බුද්ධික දමයන්ත හැම්ලට් ගෙනෙයි | සිළුමිණ

බුද්ධික දමයන්ත හැම්ලට් ගෙනෙයි

මංගල දර්ශනය මාර්තු 03-04

රාජ්‍ය සම්මාන දිනූ අධිපති‍යාගේ මරණ මංචකය, පාදඩයා, පළිඟු රෑන , දවස තාමත් ගෙවුන් නෑ, බන්සි මැරිලා නෑ, රැකවලා, මාස්ටර් හැරල්ඩ් , හෙටක් නැති රටක් වැනි වේදිකා නාට්‍ය විස්සකට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ බුද්ධික දමයන්ත ගේ නවතම නාට්‍ය නිර්මාණය වන හැම්ලට් හි මංගල දැක්ම මාර්තු මස 03 සහ 04 වැනිදා සවස 6.30 ට ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වීමට නියමිතය.

විලියම් ශේක්ෂ්පියර්ගේ Hamlet හි සිංහල පරිවර්ථනය ඇසුරින් නිර්මාණය වන හැම්ලට් සඳහා නව පරපුරේ දක්ෂතම රංගන ශිල්පීන් රැසක්ම දායක වෙති. තම නවතම නාට්‍ය නිර්මාණය පිළිබඳව බුද්ධික දමයන්ත අදහස් දැක්වූයේ මෙසේය.

“විලියම් ශේක්ශ්පියර් අතින් හැම්ලට් නාට්‍ය ලියවුණේ මීට අවුරුදු හාරසියයකට පමණ ඉස්සර. එයින් කියවෙන කතාව අදටත් වලංගුයි. බලය සහ බලය රැක ගැනීම සඳහා මිනිසා විසින් දරන්නා වූ වැර වෑයමත් එයින්ම අත්වන්නා වූ ඛේදජනක ඉරනමේ යථා ස්වරූපයත් මෙම නාට්‍ය යෙන් කදිමට නිරූපණය වෙනවා.

දියුණු නාට්‍ය සංස්කෘතියක් තිබෙන එංගලන්තය ඉන්දියාව වැනි රටවල ශේක්ෂ්පියර්ගේ Hamlet නාට්‍ය කලින් කලට නැවත නැවත නිෂ්පාදනය වුණා. Hamlet නිෂ්පාදනය කිරීම ලෝකයේ බොහෝ නාට්‍ය කරුවන් තුළ තිබෙන සිහිනයක් කිව්වොත් හරි. 1970 පටන් රජයේ විභාග වලටත් හැම්ලට් ඇතුලත් වෙලා තියෙනවා.

නමුත් මෑත යුගයේදී මෙම නාට්‍ය යේ නව නිෂ්පාදනයක් බිහිවුණේ නෑ. එම අඩුව පිරිමැසීමත් ‍එක් අරමුණක්. හැම්ලට් නිෂ්පාදනය කිරීම පහසු කටයුත්තක් වන්නේ නෑ. ඒ සඳහා විශාල නළු නිළි පිරිසක් යොදවා ගන්න ඕන. විශාල වියදමක් යනවා. තවමත් මේ නාට්‍ය සඳහා නිෂ්පාදකවරයෙක් සොයමිනුයි මම ඉන්නේ. ‍“

“විළියම් ශේ‍ක්ෂ්පියර් ගේ මුල් නිර්මාණය අපේ රටට ගැලපෙන් ආකාරයට සකසා ගන්න මම උත්සාහ ගත්තා. එහෙම නොවුනානම් මෙය අපේ ප්‍රේක්ෂකයින්ට තේරුම් ගන්න අපහසුයි.“

 

Comments