ගරා වැටෙමින් තිබූ රාජ්‍ය වැවිලි සංස්ථාව දැන් ලාබ ලබනවා

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම

කලකට පෙර මෙරට ඉතාමත් සශ්‍රීක වතු හා දේපලක් උරුම වූ අති සාර්ථකව ලාභ ඉපැයූ ආයතනයක්ව තිබූ රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය දශකයක කලක් පුරාම නිසි ඉලක්කයක් හෝ කළමනාකරණයක් නොමැතිව පවත්වාගෙන යෑමෙන් රුපියල් කෝටි 25ක් පමණ අලාභයක් ලබා ඇතැයි සංස්ථාවේ වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තිලක් මහානාම මහතා පවසයි. පසුගිය වසරේ ‍අගෝස්තු මාසයේ තමා වැවිලි සංස්ථාවේ සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව ගතවූ සිව් මසක් වැනි කෙටි කාලය තුළ එකී රු. මිලියන 25 පාඩුව රුපියල් කෝටි දොළහ දක්වා අඩු කරන්නට තමාට හැකි වූ බවද සභාපතිවරයා කියයි. සේවක පඩිනඩි පවා ගෙවා ගැනීමට නොහැකිව වසා දමන තත්ත්වයට බංකොලොත් වී තිබූ රාජ්‍ය වැවිලි සංස්ථාව යළිත් පෙර තිබූ සශ්‍රීකත්වය කරා ගෙන යාම තම අරමුණ බවද ඔහු කියයි. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සභාපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග හා සංස්ථාවේ ඉදිරි අරමුණු පිළිබඳ ඒ මහතා සිළුමිණට පැවැසූ අදහස් ඇසුරින් මේ ලිපිය සැකැසෙයි.

ජනතාවට කිසිම බයක් සැකක් නැතිව රසවත් ගුණවත් ඉස්තරම් ම තේ කෝප්පයක් බීමේ අවස්ථාව අපේ සංස්ථා තේ වලින් ලැබෙනවා

ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රවීණ පුද්ගලික පංති ආචාර්යවරයකු වූ ඔබ හිටි ගමන් ම වැවිලි සංස්ථාවේ සභාපතිධුරයට පත්වෙනවා. ඔබ වෙත එල්ල වුණු අභියෝගය කෙබඳු ද? එය ජයගන්නේ කොහොමද?

ඇත්ත වශයෙන් ම මෙය විශාල අභියෝගයක්. රුපියල් කෝටි විසිපහක් පමණ පාඩු ලබා වසා දමන්නට ඔන්න මෙන්න කියමින් සිටි පණ අදින රෝගියකුට පණ දෙන්නටයි මට භාර වුණේ. එය ලේසි පහසු වැඩක් නොවෙයි. පරණ ණයවලට, නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙන්නේ වත්මන් සභාපතිවරයාටයි.

රාජ්‍ය වැවිලි සංස්ථාව ආරම්භ කළේ නවසිය පනහේ දශකයේ. ඒ කාලේ සංස්ථාව සතු වතු 241 ක් තිබුණා. පසුකාලීනව එක් එක් ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුව මේ වතු පුද්ගලික අංශයට පවරලා තිබෙනවා මේ ව විට සංස්ථාවට ඉතුරු වෙලා තිබෙන්නේ වතු දහතුනක් පමණයි. එයින් දොළහක් තේ වතු. එකක් රබර් වත්තක්. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල තේ වතු සියල්ල පිහිටා තිබෙනවා. රබර් වත්ත ගාල්ලේ වළහන්දූවේ පිහිටා තිබෙනවා. මින් පෙර හැම වත්තකම තේ කම්හල් ක්‍රියාත්මකව පැවැතුණා. දැන් ක්‍රියාත්මක වෙන්නේ කම්හල් තුනයි. ඇතැම් කම්හල් කිහිපයක් ගිණිගෙන විනාශ වෙලා. මේ වතුවල තිබෙන ගොඩනැඟිලි දේපළ සියල්ල ක්‍රම ක්‍රමයෙන් විනාශයට පත්වෙලා. කෝටි ගණන් වටිනා වතු බංගලා ගරා වැටිලා. මින් පෙර පාලනය ගෙන ගිය කිසිවෙකු මේ විනාශය නතර කරන්නට පියවර නොගත් එක පුදුමයක්.

ඔබ පවසන්නේ සංස්ථාව පාඩු ලබා ඇත්තේ දුර්වල කළමනාකරණයෙන් පමණක් කියාද?

පරිපාලනයේ දුර්වලතා ප්‍රධානයි. ඊට අමතරව මෙම පාඩුව සිදුවීමට විවිධ අක්‍රමිකතා සහ දූෂණ බලපා ඇති බව කරුණු සොයා බැලූ විට අපට පෙනී ගොස් තිබෙනවා. නිදසුනක් ලෙස දක්වනවා නම් තේ වතු දොළහෙන් මාසයකට තේ දළු කිලෝ ලක්ෂ දොළහක් නෙලා ගත් විට තේ කුඩු නිෂ්පාදනය කර තිබෙන්නේ ඒ ප්‍රමාණයෙන් 30%ක් පමණ. ඉතිරි 70% ම පෞද්ගලික කම්හල්වලට අලෙවි කරලා. තේ කම්හල්වල කුඩු නිෂ්පාදනයේත් පැහැදිලි පාඩුවක් දක්නට ලැබෙනවා. කම්හලේ නිෂ්පාදන පිරිවැය දරලා තේ ටික කුඩු කරලා තේ වෙන්දේසියේදි අලෙවි කරලා තිබෙන්නේත් කිලෝ එකක් රුපියල් 80 - 90 ක් පාඩුවට. තේ දළු කිලෝ එකක් අලෙවි කරලා තිබුණේ රුපියල් 52කට. මේ වතුවල වැවුණු හොඳම සුපිරි තේ දළු. අද වෙළෙඳපොළේ මැදරට තේ දළු කිලෝ එකක් රු. 80 - 82 අතර වෙනවා. මේ වැනි විශාල වංචා සහ අක්‍රමිකතා පසුගිය කාල වකවානුව පුරාම සිදුවෙලා තිබෙනවා. මේ වංචාවලට වගකිවයුත්තේ පාලකයන් මිස වෙන කව්ද?

ඔබ පත්වී සිව් මසක කාලයක් තුළ රුපියල් කෝටි 25 පාඩුව රු. කෝටි දොළහ දක්වා අඩු කළ බව කීවා. එය කළේ කොහොමද?

සංස්ථාවේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ දළු. තේ තිබුණු තේවතුවල ආදායමට වඩා පවත්වාගෙන යාමේ වර්තන වියදම වැඩියි. මහා භාණ්ඩාගාරයෙන් ණය ඇරගෙනයි වර්තන වියදම් පියවාගෙන තිබුණේ. අපිට මහනුවර දිස්ත්‍රික්කයේ වතු 9ක් මාතලේ දිස්ත්‍රික්කයේ වතු 3ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ එක රබර් වත්තකුත් තිබෙනවා. මේ හැම වත්තක් ම අක්කර දහසකට වැඩියි. මේවායෙහි සේවකයන් 4000 කට ආසන්න පිරිසක් ඉන්නවා. දළු නෙලන 3500ක් පමණ කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදල් (ඊටීඑෆ්) නිසි ආකාරව මහ බැංකුවට බැර කරලා නෑ. එපමණක් නොවෙයි වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති ගාස්තු වෘත්තීය සමිතවලට ගෙවා නෑ. වැවිලි සංස්ථාවෙන් රජයට ලැබිය යුතු ආදයම නිසි පරිදි ගෙවලා නෑ. මේ වංචා දූෂණ නතර කරලා සංස්ථාව යළි ගොඩ දැමීමට මම විශේෂ වැඩපිළිවෙලක් ඇරඹුවා.

ඒ කුමක්ද?

අපි සංස්ථාව භාර ගන්නා විට තේ දළු කි‍ලෝවක් අලෙවි කළේ රුපියල් 52 කට. තේ දළු මිලට ගත්තේ එකම කණ්ඩායමක්. මම පත්වෙලා මුලින් ම කළේ අපේ තේ මිලදී ගැනීම හැමදෙනාට ම විවෘත කිරීමයි. ඒ වගේම තේ දළු කිලෝ එකක අවම මිල රුපියල් 63 දක්වා ඉහළ දැම්මා. ස්ථාවර මිල යටතේ තේ මිලදී ගන්නා අය පමණක් ඉදිරි මාස තුනක් සඳහා ගිවිසුම් අස්සන් කළ යුතු බව මම ගැනුම්කරුවන්ට දැන්වුවා. ඒ අය එකඟ වුණා.

පළමු මාසෙදි අපේ දළුවලට රු. 75 ක සාමාන්‍ය අගයක් ලැබුණා. රු. 52 දීපු දළු කිලෝව රු. 75 කට අලෙවි කළ විට දළු කි‍ලෝවකින් රු. 23 ක ශුද්ධ ලාභයක් ලැබුණා. අපේ තේ වතුවලින් ලැබෙන තේ දළු කිලෝ ලක්ෂ දොළහට රුපියල් 23 ගාණේ වැඩි වුණු විට ඒ මාස තුනට රුපියල් කෝටි හත හමාරකට ආසන්න අමතර ආදායමක් ලැබුණා. 2016 දෙසැම්බර් මාසේදි දළු කිලෝවක අවම මිල වූ රුපියල් 63 අවම මිල රුපියල් 68 දක්වා ඉහළ නැංවූවා.

තේ දළු අලෙවියට අමතරව ඔබ තේ කොළ නිෂ්පාදනයේත් විශේෂ පෙරැළියක් ඇති කළ බව කීවා.

මෙතෙක් සංස්ථාව තේ වෙන්දේසියේ දී රුපියල් 90ක් පාඩු ලබමින් අලෙවි කළ ක්‍රමවේදය වෙනස් කළා. අපේ සංස්ථාවෙ වතුවලින් නෙලා ගන්නේ නියම ප්‍රමිතියෙන් යුතු පිරිසුදු ඖෂධීය ගුණයෙන් යුතු තේ දළු. ඒවා නිෂ්පාදනය කරන්නේ ස්වභාවික ක්‍රමවේදයකට අනුව. කිසිම වර්ණයක් හෝ කෘත්‍රිම රසකාරකයක් ඒවාට මිශ්‍ර කරන්නේ නෑ. සංස්ථාව රජයට සම්බන්ධ වගකිවයුතු ආයතනයක්. එහි නිෂ්පාදනය කරන සෑම තේ කොළ කිලෝවක් සඳහා ම පූර්ණ වගකීමක් තිබෙනවා. මේ තරම් පිරිසුදුවට රසට හා ඖෂධීය ගුණයෙන් යුතු තේ කොළ ජනතාවට වෙනත් තැනකින් ගත හැකි යයි මා සිතන්නේ නෑ. ඉතාම සාධාරණ මුදලකට විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි “සංස්ථා තේ” කොළ පැකට්ටුවක් මම වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

තේ ව්‍යාපාරය මෙරට විශාල තරගකාරී ව්‍යපාරයක්. එම තරගයට මුහුණ දී ජය ගන්නට “සංස්ථා තේ” වලට හැකි වේවිද?

වෙළෙඳපොළ තරගය ප්‍රබළ බව ඇත්ත. මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කරන විට අපිටත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා.

ඒ මොනවාද?

තේ කොළ පැකට්ටුව වෙළෙඳපොළට හඳුන්වා දෙන විට විවිධ නීති ප්‍රශ්න ඇතිවුණා. පරිසර හිතකාමී ලෙස කඩදාසි ඇසුරුමක අපි තේ කොළ ඇසිරුවා. එහි සිංහ ලකුණ සටහන් කරන්නට අවසර දෙන්නට බෑ කීවා. කඩදාසි කවරය මියො කනවා කීවා. විවිධ බාධක මැද අපි “සංස්ථා තේ” නිෂ්පාදනය පසුගියදා හඳුන්වා දුන්නා. දැන් අපට තිබෙන ලොකු ම ගැටලුව අපේ මේ නව නිෂ්පාදනය අලෙවිකරණය සඳහා සංස්ථාවට ප්‍රමාණවත් තරම් මුදල් නැති වීම. දැනට ඒ සඳහා විකල්පයක් ලෙස අපි සංස්ථා තේ රාජ්‍ය ආයතනවලට, පාසල්, පොලිස් ආයතන හා සුභ සාධන සංගම්වලට අලෙවි කරනවා. මුදල් ලැබුණු පසුව ප්‍රධාන වෙළෙඳපොළට මෙය නිකුත් කරනවා. ජනතාවට කිසිම බයක් සැකක් නැතිව රසවත් ගුණවත් ඉස්තරම් ම තේ කෝප්පයක් බීමේ අවස්ථාව අපේ සංස්ථා තේ වලින් ලැබෙන බව මම විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව පවසනවා.

සංස්ථා තේ සාමාන්‍ය ජනතාවට ලබා ගත හැක්කේ කොතැනින්ද? මේ තේකොළ පැකැට්ටුවක මිල කීයද?

තේ කොළ ග්‍රෑම් 200 පැකට්ටුවක් අපි ‍අලෙවි කරන්නේ රුපියල් 190ට. අද වෙළෙඳපොළේ හොඳ තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 100ක් පමණ වෙනවා. සංස්ථා තේ දැනට අලෙවි කරන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ අලෙවි අංශය මඟින්. මේ පිළිබඳ වැඩි විස්තර ‍අපේ අලෙවි අංශයේ 0115882494 යන දුරකථන අංකයෙන් විමසා දැනගන්නට පුළුවන්.

ඉදිරියට එන නියඟයට මුහුණ දෙන්නට සංස්ථාව සූදානම් ද?

ඔව් ඒ සඳහාත් විකල්ප සැලසුමක් මා ඉදිරිපත් කර තිබෙනවා. දැඩි නියං සමයකදී දළු අස්වැන්න අඩු වීම ස්වභාවිකයි. එහෙත් වතුවල ජල මූලාශ්‍ර තිබෙන තැන්වල සිට නළළිං තනා නළ මඟින් වතුවලට ජලය සැපැයීමට අපේක්ෂා කරනවා. වගාව රැකගන්නට ජලය ඉසීමටයි අප අදහස් කරන්නේ. එවැනි එක් ජල විදින යන්ත්‍රයකට ලක්ෂ දෙකක් වැය වෙනවා. එක වත්තකට ජල විදින යන්ත්‍ර දහයක් දුන්නොත් වත්තකට ලක්ෂ විස්සක් වැය වෙනවා. මේ මුදල් සොයා ගන්න නම් අපි මුලින් වතුවල ආදායම වැඩි කර ගන්න ඕනෑ. අවුරුදු හැටක් පමණ ගස්වලට පෝර දාලා නෑ. නඩත්තු කරලා නෑ. මේ පාඩු දරාගෙනයි අලුත් වැඩපිළිවෙළ වෙත යා යුත්තේ.

වතුවල දළු අඩු කාලෙට කම්කරුවන්ට‍ වැඩ නෑ. දැන් දවසකට කම්කරුවකුට රු. 750ක් කුලිය ගෙවන්න ඕනෑ. නිකන් ම පඩි දෙනවට වඩා ඔවුන් ගෙන් වැඩක් ගෙන මුදලක් දීමට මම අලුත් වැඩපිළිවෙලක් ඇරැඹුවා.

ඒ මොකක්ද?

වැඩ නැති කාලෙට ඔවුන්ට විකල්ප ආදායමක් උපා ගතහැකි පරිදි ස්වයං රැකියා පුහුණුවක් ලබා දීම. නිදසුනක් ලෙස කම්කරු කතුන්ට කොට්ට උර ඇඳ ඇතිරිලි, තිර රෙදි හා මදුරු දැල් මැසීමේ පුහුණුව ලබා දීම. සපත්තු හා කාන්තා පාවහන්, අත්බෑග් තැනීම මෙන් ම ස්වභාවික අමුද්‍රව්‍ය යොද‍ාගෙන ඖෂධීය පරිසර හිතකාමී මදුරු කූරු නිස්පාදන පුහුණුව. පුහුණු පාඨමාලා සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පුහුණු උපදේශකවරියකගේ සහය ලැබෙනවා. මේ වන විට අපි කොට ගඟ කැලෑබොක්ක ඩොන්සයිඩ් යන වතු කිහිපයක කම්කරුවන් 600 කට අධික පිරිසකට ස්වයං රැකියා පුහුණුව ලබා දී තිබෙනවා. ඔවුන් මේ ගැන ඉතාම තෘප්තිමත්.

ඔවුන් ගේ නිෂ්පාදන මිලදී ගන්නේ කවුද?

ආරම්භයේ දී සංස්ථාව හෝ වතු මඟින් ම මේ නිෂ්පාදන මිලදී ගෙන සංස්ථාවේ අතුරු නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට අලෙවි කරනවා. ඒ සඳහා දවසකට කම්කරුවකුට කුලිය රු. 1000 ක් ගෙවීමට අපේක්ෂා කරනවා. මේ නිෂ්පාදන අතර මදුරු කූරුවලට හොඳ ඉල්ලුමක් තිබෙවා. ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අමතරව සංස්ථෘවේ සෑම වත්තකට ම සුවපහසුකම් සපිරි විශාල වතු බංගලා තිබෙනවා. මෙම බංගලාවලින් බොහොමයක් නඩත්තු නොකිරීම නිසා ජරාවාස වී තිබුණා. එකවර දහ පහළොස් දෙනකුට සුව පහසුව නවාතැන් ගත හැකි මේ බංගලා නවීකරණය කර සංචාරයට රිසි දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට දීමට මම අදහස් කරනවා. පහළොස් දෙනෙකුට නවාතැන් ගත හැකි බංගලාවක් දවසකට රුපියල් 15,000 මුදලකට කුලියට ලබා දෙනවා. මනරම් සුවදායී පරිසරයක පිහිටි මෙවැනි සුව පහසු බංගලාවක් එවැනි මුදලකට ලබා දීම ඉතාම සාධාරණ බවයි මගේ හැඟීම. එය පරිසරයට ලැදි සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් වේවි.

සංස්ථාව සතු ඇතැම් දේපළ ඉතාම පාඩුදායී ලෙස බදු දී තිබුණා. දෙමටගොඩ පිහිටි පර්චස් 97ක තනි තට්ටු‍වේ ඇමර්සන් ගොඩනැඟිල්ල පෞද්ගලික තේ ව්‍යාපාරිකයකුට වසර 30කට බදු දීලා තිබුණා. ඒ සඳහා ඔහු සංස්ථාවට ගෙවා ඇත්තේ මසකට රුපියල් 45,000 ක් පමණයි. මා පත්වූ පසු වහාම එහි අවුරුදු තිහේ බද්ද අවුරුදු පහ දක්වා අඩු කළා. ගොඩනැඟිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ හයකින් වැඩි කළා. මේ වන විට එමඟින් ලැබූ ආදායම විශාල මුදලක්. ඒ වගේ ම සභාපතිවරයාට හිමි වරප්‍රසාද අඩුවෙන් ම භාවිතා කරන සභාපතිවරයා ලෙසත් ලොකු මුදලක් සංස්ථාවට ඉතිරි කරදී තිබෙනවා.

වැවිලි සංස්ථාවත් ප්‍රතිව්‍යුහගත කරන්නට නියමිත ආයතන ලැයිස්තුවේ ඉහළින්ම තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

‘ප්‍රතිව්‍යුහගත කිරීම’ ආර්ථික විද්‍යානුකූලව සාර්ථක සංකල්පයක්. කිසියම් ආයතනයක් පිට පිට පාඩු ලබනවා නම් එවැනි විකල්පයක් වෙත යෑම සුදුසුයි. පසුගිය දශකයකට අධික කාලයක් තිස්සේ රටේ ආර්ථික සංවර්ධනයේ දැඩි විෂමතාවක් ඇති වී තිබෙනවා. එක් පිරිසක් ධනවත් වෙලා. පිරිසක් අන්ත දිළින්දන් බවට පත්වෙලා. මෙවැනි අතිශය ලාභ ලැබූ ආයතනයක්‍ මේ තරම් බංකොළොත් වන තුරු ඇස්කන් පියාගෙන සිටි හැම දෙනා ම මේ තත්වයට වග කිව යුතුයි. අපි ක්‍රමයෙන් ඒ වැටුණු වළෙන් ගොඩ එමින් සිටිනවා. ප්‍රතිව්‍යුහගත කළත් නොකළත් සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමෙහිලා මා වෙත භාර දුන් අභියො­්ගය නොබියව සාර්ථකව ජය ගැනීමට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.

ඡායාරූප - තිලක් පෙරේරා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.