අමෙරිකාවට අභියෝග කරන යුරෝපීය දුර පනින්නිය

යුගොස්ලාවියානු සමාජවාදී සමූහාණ්ඩුව මේ වන විට ලෝක සිතියම්වල දක්නට නොලැබෙන රාජ්‍යයකි. එය පැවතියේ 1945 වසරේ සිට 1992 දක්වාය. එවකට එය සමාජවාදී කඳවුරේ ප්‍රබලතම සාමාජිකයෙක් වූයේය.

අද වන විට යුගොස්ලාවියානු සමූහාණ්ඩුවට අයත්ව තිබූ ප්‍රදේශ ස්වාධීන රටවල් හතක් බවට පත් වී තිබේ. ඒ සර්බියාව, බොස්නියා හර්සගොවිනා, ක්‍රොයේෂියාව, කොසොවෝ, මැසිඩෝනියාව, මොන්ටෙනෙග්‍රෝ සහ ස්ලොවේනියාව ලෙසටයි.

මේ රටවල් අතරින් වඩාත් ප්‍රබලතම රට ලෙසට සැළකෙන්නේ සර්බියාවයි. එදා යුගොස්ලාවියාවේ මෙන්ම අද සර්බියාවේත් ජනප්‍රියතම කණ්ඩායම් ක්‍රීඩා බවට පත් වී තිබෙන්නේ පාපන්දු, පැසිපන්දු සහ වොලිබෝල් යන ක්‍රීඩාය. මීට අමතරව එදා මෙන්ම අදත් ටෙනිස් ක්‍රීඩාවට එහි අති විශාල ජනප්‍රියතාවයක් හිමි වී ඇත.

අනිවාර්යයෙන්ම එරටින් බිහි වී ලොව අතිශය ජනප්‍රිය ක්‍රීඩිකාවක් බවට පත්වූයේ හිටපු සුපිරිතම ටෙනිස් ශුරියක් වූ මොනිකා සෙලස්ය. 1973 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා උපත ලැබූ සෙලස් 1988 සිට 2008 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළාය. මින් 1988 සිට 1994 දක්වා ඇය නියෝජනය කළේ යුගොස්ලාවියාවයි. පසුව අමෙරිකාව නියෝජනය කරනු ලැබුවේ 1994 සිට 2008 වසර දක්වාය.

එම කාලය තුළදී සෙලස් කාන්තා ටෙනිස් සංගමයේ (ඩබ්. ටී. ඒ.) කේවල ශූරතා 53 ක්ම හිමිකර ගැනීමටත් සමත් වූවාය. ඊට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා නවයකි. එමෙන්ම ඇය ලොව අංක 01 ක්‍රීඩිකාවත් වූවාය. මීට අමතරව ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ද ඇය සතුය. 2009 වසරේදී සෙලස් ලොව ශ්‍රේෂ්ඨතම ටෙනිස් ශූරියන් අතරටත් තෝරා ගන්නා ලදී.

එදා යුගොස්ලාවියාව වෙනුවෙන් සෙලස් විසින් කරනු ලැබූ කාර්යභාරය මෙදා සර්බියාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් සිවු දෙනෙකු විසින් කේවල (තනි) ඉසව්වලින් කරනු ලබති. ඒ ටෙනිස් ක්‍රීඩාවෙන් සහ මලල ක්‍රීඩාවෙනි. ඔවුන් නම් ටෙනිස් ක්‍රීඩාවේ නොවැක් ජොකොවිච්, ඇනා ඉවානොවිච් සහ යෙලේනා යැන්කොවිච්ය. මලල ක්‍රීඩාවෙන් නම් ඉවානා ස්පැනොවිච්ය.

29 හැවිරිදි ජොකොවිච් කලක් ලොව අංක 01 සහ මේ වන විට අංක 02 ක්‍රීඩකයාය. හෙතෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 12 ක් සහ ඔලිම්පික් ලෝකඩ පදක්කමකත් හිමිකරුවෙකි.

29 හැවිරිදි ඇනා මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන තිබේ. 

ඇයත් කලක් ලොව අංක 01 ක්‍රීඩිකාව වූවාය. මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවක් සහ අනුශූරතා දෙකක් ද ඇය සතුය. 32 හැවිරිදි යැන්කොවිච් ද හිටපු අංක 01 ක්‍රීඩිකාවකි. ඇයට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අනු ශූරතාවයකි.

වත්මනදී සර්බියාවේ සුපිරිතම ක්‍රීඩකයා ජොකොවිච්ය. ඒ අයුරින්ම එරටේ සුපිරිතම ක්‍රීඩිකාව බවට පත් වී සිටින්නේ ඉවානා ස්පැනොවිච්ය.

ඇය මලල ක්‍රීඩිකාවකි. 26 හැවිරිදි ඉවානා මේ වන විට ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත් වී තිබෙන්නේ දුර පැනීම සඳහාය. මීට අමතරව කලාතුරකින් පැවැත්වෙන පංච ප්‍රයාමයටද දක්ෂය.

පසුගියදා සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ්හිදී පැවැති 2017 යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නැවත වතාවක් දුර පැනීම ජය ගනිමින් ඇය තම දක්ෂතා දැක්වූවාය.

ඇයගේ හැකියාව කෙතරම් ද යත් 2013 වසරේ සිට පිට පිට ප්‍රධාන මලල ක්‍රීඩා තරගාවලි නවයකදීම පදක්කම් හිමිකර ගැනීමට සමත් වීමම දැක්විය හැකිය.

1990 වසරේ මැයි මස 10 වැනිදා උපත ලැබූ ඉවානා අඩි 5 අඟල් නවයක් උසැතිය. ඇය මේ වනවිට ජාතික වාර්තා රැසකම හිමිකාරිනියකි. දුර පැනීමේදී ඇගේ හොඳම පුද්ගලික දක්ෂතා මෙසේය. එළිමහන් මීටර් 7.10 කි. ගෘහස්ථ මීටර් 7.24 කි.

ඉවානාගේ ජාත්‍යන්තර දස්කම් මෙසේය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2016 - ලෝකඩ, ලෝක ශූරතාවලිය 2013/15 - ලෝකඩ, ලෝක ගෘහස්ථ ශූරතාවලිය 14/16 - ලෝකඩ සහ රිදී, යුරෝපීය ශූරතාවලිය 14/16 - රිදී සහ රන්, යුරෝපීය ගෘහස්ථ ශූරතාවලිය 15/17 - රන්, ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල 2009 - ලෝකඩය.

මෙහිදී ඇය මෙම සියලුම දස්කම් දැක්වූයේ දුර පැනීමෙනි.

බොහෝ විට දැනට කාන්තා දුර පැනීමේදී සුපිරිතම දක්ෂතා දක්වන්නේ අමෙරිකානු ක්‍රීඩිකාවන්ය.

ඔවුනට අභියෝගයක් වන ප්‍රධානතම යුරෝපීය ක්‍රීඩිකාව බවටත් ඒ අනුව ඉවානා පත් වී සිටින්නීය.

ඉහත දස්කම් අතරින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් ඇය හිමිකර ගැනීම විශේෂත්වයකි. ඒ ඇයට පෙර අවසන් වරට සර්බියාව හෝ යුගොස්ලාවියාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් හිමිකර ගෙන තිබුණේ ඊට වසර හැටකට පමණ පෙර වීම නිසාය.

ඉවානාගේ මවුපියෝ වන්නේ ලියුබිසා සහ වෙස්නාය.

මින් මව ක්‍රීඩිකාවකි. ඉවානාගේ පෙම්වතා වන ව්ලැදිමිර් කුම්රිච් ශරීර යෝග්‍යතා පුහුණුකරුවෙකි. ඉවානා විලාසිතාවන්ටත් ප්‍රියකරන්නීය.

සර්බියාවේ සුපිරිතම සහ ජනප්‍රියතම ක්‍රීඩිකාව බවටත් ඉවානා මේ වන විට පත් වී සිටින්නීය. නොවැක් ජොකොවිච් මෙන්ම ඉවානා ස්පැනොවිච් ද ඉදිරියේදීත් තව තවත් ජයග්‍රහණ අත්කර ගනිමින් සර්බියාවට කීර්තියක් ලබා දෙනු ඇතැයි එරටේ ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තුවෙන් පසුවෙති.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.