූ ජනතාව දැන් මාතලේ දිස්ත්‍රික්කයේ නව ලග්ගල ප්‍රදේශය ගුරුවෙල හා වැල්ලෙවෙල ප්‍රදේශ දියුණු නගර හා ගම්මාන ලෙස සියලු පහසුකම් සහිතව දැන් සංවර්ධනය කර තිබීම පිළිබඳව සිය සතුට පළ කර සිටිති.

නව ලග්ගලදී අපට හමු වූ ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපති ඊ. ඇන්. රන්බණ්ඩා මහතා පැවසුවේ තම මුල් ගමේ සියලු දෙනාටම අක්කර ‍2ක් බැගින් ඉඩම් ලබාදීම ගැන ඉතා සතුටු වන බවයි. අපට ඉඩම් විතරක් නෙමේ වන්දි මුදල් පැළ වර්ග කෘෂි උපදෙස්, පානීය ජලය, ගෙදරට විදුලිය, කෘෂි උපකරණ කට්ටල සමඟ ප්‍රවාහන පහසුකම් පවා ලබාදුන්නා... අපි ඉස්සර හිටියෙ කරදමුල්ලේ ඉස්සර හිටියාට වඩා නාගරික පහසුකම් මැද හිතේ සතුටෙන් දැන් අපි ජීවත් වෙනවා. රන්බණ්ඩා මහතා පැවසුවේ හදපිරි සතුටිනි.

ඒ සමඟම එහිදී අපට හමුවූ දක්ෂ ගෙවිලියක් වූ ජේ. ඒ. එන්. පී. මුතුතන්ත්‍රී මහත්මිය පැවසුවේ ද තම ජීවිතය අලුතින් පදිංචි කිරීමත් සමඟ අලුත් වූ බවයි. “අපිට ඉස්සර ලග්ගල ඉන්නකොට මෙච්චර පහසුකම් තිබුණේ නෑ. දැන් අපට අත ළඟම මොන්ටිසෝරි, මහා විද්‍යාලය, රෝහල, පොලීසිය ආදි සියලු යටිතල පහසුකම් තිබෙනවා. අපිට ඉස්සරට වඩා හොඳයි” ඇය පැවසුවේ අලුත් පදිංචිකරුවන්ගේ පොදු හඬය.

පල්ලෙගම සිට පැමිණි ගොවි මහතකු වූ පී. ජී. දිසානායක මහතා ද තම අක්කර 1/2 ගෙවත්ත දැන් ඉතා සරුවට වවාගෙන සතුටින් ජීවත් වෙයි. ඔහු පැවසුවේ මුලින්ම ඔවුනට පවුලකට අත්‍යවශ්‍ය පැළ 25ක් පමණ මහවැලියෙන් ලබා දුන් බවයි. කෘෂි උපදෙස් අනුව මට ඉඩම් වැවීම්, පොල් පැළ 5ක් පලතුරු පැළ ආදියට අපට ලැබුණා. ඒවා සියල්ල වවාගෙන හිටියාට වඩා හොඳට අපි දැන් ඉන්නවා. දිසානායක මහතා කීය.

මෙහිදී අපට හමු වූ ගුරුවෙල ප්‍රදේශයේ කොට්ඨාස කළමනාකාර බී. එම්. ටී. බණ්ඩාර හා ක්ෂේත්‍ර සහකාර ආර්. ඩී. විජේසිංහ යන මහත්වරු ප්‍රදේශයේ ජනතාවගේ දියුණුවට ඉමහත් කැපවීමෙන් කටයුතු කරති. අපිට මේ මහත්වරු හුඟක් උපදෙස් දෙනවා. ඉස්සර හිටිය පැත්තේ මෙහෙම උපදෙස් දෙන්න කවුරුවත් නැහැ. ඒ නිසා අපට ලැබුණු ගොඩ ඉඩමෙන් අපිට කන්න සේරම දේවල් වගා කළා. දැන් මේ හැම වැඩකම පිළිවෙළක් තිබෙනවා. ඒ අනුව මේ පැත්ත දියුණු වෙලා. අපිට හුඟක් සතුටුයි. හිටියට වඩා හොඳින් ඉන්නවා” තම ලග්ගල ප්‍රදේශයේ අලුතින් පදිංචි වූ එස්. කුමාරි අබේසිංහ මහත්මිය පවසන්නීය.

ගුරුවෙල නව මහවැලි කොට්ඨාසයේ නැවත පදිංචි කරවූ අයට අලුත් නගරයක් ඉදිවී ඇත. ඒ නව ලග්ගල නගරයයි. පැරැණි ලග්ගල නගරය කළුගඟ ජලාශයට යටවන අතර නව නගරයේ පැරැණි නගරයට වඩා පහසුකම් රැසකි.

ඒ අතර පොලිස් ස්ථානය, ඒකක කළමනාකරණ කාර්යාලය, සමූපකාර ගොඩනැඟිලි සංකීර්ණය, ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආයුර්වේද රෝහල් සංකීර්ණය, සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය, නව රෝහල් සංකීර්ණය, මහා විද්‍යාලය, කනිටු විද්‍යාලය, පොදු ක්‍රීඩාංගණය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැඟිල්ල, මහජන පොළ භූමිය හා ගොඩනැඟිලි, තැපැල් කාර්යාල සංකීර්ණය, අධිකරණ සංකීර්ණය, බස් නැවතුම්පොළ, නව ලග්ගල නගරයේ ඉදිවන ප්‍රධාන ආයතන වෙයි.

ගුරුවෙල ඒකකයේ කොට්ඨාස කාර්යාලය, ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, කුඩා සමූපකාර ගොඩනැඟිල්ල, ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදි වී අවසන්ය. හීරටිඔය ඒකකයේ ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, ප්‍රාථමික විද්‍යාලය, කුඩා සමූපකාර ගොඩනැඟිල්ල, ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිවෙමින් තිබේ. මීට අමතරව නව සංවර්ධන ප්‍රදේශය අලුත් පාසල් 3ක් ඉදි කෙරේ. තිබෙන පාසල් නවීකරණය වෙයි.

වැල්ලේවල කොට්ඨාස කාර්යාල ගොඩනැඟිල්ල ඒකක කාර්යාල ගොඩනැඟිල්ල ඉදි වෙමින් තිබෙන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. තෝරපිටිය ඒකකයේ ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල, කුඩා සමූපකාර ගොඩනැඟිලි හා ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල ඉදි වෙමින් ඇත.

මොරගහකන්ද ව්‍යාපෘති ප්‍රදේශයට ආසන්න අඹන ප්‍රදේශයේ නව ප්‍රාදේශීය නගරය ඉදිකිරීම සැලසුම් කර ඇත. එහි සංවර්ධන කටයුතු රැසකි.

කූඹියන්ගහඇළ විද්‍යාලය නවීකරණය කිරීම, නව පාසලක් සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රාදේශීය රෝහලක් ඉදිකිරීම, ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය, මහජන පුස්තකාලය, කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය, උප තැපැල් කාර්යාලය, කර්මාන්තපුරයක් සඳහා ඉඩම් වෙන් කිරීම, සමුපකාරය සහ ග්‍රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව, ඒකක කළමනාකරණ කාර්යාලය ඉදි කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පෞද්ගලික උනන්දුව මත ඉදි කර අවසන් වෙමින් පවතින මේ මහා ව්‍යාපෘතිය නිසා දැනටම ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙමින් පවතී.

සමහර නැවත පදිංචිකරුවන් විවිධ මත ප්‍රකාශ කළත් නැවත පදිංචිකරුවන් පිරිසකට මෙතරම් ප්‍රතිලාභ ලැබුණු තවත් ව්‍යාපෘතියක් නැති තරම්ය. එමෙන්ම අප කළ ගවේෂණ අනුව මෙහි නැවත පදිංචිකරුවන් වැඩි පිරිසක් තම ඉඩම් මේ මහා ව්‍යාපෘතියට ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳවත් සතුට පළ කරති. අප සියලු දෙනා කළ යුත්තේ මේ කටයුත්තට පූර්ණ සහාය දක්වා රට බත බුලතින් සරු කරන්නට තවත් අතහිත දීම මිස අකුල් හෙළීම නොවේ.


රටේ දිස්ත්‍රික්ක 9කට සෙත සලසනවා

ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. බී. තෙන්නකෝන්

 

මෙම ව්‍යාපෘතිය මගින් රටේ දිස්ත්‍රික්ක 9කට සෙත සැලසේ. මෙහි ඉඩම් අහිමි වූ සම්පූර්ණ පවුල් ගණන 2500කට ආසන්නය. මේ සියලු පවුල් සඳහා ජලය දීමට මාතලේ පල්ලෙගම ලග්ගල ප්‍රදේශයේ හා පොලොන්නරුවේ බිසෝපුර ප්‍රදේශයේ අලුත් වැව් 48ක් ඉදිවන බව ව්‍යාපෘති කළමනාකාර ආර්. බී. තෙන්නකෝන් මහතා පවසයි. නැවත පදිංචි කිරීම් යටතේ ලග්ගල කළු ගඟ ප්‍රදේශයේ හෙක්ටයාර් 3000ක් සංවර්ධනය කරන අතර පොලොන්නරුව බිසෝපුර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා තවත් අක්කර 9000ක් වෙන් කර තිබේ.

කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නව ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ අලුත් ප්‍රධාන නගරයක් හා උප නගර හයක් සියලු පහසුකම් සහිතව ඉදි කෙරේ. පොලිසි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය මධ්‍යස්ථාන, සමූපකාර සමිති හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒ යටතේ දැන් ඉදි කෙරෙමින් පවතී. මීට අමතරව කළුගඟ ව්‍යාපෘති කලාපයේ ඉඩම් හෙක්ටයාර 400ක් සංචාරක හෝටල් ඉදිකිරීමට කටයුතු කරන අතර තවත් හෙක්ටයාර 1000ක් කර්මාන්ත පුරයක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ.

 


මොරගහකන්දෙන් දැනටම ඇලහැර කුඹුරු වගා කරනවා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී. බී. විජේරත්න

මොරගහකන්ද ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. බී. විජේරත්න මහතා පවසන පරිදි දැනටම මොරගහකන්දේ අක්කර අඩි 50000ක ජලයෙන් හා ගිරිතලේ ජනතාවට සිය කුඹුරු ඉඩම් අස්වැද්දීමට ජලය සපයනු ලැබේ. මොරගහකන්ද සමුද්‍රය පිරී අවසන් වීමටත් පෙර ඉන් ප්‍රතිලාභ ලැබීම ආරම්භ වීම සුවිශේෂ ආරම්භයක් බව ද විජේරත්න මහතා කියයි. ඒ අනුව දැනට දිනකට ජලය ඝන මීටර් මිලියනයක් ඇළහැර හා ගිරිතලේ ගොවි ජනතාවට මොරගහකන්දෙන් ලබා දෙයි.

සේයාරූ - සුසන්ත විජේගුණසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.