නිදහස් අහස විසිතුරු කළ හම්බාවා පිම්ම

පහළ සිට දකින විට පෙනෙන නොපෙනෙන තිතක් බඳු එම්. අයි. 17 හෙලිකොප්ටර් ගුවන් යානයෙන් නික්මුණු පිරිසක් ගුවන් යානයක් සේම මීටර් ගණනක් ඈතට පියාසර කරමින් විස්මිත පැරෂුට් පිම්මක් පනිද්දි තවත් පිරිසක් යානයෙන් නික්මුණු සැණින් පැරෂුට්ය දිගහැර පොකුරක් සේ එක්ව රටා මවමින් පසුව ඉණිමඟක ආකාරයෙන් එකා පසුපස එකා පොළෝ තලයට ඇදී ආහ. එවන් ත්‍රාසය දනවන මනරම් දර්ශනයක් අප දැක ගත්තේ මෙදා 69 වැනි නිදහස් දිනයට සමගාමීව ගාලු මුවදොර පිටියේ පැවැති අලංකාරවත් පැරෂුට් සංදර්ශනයේදීය. 

ඉතිහාසයේ වැඩිම පැරෂුට් සාමාජිකයන් පිරිසක් එක්වූ මෙවර පැරෂුට් සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අමතරව ප්‍රථම වරට පොලිස් දෙපාර්තමේන්තුවද නියෝජනය කරමින් සාමාජිකයකු ද එක්වීම පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම පැරෂුට් ඉතිහාසයේ ද විශේෂත්වයකි. එදින 34 දෙනෙකුගෙන් යුත් පැරෂුට් සංදර්ශනයේ දී යුද හමුදා සාමාජිකයන් ඉදිරිපත් කළ විස්මිත පෙළහර කාගේත් කතාබහට ලක්වූවකි.

මේ සංදර්ශ‍න‍යේ දී ගුවන් යානයක් සේ ඉදිරියට පාව යමින් ඉදිරිපත් කළ ‘හම්බාවා’ පිම්ම හෙවත් වින්ෂූට් (wingsuit) පිම්ම සඳහා හමුදා සාමාජකයෝ සිවු දෙනෙක් සහභාගි වූහ. ඒ ඉතිහාසගත පිම්ම සඳහා දායක වූ කණ්ඩායමේ සාමාජිකයකු වූයේ යුද හමුදා විශේෂ බළකායේ මේජර් සම්පත් පුෂ්පකුමාරය.

“මෙදා තමයි වින්ෂූට් පිම්ම ලංකාවේදී ප්‍රථම වරට ඉදිරිපත් කළේ. ඊට මා සමඟ මාණ්ඩලික සැරයන් රණවීර, මාණ්ඩලික සැරයන් ධම්මික සහ කාන්තා සෙබළ කෝප්‍රල් කුමාරි එක්වුණා. මේ පිම්මෙදි වෙන්නෙ ගුවන් යානයෙන් නික්මිලා මීටර් ගණනාවක් ඈතට පියාසර කර පැරෂුටය දිගහැර ගැනීමක්. ඒ සඳහා මනා පුහුණුවක් සහ සිරුරේ සමබරතාව ඉතාම අවශ්‍යයි. ඒ වගේමයි මේ සඳහා පලඳින විශේෂිත ඇඳුම. ඒක සාමාන්‍යයෙන් හම්බාවාගේ හැඩැති ඇඳුමක්. මේ පිම්මට ඒ නම වැටී ඇත්තේත් ඒ ඇඳුම නිසයි”යැයි පැවසූ මේජර් සම්පත් පසුගිය ජනවාරියේදී ඩුබායිහි ස්කයිඩයිව් විශ්වවිද්‍යාලයට ගොස් මෙවන් ත්‍රාසජනක පිම්මක් පැනීමට ඉතාම කෙටි කලකදී පුහුණුවක් ලැබූ බව ද පැවැසීය.

අඩි දසදහසක් පමණ ඉහළදී පැයට කි. මී. 140 - 150ක් වැනි වේගයෙන් ඇදී යන ගුවන් යානයෙන් නික්මී එවන් පෙළහර පෑ කාන්තා සෙබළිය වූයේ කෝප්‍රල් කුමාරිය.

“මෙවැනි පිම්මක් පැන්න ලංකාවේ පළමු කාන්තාව වීම ගැන සතුටක් වගේම පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා. එදා ගෝල්ෆේස් පිට්ටනියට පා තැබු මොහොතේ මට හිතාගන්න බැරිවුණා ‍එහෙම පිම්මක් පැන්නද කියලා. මම කාන්තාවක් වුණත් අපේ අනෙක් සාමාජිකයන් උපරිම සහායක් දෙනවා මෙවැනි අති භයානක පිමි පනින්න.

රිහසල්වලදී සුළ‍ඟේ දිසාව එක්වරම වෙනස් වුණ හින්දා නොසිතූ තැනකට පතිත වීමෙන් පොඩි කරදරයකට මුහුණ දුන්නත්, නිදහස් දා දැඩි අධිෂ්ඨාන කරගත්තා සාර්ථක පිම්මක් පනින්න. ඒත් අපේ උපදේශකයෝ, සර්ලා හැමෝම කිව්වේ අපි ඉතාම අවදානම් පිම්මක් පැන්නෙ කියල. මට මෙවන් පිමි පනින්න උදවු උපකාර කළ සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.”

එසේ පවසන කුමාරි ගැන අපට වාර්තා වූයේ ඩුබායිහි දී හම්බාවා පුහුණුවේ දී ලංකාවෙන් ගිය අටදෙනාගෙන් සෑම දෙයින්ම හොඳම පැරෂුට් පනින්නා ලෙස ඇය බුහුමන් ලැබූ බවයි.

මෙවර ගාලු මුවදොර පිටිය ඉහළ අහසේ යානයෙන් නික්මුණු සැණින් පොකුරක් සේ රූ රටා මවමින් ඉණිමඟක ආකාරයෙන් පොළොවට පතිත වූ පැරෂුට් පිම්ම අති භයානකම පැරෂුට් පිම්ම ලෙස සැලැකේ. පොකුරු පිම්ම ලෙසින් හඳුන්වන එ් සඳහා කොමාන්ඩෝ විරුවන් සත්දෙනකු ඉදිරිපත් වීමට සිටියත් අවසානයේ විරුවන් හතර දෙනකු විසින් අලංකාර ලෙස ඉදිරිපත් කෙරුණු අයුරු දැකගන්න ලැබිණි.

හතරවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සුමාල් වික්‍රමසේකර, මේජර් නලින් කුලතුංග, කෝප්‍රල් බස්නායක හා කෝප්‍රල් ප්‍රේමලාල් ඉදිරිපත් කළ පොකුරු පිම්ම ගැන කර්නල් සුමාල් මෙසේ පැවැසීය.

මේ පිම්ම පැරෂුට් පිමිවල තිබෙන භයානකම පිම්ම. අඩි දසදහසක් පමණ ඉහළදී ගුවන් යානයෙන් නික්මුණු සැණින් පැරෂුටය දිගහැර පොකුරක් ලෙස එක්වී රටා මැවීම ඉතාම අවදානම් කාර්යයක්. සමහර වෙලාවට පැරෂුට් එකිනෙක පැටලෙනවා. අතපයේ එතෙනවා. අඩි දහදාහක් වගේ උඩදී පුදුම සුළඟක් තියෙන්නෙ. පැටෂුටයත් සමඟ සුළඟ පාලනය කරනවා කියන්නෙ ඉතාම අපහසු කාර්යයක්. අනෙකාගේ පැරෂුටය අල්ලන්න ගියාම සමහර වෙලාවට ඉරෙනවා. එහෙම දෙයක් අපේ කෙනෙකුට මෙදා වුණා. ඔහු පස්සෙ පොකුරෙන් මිදිලා ඉතාම සීරුවෙන් පොළොවට පතිත වුණා.”

එසේ පවසන සුමාල් මෙවැනි පොකුරු පිම්මක් ඉදිරිපත් කළේ 1992 නිදහස් උලෙළ සංදර්ශනයෙන් අනතුරුව වීම ද විශේෂත්වයකි. පසුගිය ඔක්තෝබරයේ බ්‍රිතාන්‍යය යුද හමුදා පැරෂුට් සංගමය මඟින් වැඩිදුර පුහුණුව ලැබීමෙන් අනතුරුව සුමාල් ඇතුළු පිරිස එවැනි අවදානම් සහගත පිම්මක් ඉතාම සාර්ථකව මෙවර සංදර්ශනයේදී ඉදිරිපත් කෙරිණි.

“අපි හතරදෙනා පොකුරක් ලෙස රටා මවලා පස්සෙ ඉණිමඟක ආකාරයෙන් පහළට පැමිණියා. ඉණිමඟක් ලෙස පහළට එන විට ඉහළ සිටින කෙනා පහළ කෙනාගේ පැරෂුටය මත ඉඳගෙනයි එන්නෙ. උඩම කෙනායි පහළ සිටින සියලු දෙනා පාලනය කරන්නෙ. ඒ දේ කළේ තමා”යැයි පවසන කර්නල්වරයා අඩි දසදහසක් වැනි ඉතාම ඉහළ උසක සිට ගාලු මුවදොර වැනි සාගරය ආසන්න ස්ථානයකට පතිත වීම අපහසු කාර්යයක් බව ද පැවැසීය.

අඩි දසදහසක් පමණ ඉහළ අහසේ සිට මෙවන් පිමි පනිමින් දස්කම්-විස්කම් පෑ විරුවන් වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කරන කෙනෙක් ද සිටී. ඒ ත්‍රිවිධ හමුදාව සතුව දැනට සිටින අත්දැකීම් බහුල පරිණතම පැරෂුට් සූරයා වන විශේෂ බළකා මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතාය. 1992 නිදහස් උලෙළේදී මුල්ම පොකුරු පැරෂුට් සංදර්ශනය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් කෙනකු වූ ධර්මරත්න මහතා මෙවර ජාතික කොඩිය රැගෙන ගාලු මුවදොර පිටියට පතිත වූයේ අවුරුදු 25කට පසුව එවන් පිම්මක් පනිමිනි.

“ඇත්තෙන්ම මට හරිම සතුටුයි අපේ ළමයි ටික ගැන. ඔවුන් කළේ ඉතාම අවදානම් වැඩක්. සාමාන්‍යයෙන් හම්බාවා, පොකුරු පිමි පනින්නෙ නිදහස්ආර පිමි හත්අටසීයක් පැනපු අය. ඒත් අපේ සමහරු තවම පිමි දෙසීයක්වත් පැනලා නෑ. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. මටත් දැන් අවුරුදු 52ක්. මම මේ සැරේ පැන්නේ අවුරුදු 25කට පස්සෙ. පොකුරු පැනිල්ලට එකතු වෙන්නයි හිටියේ. ඒත් මගෙ වයසත් එක්ක හමුදාපති තුමා‍ගේ විශේෂ ඉල්ලීම මත ජාතික ධජය රැගෙන නිදහස්ආර පිම්ම පැන්නා.” එසේ පවසන මේජර් ජෙනරල් ධර්මරත්න යුද හමුදා පැරෂුට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතාගෙන් ලැබෙන සහාය ද ගෞරවයෙන් සිහිපත් කළේය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් එන්. ජී. චන්ද්‍රසේන මහතා තමාගේ පෞද්ගලික ධනයෙන් ඇමෙරිකාවෙන් උගෙන ලංකාවේ ස්ථාපිත කළ පැරෂුට් ක්‍රීඩාවෙන් මෙරට විරුවන් වර්තමානය වන විට කෙතරම් දියුණුවක් ලබා ඇත්ද යන්න මෙවන් පැරෂුට් පිමිවලින් මනාව පිළිබිඹු වේ. එය පැරෂුට් සූරයන්ට මෙන්ම රටට ද මහත් ආඩම්බරයකි.

විශේෂ ස්තුතිය -

ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්.


 ආවා පැන්නා ගියා

69 වැනි නිදහස් උලෙළ වර්ණවත් කළ 34 දෙනකුගෙන් යුත් පැරෂුට් සූරයන් අතර තවත් සුවිශේෂ චරිතයක් ද ඉස්මතු විය. වසර 150ක් සපිරෙන මෙරට පොලිස් සේවයේ ප්‍රථම වරට නිදහස්ආර පැරෂුට් පිම්මක් පනිමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය ආටිගල ඉතිහාසගත විය.

මෙතෙක් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් පෑ එවන් පෙළහර වෙනුවෙන් එක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආටිගල පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරන්නෙකි. 1997 වර්ෂයේදී ආධුනික උපපොලිස් පරීක්ෂකයකු ලෙස බුලත්සිංහල ප්‍රදේශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ ඔහු 2007 වසරේදී කටුනායක ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලෙන් මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව හදාරා ඇත. ඉන්පසු 2014 වර්ෂයේදී අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලෙන් නිදහස්ආර පැරෂුට් පුහුණුව හදාරා මෙවර නිදහස් දිනය වර්ණවත් කිරීමට එක් විය.

වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සුඩානයට ගොස් සිටින පොලිස් පරීක්ෂක ආටිගල මෙම ඓතිහාසික පිම්ම පැනීම සඳහාම ලංකාවට පැමිණියේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් ධජය රැගෙන පැරෂුට් පිම්මක් පනිමින් පොළෝ තලයට පතිත වීමට ඔහුට මෙවර නිදහස් දින පැරෂුට් සංදර්ශනයේදී වාසනාව සහ ශක්තිය ලැබිණ.

නිදහස් උලෙළ වර්ණවත් කළ සංදර්ශනය අවසන් වූ සැණින් නැවතත් සුඩානය බලා ගිය ආටිගල මහතා, තමාගේ නාමය පොලිස් ඉතිහාසයේ රන් අකුරින් ලිවීමට ධෛර්යය ශක්තිය දුන් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට මෙන්ම පැරෂුට්කරුවකු ලෙස ඉතිහාසගත වීමට මඟ පෙන්වූ විංග් කමාන්ඩර් හරිශ්චන්ද්‍ර හේරත් සහ බලගණ නායක සම්පත් ජයසුන්දර මහත්වරුන්ට ද ස්තූති කිරීමට අමතක නොකළේය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.