අලිගහනයට කොඩිවිනය පොලිතීන්

මේ මහා දැවැන්තයා වනයේ සරමින් ආහාර සොයා ගියේ ජිවත් වීමටය. අද මෙලෙස බිම වැතිර දෙපා සතුන්ගෙන් යදින්නේ ද තවත් එක් දිනයක් හෝ මේ මිහි මත රඳන්නට ජීවයයි. මිනිසුන් විසින් ලබා දෙනුලබන කෙසෙල් ඇවරියක් දෙකක්, කොමඩු බෑයක්, උක් පතුරක් දකිත්ම ඒ දෙසට හොඬය දිගු කිරීමට මේ සතා දරන වෙහෙස දකින කාගේත් නෙතට එක් කරන්නේ කඳුළකි. බර ඔසවන යන්ත්‍ර මගින් කෙතෙක් ඔසවා කෙළින් කිරීමට උත්සාහ දැරුවත් ‍සතර පයින් නැඟී සිටීමට බැරි මේ දැවැන්තායාගේ දෙනෙතින් කඳුළු වෑහේ. ඌට තරමක හෝ පහසුවක් අත්කර දීමට ඌ ලැග සිටිනා තැනට බවුසර් මගින් ගෙනැවිත් ඉසිනු ලබන ජලය සිරුරට පතිතවත්ම තමනට අවසඟ වුවද මහත් වූ වෙහෙසකින් නමුදු දිය බිඳුවක් තොල ගානු රිසින් වතුර බිඳකට ඉව අල්ලන්නේ තවත් එක් දිනක් හෝ මේ මිහිතලයේ සුසුම් ලෑමේ ලොබින් විය යුතුය.

එදවසදී තමන් දුටු මතින් හිස් ලූ - ලූ අත දිව ගොස් සැඟවෙන මනුසතුන් අද තමන් වට කර ගෙන සිටිනු ඌ සිහිනයක් හා සමාන වූ දසුනින් නිරීක්ෂණය කරමින් සිටියි. මරණය හා පොර බදින මේ සද්දන්තයා එම තත්වයට පත් කරලීමෙහි ලා මිනිසුන් වගකිව යුතුය යන්න අද වනවිට සක්සුදක් සේ පැහැදිලිය. ලංකාව පුරා ව්‍යාප්තව ඇති කුණු කසළ ඉවත ලන ස්ථාන යනු වන අලි පහසුවෙන් නැරැඹිය හැකි ස්ථාන වශයෙන් වර්තමානයේ ප්‍රසිද්ධියට පත් වී හමාරය. එවැනි ස්ථානවලදී ඕනෑම වේලාවක වන අලි රංචු වශයෙන් ගැවසෙනු නිරීක්ෂණය කළ හැකිය. මනම්පිටිය ප්‍රදේශය අවට විසිරී පැතිරී ඇති කුණු කසළ බැහැර කරන ස්ථානයක් වශයෙන් ප්‍රකට නෙළුම්විල කුණු ගොඩ අද මේ සද්දන්තයාගේ සූසාන බිම බවට පත් වී හමාරය. මීට පෙරද මෙවැනිම වූ වන අලින් අට දෙනෙකු ඉකුත් වසර පහක කාලයකදී අවසන් ගමන් යැවීමේලා හේතු වූයේ පොලිතින් ඝන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමය. නෙළුම්විල කසළ ගොඩට දිනකට කුණු කිලෝ ග්‍රෑම් 12,000 කට ආසන්න ප්‍රමාණයක් ඒකරාශී වේ. ඉවත ලූ කෘත්‍රිම ආහාර වර්ග, කුණු වු පලතුරු - එළවලු හා පොලිතින් උර පිටින් ගිල දැමීමට දෛනිකව එහි පැමිණෙන වන අලි පුරුදුව සිටිති. මෙම ස්ථානය විදුලි වැටක් මගින් ආවරණය කර තිබුණද එම විදුලි වැටටද බාධක දමමින් කඩා බිඳ දමා කුණු වළේ රස බැලීමට වන අලි රංචු නිරන්තරයෙන් හුරුවී සිටිති. ඉකුත් ජනවාරී මස 29 වැනි දින සිට මේ දක්වාම මේ සද්දන්තයා ජිවිතයත් - මරණයත් අතර වූ සටනකට එළැඹ සිටින්නේ මේ කුණු ගොඩේ ආදීනව නිසාය.

මඳක් සිතන්න .... ,

මහා වනපෙත තිඹිරි ගෙය කොට උපන් වන අලි ඇත්තු..., ඉන් මොබ පිහිටි ගම්මානයක් සමීපයේදී වගා ළිඳක වැටී අවසන් ගමන් යෑම, වෙඩි උණ්ඩයකට ගොදුරු වීම, විදුලි සැර වැදී මිය යෑම, හක්කපටස් හෝ වස මිශ්‍ර වු ආහාරයන් ගොදුරු කොට ගෙන දස වද හා පීඩා විඳ මිය යෑම වැනි දේ අපට ඒත්තු ගන්වන්නේ කුමක්ද? එ දවසදී මිනිස් පිය සටහනින් අපවිත්‍ර නොවූ වනපෙත් මෙ දවස වන විටදී පමණ ඉක්මවමින් මිනිස් පයේ පහස ලැබීමේ පාපයද? ඒ සඳහා නිසි පිළිතුරක් සොයා ගන්නා තෙක් එම ප්‍රශ්නයේ අතුරු ඵලයන් වශයෙන් මෙවන් වන අලින් කොපමණ සංඛ්‍යාවකට අකල් මරණ හිමිවී අකාලයේ මියැදෙන්නට වේද යන්න ප්‍රශ්නයකි. වන අලින්ගේ අකල් මරණයන්ට අලුතින් එක් වූ හේතු කාරකයක් වන්නේ පොලිතින්ය. ඉකුත් වසර හතර ඇතුළතදී පමණක් පොලිතින් ආහාරයට ගැනීමෙන් පොළොන්නරුව සහ ත්‍රීකුණාමලය වනජිවී කලාප ආශ්‍රිතව පමණක් වන අලින් 15 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූහ.

ලොව පුරා තර්ජනයට ලක්වු සත්ත්ව හා ශාක විශේෂයන්හි ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳ සම්මුතියට අනුව ආසියාතික වන අලින් ආරක්ෂා කළ යුතු සත්ව ලේඛනයේ පළමු වන ලැයිස්තුවට ඇතුළත් කර ඇත. එනම් වන අලියා යනු ස්වකීය පරම ආයුෂ බුක්ති විඳීමට පළමු අකාලයේ ජිවිතයෙන් සමු ගැනීමේ තත්වයට දැඩි ලෙස මුහුණ දී සිටින සත්ව වි‍ශේෂයක් වීමය. සොබාවික මරණයන්ට සාපේක්ෂව ගත් කල බොහොමයක් වන අලින් මිය යන්නේ නියමිත ආයු කාලය බුක්ති විඳීමටත් පෙරය. අලි මරණ වාර්තාවට අනුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 – 35 ත් අතර වන වයස් සීමාවේ පසු වන තනි පිරිමි අලින්වේ.

මනම්පිටිය නොළුම්විල කසළ ගොඩ අසල මඩ වළක වැටී සිටිමින් හමු වූ වයස අවුරුදු 35 ක් පමණ වන මේ පිරිමි වන අලියා සුවපත් කිරීම සඳහා දිවා රාත්‍රි වෙහෙසුණු ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය බාර වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා, වනජීවී පශු වෛද්‍ය සමීර කළිගුආරච්චි මහතා, ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට අනුයුක්ත වනජීවී නිලධාරීන් මෙන්ම පොලොන්නරු වනජීවී කලාපයට අනුයුක්ත වනජීවී නිලධාරීහූ දිවා රාත්‍රි මෙම අසරණ සත්වයා ළග රැඳෙමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙති. ඔවුහූ එය සිය රාජකාරියට වඩා එහා ගිය වගකීමක් ලෙස සලකා කටයුතු කරති. ඒ අතර වාරයේ පරිසරයේ පවතින උණුසුම් තත්ත්වය යම්තාක් දුරකට හෝ සමනය කිරීම සඳහා වන අලියා ආවරණය කර දිනකට ජලය ලීටර් 8000 ක් පමණ වරින් වර බවුසර් මගින් අලියාට ඉසීම සිදු කෙරිණි. පලතුරු වැනි දිරවීමට පහසු සියුම් ආහාර වර්ග ද ලබා දේ.

“මේ අලියා රෝගාතුර වෙලා මඩ වතුර පිරුණු වළක වැතිර ගෙනයි හිටියේ. ඒ නිසා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම ස්ථානයෙන් අලියා ඉවත් කර මේ දක්වාම අපි නිරන්තරවම මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලනවා. මෙයා හිටියේ හරිම අමාරු අඩියක. ආහාර ගන්නවත් බැරිවයි හිටියේ. මෙයාගේ බහිශ්‍රාවීය මාර්ගයේ පිරුණු පොලිතීන් කිලෝ 15 වකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළා. අලියාගේ බහිශ්‍රාවීය කටයුතු පහසු කරවීමට ජලය සමග පොල් තෙල් මිශ්‍ර කර වස්තියක් ද සිදු කළා” වන ජීවී පශු වෛද්‍ය සමීර කළිගුආරච්චි මහතා පවසයි.

“මීට මාස එකහමාරකට ආසන්න කාලයක් ඇතුළතදීත් මේ අලියා වැටිලා ඉන්න ස්ථානයට මිටර් 300 ක් එහායින් පොලිතීන් දිරවීමට නොහැකිව වන අලියෙක් මිය ගියා. මේ අලියාට අවශ්‍ය පරිදි අපි දිනකට සේලයින් බෝතල් 40 කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. මේ වෙන කොට නම් අලියාගේ බහිශ්‍රාවීය කටයුතු නිසි පරිදි සිදු වුණත් මල ලේ සමග මිශ්‍ර වෙලා තමයි පිට වෙන්නේ. අපි හිතන විදිහට මේ තත්වයට පත් වුණු අනෙක් වන අලින් පිළිබදවත් සැලකිල්ලට ගෙන කියන්න තියෙන්නේ අලියගේ බඩ වැල් ආශ්‍රිතව යම් ආසාදන තත්ත්වයක් තුවාල වීමක් වී ඇති බවට අනුමාන කළ හැකියි. ඒ කියන්නේ මේ කුණු ගොඩට ඇතැම් විට ඉවතලන පරණ ආහාර ද්‍රව්‍ය පුරවපු පොලිතින් මලු පිටින් තමයි බැහැර කරන්නේ. එවැනි උර පිටින් තමයි අලි ආහාරයට ගන්නේ. එතකොට වෙන්නේ පරණ ආහාර වර්ග පොලිතින් පිටින් කුසෙහි නොදිරවා තියෙද්දි අහිතකර බැක්ටීරියා විෂ ද්‍රව්‍ය ඇති වෙලා බඩ වැල් තුවාල වීමයි. මෙවැනි තත්වයට පත් වුණු සත්වයෙකුගේ මරණය සිදු වෙන්නේ මහත් ශෝචනීය ආකාරයටයි. එහි උදාහරණයක් තමයි මේ අපේ ඇස් අබිමුව දින ගණනක් තිස්සේ මරණයත් සමග පොර බදින්නේ” යැයි ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය බාර වන ජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා අප හා පැවසුවේය.

ආසියාතික රටවල් අතරින් යහපත් අලි ගහනයක් සිටින රටක් ලෙස ලාංකික අපි සැවොම ආඩම්බර විය යුතු වෙමු. අවසන් වරට එනම් වර්ෂ 2011 පැවැති වන අලි සංගණනයට අනුව මුළු දිවයිනේම වනඅලි ගහනය5879 ක් වශයෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාවෙන් 3285 ක් වැඩි විය නියෝජනය කරන අතර ඉන් 122 ක්ම නියෝජනය කරනුයේ දළ ඇතුන්ය. තරුණ අලි සංඛ්‍යාව 1487 කි. සමස්ත වන අලි ගහනයෙන් 1107 ක් කුඩා අවදියේ පසු වීම ( පැටවුන් 731 සහ ළදරුම අවදියේ පැටවුන් 376 ක් ඇතුළත්ව ) වන අලි පරපුරේ අනාගත පැවැත්මේ යහපත් පාර්ශවය නියෝජනය කිරීම සැබැවින්ම සතුටට කරුණකි. එම සංගණනයෙන් වසර 05 කට ආසන්න කාල පරාසයක් ගෙවී ගොස් හමාරය. එනමුත් ඈත අතීතයේ සිට අද දක්වා වූ පාරිසරික වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප ගේ අලි සම්පත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරීම අත්‍යවශ්‍යය. වනජිවී රක්ෂිත ප්‍රදේශයන් මෙන්ම ඉන්පරිබාහිරව ද වන අලි ඇතුන් විශාල වශයෙන් ගැවසීම වූ කලී අලි - මිනිස් ගැටුමේ ක්‍රමානුකූල වර්ධනයකට බලපා ඇත. ඉකුත්ව ගිය වසර තුළදී පමණක් වන අලි - මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 270 ක් මිය ගොස් ඇත. එම වන අලි මරණ සංඛ්‍යාව 2015 වසරට සාපේක්ෂව ගත් කළ ඉහළ අගයකි. එසේම වන අලි 270 ක් මිය යන විට මිනිස් ජිවිත 68 ක්ද අහිමි වී ඇති බවද කනගාටුවෙන් නමුදු සිහිපත් කළ යුතුව ඇත.

සේයා රූ - වනජීවී පශු වෛද්‍ය සමීර කළිගු ආරච්චි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.