සිතුල්පව්වේ වාහනවලට අලි ගහනවද? | සිළුමිණ

සිතුල්පව්වේ වාහනවලට අලි ගහනවද?

අද මිහිපිට දැවැන්තයන් වන අලි ඇතුන් ගැන වසර ගණනාවක් මුළුල්ලේ අපි කොතෙකුත් දේ ලියා ඇත්තෙමු. වන ජීවි අධ්‍යක්ෂවරුන් වශයෙන් සිටි ලින් ද අල්විස්, ඩෙස්මන්ට් වයිට් ආදි අත්දැකීම් බහුල නිලධාරීන් සමඟ ද බොහෝ අවස්ථාවන්හිදී විශේෂාංග සඳහා කතිකා පැවැත්වුවද ඒ කිසිවකුත් නොකී අන්දමේ සිදුවීමක් ඉකුත් දා සිදු විය. ඒ තමන්ගේ දළයක සොඬ පටලවාගෙන දුක් විඳි දැවැන්තයකු ගැනය. සාමාන්‍යයෙන් ඇතකුගේ සොඬ තමන්ගේම දළයක පටලවා ගන්නා තොරතුරක් ලෝකයේ අලි සිටින ලංකා, ඉන්දියා, සුමාත්‍රා වැනි රටවල පවා අතිශය දුර්ලභය.

ඓතිහාසික පූජනීය සිතුල්පව්වට යන කැලෑ මාර්ගයේ දින ගණනාවක් කුසගින්නේ බෑඟිරි ගසමින් සිටි මේ දැවැන්තයා මිනිස් නෙතට හසු වුණේ අහම්බෙනි. වනජීවියට දැනුම් දී, ඇමතිතුමන්ගේ අවධානයට ද යොමු වූ මේ පුවතින් දැවැන්තයාට යළි පණ ලැබිණ. දැන් දැවැන්තයාගේ සොඬ දළයෙන් එළියට ගෙන ප්‍රතිකාර දී හමාරය. සමහර මාධ්‍ය මේ ඇතාට ‘නන්දිමිත්‍ර’ යැයි නම් තැබිණ. කුඩා කාලයේ සිට දඩබ්බරයකු නිසා ඒ නම තැබීයැයි කියැවිණ. එහෙත් අප දන්නා යාල - කටගමුව කැලෑවේ නන්දිමිත්‍ර නම් අලියකු සිටියේ නැත. සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ ද උන්වහන්සේ එහි වැඩ සිටි දිගු කාලය තුළ එවැනි අලියකු හෝ ඇතකු මෙහි නොසිටි බව වදාරති. කොහොම නමුත් මේ ඇතා වන්දනාවේ එන බැතිමතුනගේ වාහනවලට පහර දී අඩන්තේට්ටම් කරන ලදැයි ඇතැමෙක් කියති. සිතුල්පව්වේ නාහිමියන්ට මෙන්ම වනජීවියට ද අදාළ වනජීවි ඇමැතිතුමාට ද මේ පිළිබඳ යමක් කියන්නට තිබේ. අප කරන්නේ ඊට වේදිකාව තැබීම මිස හිණිමං තැබීමක් නොවේ.

අප මුලින්ම සම්බන්ධ කැරගත්තේ ඇතාගෙන් සොඬය එළියට ඇද ගැනීමට සම්බන්ධ වූ කටගමුව වන අඩවි ආරක්ෂක ජේ. ඩබ්ලිව්. ජයසේන මහතාය.

දළය තමාගේම සොඬයේ සිරගත් ඇතෙක් ගැන අපට මුලින්ම ආරංචිය දුන්නේ සිතුල්පව්ව අසලම ඇති හමුදා ඛණ්ඩයෙන්. අප කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වුණා.

ඇතා සොයා බලාගෙන යන විට එයා හිටියෙ සිතුල්පව්ව හා හීන්වැව අතර වන කොටසේ. ඒත් එයා හරිම බියකරුයි. ළංවෙන්න බෑ. ඒ නිසා රෑ වෙන්න ඇරලා සොඬය එළියට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න හිතුවා. මෙයා රෑ අටට විතර සිතුල්පව්ව රජමහා විහාරය ළඟට එන බව සතාගේ හැසිරීම නිරීක්ෂණය කළ කෙනෙක් කීවා. ඒ අනුව අපි රැකවල්ලා හිටියේ සිතුල්පව්ව විහාරය ළඟයි. රෑ 8ට විතර ඇති ඒ පැත්තට ආවා. ඒ වන විට යාල උද්‍යාන භාරකරුත් තවත් කීප දෙනකුත් පශු වෛද්‍ය ධර්මකීර්ති මහත්මයාත් අප කීප දෙනාත් හොඳ සූදානමින් උන්නෙ. ඇතා වට්ටන්නෙ නැතිව එයා හිටගෙන ඉන්දැද්දි ප්‍රතිකාරය කරන්න ඕනෑ. එහෙම නිර්වින්දන ක්‍රමයක් අප දැන් ක්‍රියාත්මක කරනවා කාලයක පටන්. ඩොක්ටර් ධර්මකීර්ති ඇතා බිම වට්ටවන්නෙ නැතිව නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන්න සූදානම් වුණා. පැය දෙකක පමණ උත්සාහයකින් සොඩය දළයෙන් එළියට ගත්තා. සතා දින දෙක තුනක් බඩගින්නේ හා පිපාසාවෙ හිටියේ. අර දළයෙන් කුණු ගඳ ගහන දියර වර්ගයක් වගේ ආවා. අපට හිතුණා මේ සතා මොන තරම් වේදනාවකින් ඉන්න ඇත්ද කියලා. ඊට පස්සෙ මෙයාගේ සොඬයෙ තුවාලයක් ඇති බව පෙනුණා. අපි ඒකටත් විටින් විට ප්‍රතිකාර කළා. මෙයා ඊට පස්සෙ වාහන 115කට විතර ගහලා. සිතුල්පව්වට එන බැතිමතුන්ගේ වාහනවලට මෙයා එන්නෙ කෑම හොයාගෙන. වීදුරු වහගෙන යන්නෙ නැතිව ඇරගෙන ගියොත් මෙයා මිනිසුන් ඇදලා අරන් මරන්නෙ නෑ. එහෙම මරනවානම් කොච්චරනම් දැන් මැරිලා ද? මෙයා පොලිසියෙන් චෙක් කරනවා වගේ කෑම හොයාගෙන සො‍ඬේ වාහනේ ජනේලයකින් ඇතුළට දානවා. කෑම තිබුණොත් ගන්නවා. නැත්නම් යන්න අරිනවා. කරදරයක් නෑ. දැන් සිතුල්පව්වට ඕනෑ තරම් බැතිමතුන් එනවා. ඔය කියන තරම් කරදරයක් එහේ වෙන්නෙ නෑ.

සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියන් මේ ගැන පවසන්නේ තවත් කතාවකි. උන්වහන්සේ පරිසර හිතකාමී, ගහකොළ සතා සීපාවාට පෙම් බඳින උත්තම ගණයේ යතිවරයකු බව මම පෞද්ගලිකව ද දනිමි.

නන්දිමිත්‍ර කියලා ඇතෙක් ගැනනම් මා දන්නේ නෑ. ගැමුණු කියලා ඇතෙක් විහාරස්ථානයට එනවා. එයා යාලෙ පැත්තෙ ඉන්නා ගැමුණු කියන දරුණු සතා නොවේ. මේ දෙන්නා දෙන්නෙක් බව කටගමුවේ වනජීවි නිලධාරීන් පවා දන්නවා. සමහර මාධ්‍යවලින් තොරතුරු විකෘති කරනවා. මෙයා දඩබ්බරයෙක් ලෙස පැටියා කාලෙ හිටියාලු. එයත් එක්ක තව කෙනෙක් හිටියාලු. හිටිගමන් නැතිවුණාලු. ආයිත් ආවලු. මේ කතා මහ බොරු. මාත් ඉන්නේ සිතුල්පව්වෙ. මං සතා සීපාවාට ආදරෙයි. මෑතක ඉඳලා වනජීවි දෙපාර්තමේන්තුව අපට අකටයුතුකම් කරනවා. දැන් සිතුල්පව්ව වනජීවියට කරදරයක් වෙලා. සිතුල්පව්වට එන්න බැතිමතුන්ට මාර්ග දෙකක් තියෙනවා. තිස්සමහාරාම යෝධකණ්ඩිය හරහා මාර්ගය. අනෙක කතරගම කටගමුව හරහා මාර්ගය.

මේ පාරවලින් හවස හයෙන් පස්සෙ එන බැතිමතුන්ට වනජීවි මුර කපොලුවලින් කියනවාලු, මේ වෙලාවෙ යන්න එපා. භයානක වනසතුන් ඉන්නවා. හරිම භයානකයි කියලා. සමහරු ඒ ඒ තැන්වල නවත්වා ගන්නවා. ඒකෙන් ඒ අයට වාසියි.

සිතුල්පව්වට අතීතයේ බැතිමතුන් ආවෙ ගොන් කරත්තවලින්. එතකොටත් අලි හිටියා. හුළුඅතු පත්තු කරගෙන මහ රාත්තිරියෙත් ආවා. මේ උතුම් පින්බිම වඳින්න එදා සිට මිනිස්සු ආවෙ එහෙමයි.

වනජීවිය හා ඇමැතිතුමා කියනවා මං පලතුරු දීලා අලි ඇතුන් පන්සලට ගෙන්වාගත්තා කියලා. ඒ විතරක් නොවේ, අලි වාහනවලට ගහලා... කෑම ඉල්ලනකොට මට දොස් කියනවා හාමුදුරුවො තමයි අලින්ට කන්න දීලා පුරුදු කළේ කියලා. අලි එහෙම ගහන්නෙ නෑ. ඌ කෑම තියෙනවාද කියලා සොඬ පොවලා බලනවා විතරයි. මං නෙවෙයි ඕක කළේ. ඈත පළාත්වලින් එන බැතිමතුන් අලියා හීලෑ බව තේරුණාම අලියත් එක්කම ‘සෙල්ෆි’ ගහන්න යනවා.

ඌ කරදරයක් නෑ කියලා තේරුම් ගත්තාම පලතුරු ආදිය දෙනවා. මගේ පන්සලට එන මනුසතාට විතරක් නොවේ සතා සීපාවාටත් මං ආදරෙයි. මේ කැලේ සත්තු මේ පින්බිමට ආදරෙයි. සමහර නිලධාරීන් එහෙම නෑ.

මං බුද්ධ පූජාව තියන්න යන විට මගේ ඉදිරියෙන් පළමුවෙන් යන්නෙ මුවා. ඊට පස්සෙ ගෝනා. ඊට පස්සෙ ඇතා යනවා. ඒක මහ පුදුම අවස්ථාවක්. සතුන්ට දෙන්න කියලා මට පලතුරු ගොඩාක් ලැබෙන්න මේ පන්සලේ දේවාලයක් නෑ. ඔය කතා වනජීවියෙන් හදපු ඒවා.

පසුගිය නියං කාලවල සතුන්ට කන්න දෙයක් මේ කැලේ නැතිවුණා. ඒක තේරුම් ගත් ලංකාවෙ හැම තැනම ඉන්නා පින්වතුන් යාල කැලේට ඇවිත් මේ සතුන්ට පලතුරු කොළ වර්ග ඒ වගේම වතුර දුන්නා. වනජීවිය එක වැවකට වතුර බවුසරයක් දැම්මෙ නෑ.

හැබැයි! වන ජීවිය කෝටි ගණන් මේ සත්තුන්ගෙන් හම්බු කරනවා. යුද හමුදාව ඉන්න කාලෙ යාලෙ තත්ත්වයත් හොඳයි. ඒ ගොල්ලො විනයගරුකයි. දැන් හමුදාව නැති නිසා අපරාධ වෙනවා. වටිනා ගස් කපලා පටවාගෙන ගියා. සතුන්ගේ ගාත් පණපිටින් කපාගෙන මස් කන්න අරගෙන ගියා.

ළඟකදී ඉඳලා සිතුල්පව්වෙ සැරිසරන ඇතෙක් වාහනවලට පහර දෙනවා. ඒ සතා කවරදාහරි මිනිහෙක් මැරුවොත් කවුද වගකීම ගන්නෙ. මං ඒ සතාව වෙනත් ජාතික උද්‍යානයකට ගෙන යන්න කියලා බලධාරීන්ට කීවා. ඒත් ඒ අය තඹ දොයිතුවකටවත් ඒක මායිම් කරන්නෙ නෑ. ඒත් මට ආරංචියි වනජීවියෙ එක මහත්මයෙක් මේ සතා වෙනත් තැනකට ගිහින් දමමු කියලා තියෙනවා. මේ අයට ඕනෑ මේ උතුම් පින්බිම ජනතාවගෙන් ඈත්කැර හුදෙකලා කරන්න ද? කැටපෝලයක්වත් නැතිව වන්දනාවෙ එන අයට මෙහි කරදරයක් නෑ.

බුත්තල හා උඩවලවේ පාර අයිනෙ ඉන්නා අලි එන වාහනවලින් කෑම ඉල්ලනවා. ඒකත් පුරුදු කළේ මම ද?

උන්වහන්සේ කතා කළේ දැඩි ආවේගයකිනි. අනතුරුව අපි වනජීවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇමතීමු. අප කතා කරන විට ද එතුමා සිටියේ කතරගමය.

සිතුල්පව්වෙ එවැනි ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒ සොඬ පටලවා ගත් ඇතාට ප්‍රතිකාර කරනවා. දැන් හොඳයි. මේ ඇතා වාහන එකසිය ගණනකට පහර දීලා තිබුණා. මෙයාව වෙන තැනකට ගෙන යන්න කියලා හාමුදුරුවො කීවාට එකපාරට එහෙම කරන්න බෑ. මේ හාමුදුරුවො සතා සීපාවාට ආදරය කරනවා. නියං කාලවලට සතුන්ට කෑම බීම සපයලත් තියෙනවා. පන්සලට ආවාම හාමුදුරුවො ඇතාට කන්න දෙනවා. මේක නිසයි ඇතා මේ හරියට පුරුදු වුණේ. මං නිලධාරීන් කණ්ඩායමක් යොදවා මේ පිළිබඳ සවිස්තරව තව හොයා බලනවා. අපට සේවකයන් හිඟයි. ඒ නිසා පාර අයිනේ සේවකයන් තියන්න බෑ. පාර වෙන් කරලා කම්බි ඇදීමේ ක්‍රමයක් ගැන කල්පනා කළා. පාර අයිනෙ ආරක්ෂකයො තියන්නත් කල්පනා කරනවා. දැන් නම් මිනිසුන් යනවා. ලොකු කරදරයක් නෑ.

කතරගම - බුත්තල ගල්ගේ මාර්ගයේ ද අලි දෙන්නෙක් මේ විදියට පාර හරහා සිටිති. ඔවුනට අල්ලස් වශයෙන් කුමන හෝ පලතුරක් දුන්නොත් ඔව්හු පාරෙන් ඉවත් වෙති. ඒ අලිත් කෑම ඉල්ලන්නට පුරුදු පුහුණු කළේ මේ හාමුදුරුවන්මදැයි අපට ද සිතේ. සිතුල්පව්ව මාර්ගයේත් බිහිවන්නේ එවැනි අල්ලස්කාර අලි ද? අලි ඔය කියන විදියට ගහනවානම් මිනිසුන් මරනවානම් සිතුල්පව්ව වන ගහණයට යටවී ගිය පින්බිමක් වී අවසානය.

සියඹලන්ගමුවේ (විශාල දළ යුග්මයක් තිබුණු) ඇතා මරා දැමුණේ ප්‍රමිතියෙන් තොර වාහනයක නැංවීමෙනි. ඌ මියැදි සිටි ආකාරය පෙන්වන ඡායාරූප පරිසරවේදීන් හැමගේ හදවත් තෙත් කළ අවස්ථාවකි.

කලකට පෙර මන්සුර් නම් කීර්තිමත් වනජීවි නිලධරයකු අලියකු විසින් මරා දැමිණ. මන්සුර් මියයන විට අලියාට නිර්වින්දන එන්නත විද හමාරය. ඌ නිර්වින්දනය වූයේ මන්සුර් බිමට තබා ඔළුවෙන් තළමිනි. සාමාන්‍යයෙන් අලියෙක් නිර්වින්දනය කැර පැයකින් පමණ නැවත සිහිගැන්විය යුතුය. එහෙත් මන්සුර්ගේ මරණයේ කටයුතු පැය විසිහතරක් ඇතුළත කරන්නට අනෙක් නිලධාරින් යුහුසුලු වූ බැවින් අලියාගේ සිහිගැන්වීම ගැන කිසිවෙක් නොසිතූහ. ඒ නිසා අලියා ද මියැදිණ. තවත් බොහෝ සතුන් වනජීවියේ නොසැලකිල්ල නිසා නැතිවී ගියේය.

ඊතලයක් වැදුණු විට ඊතලය ඉක්මනින් ඇද ප්‍රතිකාර කළ යුතුය. නැත්නම් ඊතලය ආ දිසාව සොය සොයා සිටීම නිවැරැදි විසඳුම නොවේ යැයි බුදුහු ද එක්තරා අවස්ථාවක දහම් කරුණක් මතු කිරීම සඳහා උපමාවකින් වදාළහ. දැන් සිදුවන්නේ ඊතලය ආ දිසාව සෙවීමකි. මේ ඇතා වහා එම ප්‍රදේශයෙන් ඉවත්කළ යුතුය. එය වනජීවියේ ප්‍රධානම කාර්යභාරයකි.

උපාලි සමරසිංහ
ඡායා - දුෂ්මන්ත මායාදුන්නෙ 

Comments