ඉස්සදීන්ගෙන් ලාංකේය පාපන්දුවට ගෝල්ඩන් බූට් පහරක්

හුඟ දෙනෙක් මගේ නම ලියන්නේ කියන්නේ මොහොමඩ් ඉසදීන් හරි ඉසඩීන් හරි කියලා. හැබැයි මේක මොහොමඩ් ඉස්සදීන් කියලා ලියවෙනවා නම් හරි, කියනවා නම් හරි තමයි හරියට ම මගේ නම කියවෙන්නේ... ලියවෙන්නේ...

ඉස්සදීන් අපේ කතාබහට මුල පිරුවේ ඒ විදියට.

මොහොමඩ් ඉස්සදීන්, කුඩා කාලයේ පටන් දැනහැඳිනගත් ක්‍රීඩාව වූයේ පාපන්දුය. ක්‍රීඩාවක් විදියට තෝරා ගත් එකම දේත් පාපන්දුය.

මම ක්‍රීඩාවක් විදියට පටන් ගන්නේ අහළ පහළ යහළුවන් එක්ක බෝලයකට පයින් ගහලා. මේ බෝලය හරියටම පාපන්දුවක් කියන්නත් බෑ. ඒත් බෝලයක්. මේකට කාලයක් තිස්සේම පයින් ගගහා ගියා. යහළුවන් එක්ක එහෙම සෙල්ලම් කරන කොට හැම වෙලාවේම බෝලේ මගේ කකුල් දෙක ඇතුළේ. මම යහළුවන්ට වෙට්ටු දාලා බෝලය ඉස්සරහට ගෙනියනවා. ඊට පස්සේ මේ සෙල්ලම මගේ ජීවිතය වුණා. ආසාව වුණා.

පංචිකාවත්ත ශ්‍රී සංඝරාජ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඉස්සදින්, මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ කොල්ලෝ කුරුට්ටන් සමඟ පාපන්දුව සිය දෙපයට හුරු කර ගත්තේය.

අම්මයි - තාත්තයි - නංගිලා දෙන්නයි. අපේ ඉස්කෝලේ ක්‍රීඩාවලට ප්‍රසිද්ධ නෑ. පහසුකම් කිසිම දෙයක් නෑ. පී. ඩී. සිරිසේන ක්‍රීඩා පිටියට පිවිසෙන ඉස්සදීන් ඔහුගේම වදන්වලට අනුව...

ෆුට්බෝලයකට පයින් ගහලම තමයි මේකේ රිදම් එක අල්ලගත්තේ. හොයා ගත්තේ.

ඒ දවස්වල වයස් සීමා නෑ. උස ප්‍රමාණයට තමයි ක්‍රීඩා කරන්නේ. අඩි 4.7 - 4.9 වගේ උසට තමයි ක්‍රීඩා කළේ.

ඉස්කෝලේ ෆුට්බෝල් තිබුණෙත් නෑ. ඒ දවස්වල දැන් වගේ ක්‍රීඩා සමාජ තරග නෑ. පාර්ක් තරග තමයි තිබුණේ.

ඉස්සදින් සිය ගමන පටන් ගත්තේද පාර්ක් එකක් හරහාය.

මම පී. ඩීී. සිරිසේන පාර්ක් එකට සෙල්ලම් කරන කොට තමයි මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජයට එකතු වුණේ. ගුණසිංහ පුර පාර්ක්, රත්නම් පාර්ක් ඒ දවස්වල හරි ප්‍රසිද්ධයි.

හයිඩ් පාර්ක් වල සෙල්ලම් කරපු රවුමි තමයි එදා ඉඳලම මාත් ක්‍රීඩා කරලා ඉදිරියට ආවේ.

ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් මුහුණ දෙන්නාවූ දෛනික ගැටලුවලින් ඔහු අප්‍රමාණ පීඩා වින්දේය. එකී ගැටලු අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන්නා වූ ගැටලුවලින් වෙනස් නොවීය. නමුත් මේ සියල්ල ඉදිරියේ ඔහු ශක්තිමත් විය.

මම ඉදිරියට එනකොට අනන්ත අප්‍රමාණ ප්‍රශ්නවලින් පීඩා වින්දා. හැබැයි ඒ කිසිම තැනකදී වැටුණේ නෑ. ඒ හැම තැනකදිම ඒවා අමතක කරලා ක්‍රීඩා කළා.

1999 දී ඉස්සදින්ගේ ක්‍රීඩා දිවිය නව මාවතකට යොමු කළේය.

99 දී මගේ දෙපාවල ශක්තියෙන් යුද හමුදා බුද්ධි අංශයට එකතු වුණා. මට තිබුණේ ක්‍රීඩා කරන්න විතරයි. යුද හමුදාපතිවරු සියලුම දෙනා එදා ඉඳලා අද දක්වාම උපරිමයෙන්ම සහයෝගය ලබා දෙනවා. හැම පහසුකමක්ම දීලා තියෙන්නේ.

යුද හමුදා පාපන්දු කණ්ඩායම හරහා ඉස්සදින් ලබා ගන්නා පන්නරය එකී වසරේම ජාතික කණ්ඩායම දක්වා පැමිණීමට මඟ හෙළි කළේය.

ඒ අනුව ඉස්සදීන්ගේ දෙපාවල ශක්තියෙන් වසර 18 ක් පුරා පාපන්දු කරළියේ වැඩ පෙන්වන්නට හැකිව තිබේ. ඉස්සදින් මෙවරත් ලීග් පාපන්දු තරගාවලියේ රන් සපත්තුව දිනා ගැනීමට සමත් විය. ඒ සමඟම ඔහු සතු රන් සපත්තු ප්‍රමාණය දැනට හයකි.

මේ පාර සමහර තරග මට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. අසනීප සහ ආබාධ නිසා තරග 4 - 5 ක් මඟ හැරුණා. සුපිරි අට වටයේ ගෝල 6 ක් ගත්තා. සමස්ත තරගාවලියේ ගෝල 18 යි. ඊට කලින් අවුරුදුවල ගෝල 23 - 24 - 25 වශයෙන් රැස් කරලා තියෙනවා. වැඩිම ගණන 26 යි.

සිය දහ අට වසරක තරග දිවියේ අමතක නොවන තරග දෙකකි. ඒ 1999 වසරේ ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු වසරේදීමය.

99 නේරු කුසලාන තරගාවලියේ ලෙබනන් තරගය අපි ගෝල 4 - 3 කින් දිනුවා. මම ගෝල තුනක් ගහලා තරගයේ වීරයා වුණා. 2013 දී සාෆ් රන් කුසලාන තරගවලියේදී නේපාලයේ තිබ්බේ. අපි මාලදිවයින එක්ක තරග 10 - 0 කින් පැරදිලා තිබ්බේ. භූතානය තරගය 6 - 0 කින් දිනුවා. ඒ තරගයේ ගෝල හතරක් ගත්තා.

අමිහිරි අත්දැකීමක් වූ මාලේ තරගය ලාංකේය පාපන්දු ඉතිහාසයේ කළු පැල්ලමකි.

අපි තරගයට ගිය වෙලාවේ මෙහෙම වෙයි කියලා හීනයකින්වත් හිතුවේ නෑ. පස්සේ තමයි ආරංචි වුණේ පවාදීම් සිද්ධවෙලා තියෙනවා කියලා.

ඔය තරගයට කලින් තායිලන්ත තරගය තිබ්බේ. අපි උපරිමයෙන්ම ඒ තරගය ක්‍රීඩා කළා. අපි බ්‍රසීල් පුහුණුකරුවා එක්ක ගිය හැම තරගයක්ම වාගේ දිනුවා. ඊට පස්සේ මාලේ පළමුවැනි තරගය මොනවා වුණාද කියලා දන්නේ නෑ. අපෙන් ෆුට්බෝල් ඉගෙන ගත්ත මාලේ අන්තිමේ අපිට වැටෙන්නම ගැහුවා.

ලාංකේය ජාතික කණ්ඩායමට තරුණ ජවය මුසු කළ යුත්තේ ඉතාමත් පරිස්සමෙන් බව අවධාරණය කරන ඉස්සදීන්,

පළපුරුදු අය එක්කයි තරුණ ජවය එකතු කරන්න ඕනා. එහෙම නැතුව තරුණ ක්‍රීඩකයන්ගෙන්ම දුවන්න අමාරුයි. එහෙම නම් තරුණ කණ්ඩායමක් අවුරුදු තුනක්වත් එක දිගට තියාගන්න ඕනෑ. එහෙම නැතුව උඩට එන්න අමාරුයි.

ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ දියුණුව ගැන බලධාරින් මොන තරම් පම්පෝරි ගැසුවද එය මිථ්‍යාවකි. තිස් හය වියැති ඉස්සදින්, අදටත් රන් සපත්තුවේ උරුමක්කරු වන විට ලාංකේය පාපන්දුවේ ගමන් මඟ ගැන සිතා ගැනීමට වෙහෙස විය යුතු නොවේ.

අදටත්, මටවත් රවුම්ටවත් ලංකාවේ තරගයක් නෑ. විදේශ ක්‍රීඩකයකුගෙන් තමයි අපි දෙන්නට ම තරගයක් තියෙන්නේ.

බ්‍රසීල පුහුණුකරුවා හැම තරගයක්ම බැලුවා. හැබැයි එයාට මාස තුනයි ජොබ් එක කරන්න ලැබුණේ.

වසර 18 ක් ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වුවද ඉස්සදීන්ට ඇත්තේ පාපන්දු ක්‍රීඩා පිළිබඳ බිඳුණු බලාපොරොත්තුවකි.

මම මේ ඇත්ත කියන්නේ. අදත් මට මගේ කියලා ගෙයක් නෑ. ඉන්නේ නෝනාගේ ගෙදර. පුහුණුවීම් තියෙන කොට කොළඹ යනවා. එතකොට ඉන්නේ අම්මලාගේ ගෙදර.

මට පුතාල දෙන්නෙක් ඉන්නේ. ඒ ගොල්ලෝ කැමැති නම් ක්‍රීඩාවක් තෝර ගනියි. හැබැයි මම බල කරන්නේ නෑ. මම කැමැතියි ඒ දෙන්නා හොඳට ඉගෙන ගන්නවට. කොටින්ම ක්‍රීඩකයෙක් විදියට මම කාපු කට්ට ඒ දෙන්නා කනවට කැමැති නෑ.

2001 - 02 දී විතර ජාතික කණ්ඩායමේ පුහුණුවීම් කරනකොට කකුල කැඩුණා. එතකොට නම් මට ක්‍රීඩාවම එපා වුණා. හැබැයි සනීප වෙලා ක්‍රීඩා කරන කොට මට ආයෙත් ආසා හිතුණා. ජීවිතය ලැබුණා කියලා හිතුණා. ඉස්සදීන් අපට සමුදෙමින් පැවැසීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.