එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උ‍ෙලළ | සිළුමිණ

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උ‍ෙලළ

 ක්‍රි. පූ 3 වැනි සියවසේදි ලක්දිවට බුදුදහම පැමිණිමේ සිට වසර දෙදහසකට අධික කාලයක් මෙරට ස්ථාපිත වූ ථෙරවාදි බෞද්ධ දර්ශනය පිළිබඳ ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවට සුවිශේෂි පණිවිඩයක් ගෙන දෙමින් එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළෙල වඩාත් උත්කර්ශවත් හා ගාම්භීර අයුරින් එළඹෙන වෙසක් මස 12,13 හා 14 යන තෙදින ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවති. මෙය ලංකාවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවටද සිය ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරන්නකි.

එක්සත් ජාතීන්ගේ 14 වැනි නිල වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙම වෙසක් දින උළෙලේ ප්‍රධාන තේමාව වී ඇත්තේ “ සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්“ යන්නයි. මේ හරහා බෞද්ධ ඉගැන්වීම් තුළින් සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් තිරසාර ලෝක සාමයක් බිහිකර ගැනිමට බුදු දහමේ ඇති කැපවිම පිළිබඳ ලෝකයට පණිවිඩයක් ගෙන යාමටත්, ඒ සඳහා බෞද්ධ ප්‍රජාව උනන්දු කරවිමටත් අපේක්ෂිත ය. මෙවර වෙසක් දිනය මැයි මස 10 වැනිදාට යෙදෙන අතර ඊට දින දෙකකට පසු එනම් මැයි මස 12 වැනි දින මෙම උත්සව මාලාව ආරම්භ වීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය සඳහා ලොව රටවල් 17 ක රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇති අතර ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහභාගි වන බව දැනුම් දි ඇත. ඊට අමතරව ලෝකයේ රටවල් 85 ක නියෝජිතයින් රැසක් මෙම උළෙලට සහභාගි වීමට නියමිතව ඇත. මැයි මස 12 වැනි දින පෙරවරු 9 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර දියවන්නා වෙසක් කලාපයද මීට සමගාමීව විවෘත කෙරේ. පසුදින එනම් මැයි මස 13 වැනි දින පෙරවරු 9ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මෙහි බෞද්ධ ශාස්ත්‍රිය සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර සවස් භාගයේදි නෙළුම් පොකුණ රඟහලේදි සංස්කෘතික උළෙල පැවැත්වේ. මැයි මස 14 වැනි දින මෙහි සමාප්ති උත්සවය මහනුවර මහ මළුවේදි පැවැත්වෙයි. මෙදින විශේෂ දළඳා පෙරහරක්ද පැවැත්විමට සූදානම් ය. මෙම වෙසක් උළෙලට සමගාමිව බෞද්ධාලෝක මාවත, ගංගාරාම පාර මෙන්ම ලේක්හවුස් වටරවුම ආවරණය වන පරිදි වෙනදාට වඩා උත්කර්ෂවත් අනිදමින් වෙසක් කලාප පැවැත්විමට කටයුතු යොදා ඇත. එසේම මෙම සැරසිලි කොළඹ අවට ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරන අතර මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේද සහාය අපේක්ෂා කරයි.

මෙම වෙසක් දින උත්සව මාලාවට සමගාමීව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් කොළඹ, මහනුවර, සීගිරිය, අනුරාධපුර මෙන්ම පොලොන්නරු නගර ප්‍රධාන කරගෙන පැවැත්විමට බුද්ධ සාසන කටයුතු අමාත්‍යාංශය මෙන්ම සංචාරක අමාත්‍යාංශය සූදානම් ය.

කුල දරුවන් 500 ක් පැවිදි කරවිම හා ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සංයුක්ත තැටි වලට ඇතුළත් කිරීමට ද නියමිතය. රුපියල් මිලියන 500 ක වියදමින් පිළියන්දල කහපොළ වත්තේ ඉදිවෙන කාශ්‍යප රාජ්‍යධානියට සම්පූර්ණ වියදම් දරන්නේ පෞද්ගලික අංශයයි.

විද්‍යුත් පුස්තකාලයක්, දස දහසකට භාවනා පහසුකම් මෙන්ම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා නාළිකා කිහිපයක් ආරම්භ කිරිමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ කටයුතු සංවිධානය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් මඟින් සිදුකරන අතර සම්බන්ධීකරන කටයුතු සංවිධානය කිරිම සඳහා කොළඹ 7 විජේරාම මාවතේ වෙසක් දින සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවා ඇත. මේ සඳහා වූ මාධ්‍ය ප්‍රචාරක කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ. උත්සව කටයුතු ක්‍රියාවට නැංවිම සඳහා අනුකමිටු 11 පිහිටුවා ඇති අතර මෙදින වෙසක් පොහොය දා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කිරීමේ යෝජනාවද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි. එසේම මෙම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ වසරේ නොවැම්බර් 2 දා සිට 5 දා දක්වා බෞද්ධ නායකයන්ගේ සමුළුවක්ද ශ්‍රි ලංකාවේ පැවැත්විමට නියමිත අතර මේ සඳහා විදේශීය

නියෝජිතයෝ 3000 කට අධික පිරිසක් ද සහභාගි වෙති.

 

Comments