රූපවාහිනියේ සිර කරන ළමා ලෝකය | සිළුමිණ

රූපවාහිනියේ සිර කරන ළමා ලෝකය

 වර්තමානය වන විට බොහෝ දෙමාපියන් තම දෛනික කටයුතු කිරීමේදී දරුවන්ගෙන් වන බලපෑම අවම කරගැනීම සඳහා යොදන උපක්‍රමයක් ලෙස තම දරුවාට රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලබා දෙති. දරුවෝද කුඩා කාලයේ සිටම රූපවාහිනියට හුරු වෙති. එහෙත් ගොඩ්ලි පිලිප් වැනි අත්දැකීම් පූර්ණ ළමා වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ පවා මතය වන්නේ දරුවන් රූපවාහිනිය නැරඹීමේ දී දෙමාපියන්ගේ මැදිහත්වීම සහ අවධානය අනිවාර්ය බවයි.

දෙමාපියන් අද න්‍යෂ්ඨිත පවුලක් දක්වා හැකිලී පවතී. දරුවන් හුදෙකලා වී ඇත. දරුවාගේ සමීපතමයා බවට මව පියා පවා පරයා රූපවාහිනිය පැමිණ තිබේ. අද වන විට රූපවාහිනිය දරුවන් නිහඬ කොට ඔවුන්ට විවිධ දේ කියා දෙන සමීපතයෙකුගේ තත්ත්වයට පත්ව තිබේ. නමුත් දරුවාගේ ක්‍රියාකාරකම් මෙන්ම මනස ද හැඩගැස්වීමට රූපවාහිනියට නොහැකිය. බොහෝවිට පවුලේ ඥාතීන් සමඟ කටයුතු කරමින් ක්‍රියාකාරී දරුවෙකුගේ හැසිරීමට වඩා රූපවාහිනිය සමඟ කටයුතු කරන දරුවා බොහෝ විට මන්දෝත්සාහී බවක් දක්වනු දැකිය හැකිය.

දරුවාගේ වුවමනාවට රූපවාහිනී වැඩසටහන් තෝරා ගැනීමට නොව නිවැරදි තේරීමක් සහිතව රූපවාහිනී දර්ශන වෙත යොමු කිරීමට තරම් ඔබ ඔබේ දරුවා පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දරුවන්ට රූපවාහිනිය බලන්නට නිදහස දී ඔබ ඔබේ ලෝකයේ පසු වුවහොත් සිදු වන්නේ දරුවා පිළිබඳ ඔබ තැනූ ලෝකය ඔබේ දෙපාමුල ඇද වැටීමයි. දරුවා තනිව රූපවාහිනිය නැරඹීමේදී ඔබේ නිරීක්ෂණය අනිවාර්ය ය. මන්ද වැඩෙන දරුවා දකින දේහි වැරදි නිවැරදිතාව තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් නැති බැවිනි. දෙමාපිය මගපෙන්වීම අනිවාර්යය.

රූපවාහිනිය බොහෝ විට යථාර්ථය ඉක්මවූ අධි යථාර්ථයක් ප්‍රතිනිර්මාණය කරයි. එහිදී දේශීය සංස්කෘතිය පිළිබඳව අපේ සිරිත් විරිත් පිළිබඳව කුඩා කල සිටම දරුවා තුළ අවබෝධයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් අද රූපවාහිනියෙන් විකාශය වන්නේ ප්‍රචණ්ඩත්වය ලිංගිකත්වය ඇතුළත් දේ විනා දාරක මනෝ සංවර්වර්ධනය උදෙසා ඉවහල් වන දේ නොවේ. එවන් දේ තිබුණද ඒවා තෝරා දීම දෙමාපින් වෙතින් ගිලිහී යයි. ඔබේ දරුවාට රූපවාහිනියට අඩු කාලයකුත් දෙමාපියන් සමග කල් ගත කිරීමට වැඩි කාලයකුත් ලබා දෙන්න.

නිරීක්ෂණය යනු රූපවාහිනිය නරඹන දරුවා දෙස බලා සිටීම යැයි මම නොකියමි. නිරීක්ෂණය යනු දරුවා නරඹන වැඩසටහන් දෙස අවබෝධයෙන් බැලීමයි. එහිදී දෙමාපියන් වන ඔබට දරුවාගේ මනෝ වර්ධනයට අවශ්‍ය හා දරුවාගේ අවධානයෙන් ඉවත් කළ යුතු වැඩසටහන් කවරේද යන්න පිළිව අවබෝධය අත්‍යන්තයෙන් ම වැදගත් වේ.

ළමයින් වෙනුවෙන් වැඩසටහන් තේරීමේ දී ඉතා වැදගත් කාරණයක් වන්නේ ළමා මනස ප්‍රිය කරන එසේම දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය කරන යමක් ඒ තුළ පවතිනවාද යන්නයි. අධ්‍යාපනික කාරණා යන්නෙන් මා මෙහිදී අදහස් කරන්නේ පොත පතේ කරුණු පමණක්ම නොවේ. සමාජ දැනුම, රටේ, ලෝකයේ පවතින දේ පිළිබ අවබෝධය මෙන්ම සිරිත් විරිත් ගුණධර්ම ආදියයි. එමෙන්ම රූපවාහිනිය වෙත ලඟාවන දරුවන් දෙමාපිය අධීක්ෂණයකින් තොරව රූපවාහිනිය සමග සම්බන්ධ වන බොහෝ අවස්ථාවල දරුවන් තම වයසට අදාළ සීමාවන් බිඳ දමා ඉදිරියට යනු දැකිය හැකිය. එවිට දරුවන් ඒ කෙරෙහි ඇබ්බැහි වීමක් දක්නට හැකි අතර දරුවාගේ පන්තිකාමරයේ ඉගෙනුම් කටයුතුවලට ද මෙම තත්ත්වය සෘජු බලපෑම් ඇති කරයි. එහිදී බොහෝ විට පිරිමි දරුවෝ තමන් දුටු දේ අත්හදා බලන්නට පෙලඹෙති. ඒ හරහා දරුවන්ගේ මනෝ භාවයන් සම්පූර්ණයෙන් ම අකර්මණ්‍යව දරුවා සියල්ල රූපවාහිනිය හරහා ග්‍රහණයට උත්සුක වෙයි.

තවත් ප්‍රභලතම කාරණයක් වන්නේ දරුවන්ට දෙමාපියන් සමග ගත කිරීමට ඇති කාලය මින් ඇහිරී යෑමයි. මන්දයත් එහිදී දරුවන් පවුල සමග ඇති සබඳතා මගහරිමින් රූපවාහිනියට සමීප වන අතර ඔවුහු සමාජයෙන් ද ඈත්ව හුදෙකලා වෙති.

අතීතයේ දරුවන් පොත පත කියවීමට කාලයක් වෙන් කරගත් අතර කියවන ලද පොත් පත්තර හරහා ඔවුන් තම දැනුම යාවත්කාලීන කර ගත්හ. එහෙත් අද එබන්දක් සිදු නොවේ. දරුවන් පොත් පත්තර කියවීමට යෙදවූ කාලය සම්පූර්ණයෙන්ම රූපවාහිනිය වෙත යොදවා තිබේ. එබැවින් දරුවන් තුළ පවතින දැන්ම අවබෝධය වැනි කාරණාවල දුර්ලභ බවක් පවතී.

මෑත කාලීනව කරන ලද සමාජ පර්යේෂණයන් මගින් සොයාගෙන ඇත්තේ වයස මාස 10යේ පමණ සිට අවුරුදු 16 දක්වා වයසේ පසුවන දරුවන් තම ළමා කාලයෙන් අඩකට වඩා රූපවාහිනිය ඉදිරිපිට ගෙවා දමන බවයි. එකී හේතුව හේතුකොට ගෙන අද සිටින දරුවන් බොහෝ සෙයින් රූපවාහිනිය සමග ඒක පාර්ශ්වීය ගනුදෙනුවක් පවත්වාගෙන යති. දරුවන් රූපවාහිනියෙන් දකින දේ තර්ක කිරීමකින් තොරව තම ජීවිතවලට අවශෝෂණය කර ගැනීම තුළ ළමා කාලයට නොගැළපෙන හැසිරීම් ඇතිවන බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.

 

Comments