ආහාර රස කරන ආදරය - කරුණාව

 ප්‍රවීණ සූපවේදි පබිලිස් සිල්වා මහතාගේ අදහස් ඇසුරෙන් සැකසුණු විශේෂ ලිපියක් මෙවර පුවත්පතේ පළ වෙයි. වට්ටෝරුව හොඳ වුව ද යොදන තුනපහ මිරිස් ආදිය හරියට ම මුසු කළ ද ආදරය හා කරුණාව නැති ව පිසින ආහාර රස නැතැ යි එයින් කියවෙයි. මේ තවත් අයුරකින් පැවසෙන්නේ වැඩක සාර්ථක ප්‍රතිඵල එහි නිරත අයගේ සිත් පිරිසුදු වීම මත රඳා පවතින බව යි. නිශ්චිත කාරණය ගැන ම අවධානය යොමු කරනවා නම්: ආහාරය රස වීමට එය පිසින තැනත්තාගේ සිතේ සන්සුන් බව ද බලපායි. එසේ ම රස ආහාර ගැනීම ද පුද්ගලයාගේ හිතේ සන්සුන් බවට හේතු වෙයි. ආහාර රස නැති විට හිත අසතුටින් පිරෙන බැවිනි. ඒ අනුව ජන සමාජයේ සාමකාමි බවට ද ආදරය, කරුණාව මුසු කර පිසින ආහාර බලපායි. එකිනෙකාගේ සිත් සන්සුන් වන විට ජන සමාජය ද සාමකාමි වන බැවිනි. ඒ අනුව බලන කල ජාතික සංහිඳියාව කෙරෙහි ද ආහාර බලපායි. ජාතීන් අතර සංහිඳියාවට මුල පුරන්නේ හිතේ සංහිඳියාව බැවිනි.

කොළඹ ආක්‍රමණය කරමින් දැන් නිතර පැවත්වෙන විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ මඟින් කියාපාන්නේ ද සිත් නොසන්සුන් ව ඇති තරම යි. ඇතැම් විට ඍජු ව අදාළ නැති වීම නිසා ප්‍රශ්නය කොතරම් සුළු වුව ද ඒ සුළු දේ වෙනුවෙනුත් ප්‍රදර්ශනය කරන සිත්වල නොසන්සුන් බව නම් අතිවිශාල ය. ගැටලුව අපැහැදිලි තරමට ම මේ නොසන්සුන් බව ද පුළුල් ය. අවට ජනසමාජය ද නොසන්සුන් කරමින් පැතිරෙන මේ උද්ඝෝෂකයන්ගේ නොසන්සුන් බව කෙරෙහි ආහාර රස නැති වීමත් බලපානවා ද? ආහාර පිසින කලාව අලුත් පරපුර අතට නොගැනීමත් මේ කෙරෙහි හේතු විය හැකි යි. ලොව ප්‍රවණතා මඟින් පොලඹවන තරගය හමුවේ ජීවිතයට සතුට ගෙනෙන එවැනි කලාවන් මඟහැරෙනවා ඇත.

අනෙක් අතට කලාව දැන සිටියත් ආදරය, කරුණාව මුසු කරන විට පවා, ආහාර රස නැති වන හේතු යෙදේ. වගා බිමට, බෝගයට වස විස යෙදීම අහර රස සුන් වීමට බලපාන ප්‍රධාන හේතුවකි. වැඩි අස්වැන්නක් සඳහා ගොවිබිමට, වගාවට වස විස යෙදීමට පුරුදු වූයේ හැකි තරම් අත්පත් කර ගැනීමට පොලඹවන ලද තරගය විසිනි. මේ ගැන වටහා ගත හැකි පාඩමක් හෝ පාඨමාලාවක් හෝ විශ්වවිද්‍යාලය තෙක් ඇති අධ්‍යාපන මාවතේ නොතිබීමත් ශිෂ්‍ය උද්ඝෝෂණ මේ තරම් නොසන්සුන් වීමට හේතු වනවා විය හැකි යි. වෛද්‍යවරුන් වැනි විශ්වවිද්‍යාලයීය ජ්‍යේෂ්ඨයන් ශිෂ්‍ය උද්ඝෝෂණ උසිගන්වන්නේ ඔවුන් ද නොසන්සුන් ව සිටින නිසා වන අතර, රස ආහාර නොලැබීම ඒ නොසන්සුන් බවටත් හේතු වනවා ඇත.

ශිෂ්‍යයන් තම දේශපාලන අතකොළු බවට පත් කර ගන්නා දේශපාලකයන් පවසන්නේ උද්ඝෝෂණ නතර කරන්නට නම් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳා අවසන් කළ යුතු බව යි. පුද්ගලයා තුළ පහළ වන නොසන්සුන් බව මුළු මහත් ජන සමාජය ම නොසන්සුන් කරන්නට හේතු වනවා නම්, ආහාර රස නොවීම යන කාරණය ම පුද්ගලයා නොසන්සුන් කරන්නට බලපානවා නම්, උද්ඝෝෂණ යනු පුද්ගලයා හෝ ජන සමාජය හෝ නොසන්සුන් වීමේ ප්‍රතිඵලයක් නම්, මෙය ආණ්ඩුවට තනි ව විසඳිය හැකි කාරණයක් නො වේ. නොසන්සුන් බව පැන නඟින්නේ ආර්ථික අර්බුද හෝ රැකියා අර්බුද හෝ අධ්‍යාපන අර්බුද හෝ වෙන යම් එවැනි ගැටලුවක් මුල් කර ගෙන යැ යි පෙනී ගියත් ආදරය, කරුණාව අහිමි වීම ද ඒ කෙරෙහි බලපාන මූලික සාධකයක් බව පැහැදිලි යි.

රජයේ ඉදිරි සංවර්ධන දැක්මට අනුව 'තිරසර යුගයක - තෙවසර ඇරඹුම' මඟින් අරමුණු කෙරෙන්නේ ධරණීය සංවර්ධනයකි. සොබාදහම මිනිසාට රිසි ලෙස පාවිච්චි කරන්න ඇති දෙයක් නො ව, මිනිසා ද සොබාදහමේ අංශුවක් බව කල්පනා කරන්න එයින් අනුබල දෙයි. ආහාර රස කරනවා වෙනුවට විස කරන්නට හේතු වූ වස විස යෙදවුම් මිනිසා සොබාදහමට ඉහළින් බව අඟවන 'විද්‍යාව' විසින් සොයා දෙන ලදි. ඒ සමඟ ම සොබා දහමට දක්වන ආදරය, කරුණාව සෝදා පාළුවක හරින්නට ද අනුබල දෙන ලදි. එලෙස නොසන්සුන් වූ ජන සමාජය වස විස මුසු බෝගවලට කලක් තිස්සේ හුරු වීම නිසා ගත සිත මෙන් ම මහපොළොවත් පරිසරයත් ලෙඩට වැටිණි.

තමාගේ හිතට දැනෙන සන්සුන් බවට, එයින් අනෙකා කෙරෙහි ඇති වන ඉවසීම හා සාමකාමි බවට, එහි ප්‍රතිඵලය වන සමාජයේ සංහිඳියාවට අප ගන්නා ආහාරය ද බලපායි. ආහාර පිසීමේ දී ආදරය, කරුණාව අවශ්‍ය පරිදි ම ආහාරයේ රස ඉතිරි කර ගන්නට නම් වස විස නැති ගොවිබිමකින් නෙළා ගත් වගාවක් හෝ බෝගයක් හෝ අවශ්‍ය ම වේ. වස විස නොයොදා වගා කිරීම යනු අනෙක් අතින් මහ පොළොවට ආදරය කිරීමකි; සොබා දහමට ආදරය කරුණාව දැක්වීමකි. එතැනින් ආරම්භ කළ විට එකිනෙකාගේ හිත්වලට ද ආදරය, කරුණාව ගලයි. එවිට ආහාර රස වෙයි.

ආහාර නැති ව ජීවත් විය නොහැකි සේ ම, හිතේ සංහිඳියාව නැති ව ජීවත් වීම නොමැරී මිය යෑමට සමාන ය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.