පොල් ඉල්ලුම සපුරන්න දෙමුහුන් පැළ | සිළුමිණ

පොල් ඉල්ලුම සපුරන්න දෙමුහුන් පැළ

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල

මේ දිනවල පොල් මිල වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්නයක් ඇති වී තිබෙන අතර ඉන් පාරිභෝගියෝ මහත් අපහසුවට පත්වී සිටිති. මේ සම්බන්ධව පොල්වගා කිරීමේ මණ්ඩලය රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න එහි සභාපති කපිල යකන්දාවල මහතා ගෙන් අදහස් විමසුවෙමි.

‘‘පොල් පලදාව ඉහළ නැංවිම සඳහා අපිත් මේ දිනවල කටයුතු රැසක් සූදානම් කරමින් පවතිනවා.

ඇතැම් පියවර දීර්ඝකාලීන පියවර. ඇතැම් ඒවා කෙටිකාලීනයි.

මේ අනුව මේ වනවිට පොල් වගා නොකළ එහෙත් වගා කිරීමට නුසුදුසු බිම් හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම තියෙන පලදාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ කාර්යයේ නිරත වී සිටිනවා. අපේ රටේ ලක්ෂ එකොළහක පොල් පලදාවක් තියෙනවා. අපට පුළුවන් නම් එක ගහකින් ගෙඩි තුනක් හෝ හතරක් ලබාගන්නා තත්ත්වයට ගෙන ඒමට, අපේ ඉලක්කය ඉතාමත් කෙටි කාලයකින් සපුරා ගැනීමේ හැකියාව තියෙනවා.

අනෙක් වැඩපිළිවෙළ තමයි පොල් වගා බිම හොඳ තෙතමනයකින් යුතුව පවත්වාගෙන යෑම මේ සඳහාත් අපි අවශ්‍ය ක්‍රමවේද සැලැසුම් කරනවා. පොල් වගා බිම හොඳ තෙතමනයකින් යුතුව පවත්වාගෙන යෑමට හැකියාව තියෙනවා නම් වගා බිමේ පොහොර රඳා පවතිනවා. මේ සඳහා වැඩසටහනක් අපි දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඒ වගේම පොල් ගසකින් උසස් පලදාවක් ලබාගැනීමට නම් ජානමය වශයෙන් උසස් දෙමුහුන් පොල් ප්‍රහේද ප්‍රචලිත කිරීම. දෙමුහුන් පොල් ප්‍රභේදය ප්‍රමාණයෙන් කුඩා නිසා ගෙවත්තේ නිසි ලෙස වගා කිරීමට හැකියාව තිබේ. මේ පොල් ප්‍රභේදයට මේ වනවිට අධික ඉල්ලුමක් ඇති තිබෙන ඉල්ලුම සපුරාලීමට නොහැකි වී තිබෙනවා. මේ වන විට පොල් පැළ නිෂ්පාදනය වෙන්නේ පොල් පැළ හැටදාහක් පමණයි. මේ පොල් පැළ නිෂ්පාදනය කිරීම දීර්ඝකාලින කාර්යයක්. දෙමුහුම් පොල් පැළයක් නිෂ්පදනය කිරීම අවුරුදු තුනක් තරම් කාලයක් ගත වේ. පොල් පැළ නිෂ්පාදනය කරන්නේ පොල් පර්යේෂණ ආයතනයයි. මේ ආකාරයට පොල් පැළ නිෂ්පාදනය කිරීමේදී ස්වාභාවික ක්‍රමයට පොල් පැළ නිෂ්පාදනය කිරීමට සහ කෘතිම ලෙස පැළ නිෂ්පාදනය කිරීම යන ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයකට පැළ නිෂ්පාදනය කළ හැකිය.

අත් පරාගනය මඟින් පොල් පැළ නිෂ්පාදන කරන්න පුළුවන්. මේ සඳහා කහ කුන්දිරා උස උස ප්‍රබේද සමඟින් ස්වාභාවිකව පරාගනය කිරීමට සිදු කරනවා. කහ කුන්දිරාවල පිරිමි මල් ඉවත් කළාට පසු ස්වාභාවිකව පරාගනය සිදුවෙනවා. මෙය දීර්ඝකාලීන ක්‍රියාවලියක්. අපි දැන් ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා කහ කුන්දිරා සිටුවලා අත්පරාගනය මඟින් දෙමුහුම් පැළ වර්ධනය කිරීමේ වැඩසටහනක්. මෙයින් සැලැසුම් සහගතව අවශ්‍ය පැළ වර්ධනය කරමින් යනවා. මේ වසරේ අක්කර තුන්සීයක පමණ කහ කුන්දිරා පැළ සිටුවලා ඒ මඟින් ද අත් පරාගනය සිදු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. අපි ස්ථාන කීපයක මේ ආකාරයට පොල් පැළ සිටුවාගෙන යනවා. උදාහරණ ලෙස උතුරු පොල් ත්‍රිකෝණයේ, මුලතිව් දිස්ත්‍රික්කයේ තේවී පුරම්වල අපි පැළ තවානක් පටන් ගත්තා. මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු ගම්මානයේ පොල් තවානක් ඉක්මනින්ම පටන් ගන්නවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඕමන්තෙ ප්‍රදේශයේත් කුඩා පරිමාණයේ පොල් උයනක් ආරම්භ කරනවා. ඒ වගේම ඩෙල්ෆ් දූපතේ මේවන විට අක්කර සීයයක ප්‍රදේශයක් පොල් වගාවට සුදුසු ලෙස හඳුනාගෙන තියෙනවා. ඩෙල්ෆ් දූපත පොල් වගා කළ හැකි ප්‍රදේශයක් බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයෙත් සුදුසු ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. මේ අනුව ඉදිරි අවුරුදු හය තුළ දී අපේ රටට අවශ්‍ය තරමට දෙමුහුන් පැළ ලබාදීමේ හැකියාවක් තියේවි කියලා අපි විශ්වාස කරනවා. මේ අනුව අපේ රටේ පොල් අවශ්‍යතාවයට විසඳුමක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ සීයයට අසූවකටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට පොල් පරිභෝජනය කරනවා. එහෙත් මීට අවශ්‍ය තරම් පොල් ප්‍රමාණයක් අපේ රටේ තිබේ ද යන්න ගැටලුවක් දැනටත් මතුවෙලා තියෙනවා. මේ ගැටලුව නිරාකරණය කරගන්නා ‍එක අපට ප්‍රශ්නයක්. එහෙත් සැලැසුම් සහගතව මේ තත්ත්වය නිරාකරණය කරගන්න පුළුවන්. අපි පරිභෝජනය කරන පොල් ඉතාමත් සුපරික්ෂාකාරීව පරිභෝජනයට ගන්නවා නම් දැනට නාස්ති වන පොල් ප්‍රමාණය අඩු කරගත හැකිය. ඇත්තට මේ දෙය කළ හැක්කේ ගෘහිණියන්ට පමණි. පරිභෝජනය කිරීමට ගනු ලබන පොල් ගලේ තියලා අඹරලා තලපයක් ආකාරයට සාදාගෙන පරිභෝජනය කිරීමට ගැනීම. නැතහොත් පොල් බ්ලෙන්ඩර් කරලා පරිභෝජනයට ගත හැකිය.

මේ ආකාරයට පොල් පරිභෝජනය නොකළහොත් පොල් ගෙඩියක් දෙකක් අපතේ යාමට හැකිය. පොල් වගාව සම්බන්ධයෙන් ඇති අනෙක් ගැටලුව තමයි පුහුණු ශ්‍රමිකයන් අඩුවීමයි. මේ සඳහාත් අපි විකල්ප ක්‍රම යොදාගෙන තියෙනවා. අපි ඉන්දියාවෙන් ගෙන්වලා තියෙනවා පොල් කඩන අලුත් වර්ගයේ මැෂින් එකක්. ඒ වගේ පොල් ලෙලි ගහන මැෂින් එකක්. මේ මැෂින් දෙකම අනාගතයේ දී වගාකරුවන්ට හඳුන්වා දෙනවා. ඇත්තටම මේ මැෂින් දෙකෙන්ම කෙරෙන්නේ පහසුවක්. පොල් වගාව සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳුවොත් පොල් ප්‍රශ්නයට විසඳුමක් වේවි. ''පොල් වගා කිරීමේ මණ්ඩලය සැලැසුම් කර ඇති සැලැසුම් ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ. මේ සියල්ල ක්‍රියාත්මක වුවහොත් පොල් අවශ්‍යතාවට විසඳුමක් ලැබෙනු ඇත.

Comments