නිපන්දුවේ වාසනාවෙන් ද්වි ශතකය පෙනෙන මානයට ගිය කුසල් | සිළුමිණ

නිපන්දුවේ වාසනාවෙන් ද්වි ශතකය පෙනෙන මානයට ගිය කුසල්

ප්‍රශාන්ත ඇල්පිටිය

සංචාරක බංග්ලාදේශය සමඟ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමට පන්දුවට පහරදීමට පිටියට ගිය කුසල් මෙන්ඩිස් තම ප්‍රථම පන්දුවට මුහුණ දීමට සූදානම් විය.

දකුණතින් මද වේග පන්දු යැවූ සුභාශිෂ් රෝයි විසින් පන්දුවක් එවීය. කුසල් ඊට පහරක් දුන්නේය. එය උඩපන්දුවකි. එය සුරැකිව රැක ගත්තේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ය. කුසල් දැවී ගියේය. එහෙත් විනිසුරුවෝ ඔහුට තවදුරටත් පිටියේ රැඳී සිටින ලෙස දැන්වුහ. අවසානයේදී රෝයි විසින් නිපන්දුවක් යවන ලද බවට සනාථ විය. ඒ අනුව කුසල්ට තවදුරටත් පිතිහරඹයේ නිරතවීමට අවස්ථාව උදා විය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී එකම ඉනිමකදී පිතිකරුවකුට මෙවැනි අවස්ථා දෙකක් ලැබෙන්නේ කලාතුරකිනි. එමඟින් උපරිම ප්‍රයෝජන ගැනීමට දක්ෂ පිතිකරුවෝ පසුබට නොවෙති. කුසල් ද ඒ ආකාරයටම ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලය වූයේ විශිෂ්ට ශතකයක් (ලකුණු 194) හෙතෙම රැස් කිරීමයි. තරගයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 259 ක පහසු ජයක් අත්විය. ඔහු තරගයේ වීරයාද වූයේය.

"මගේ ප්‍රථම පන්දුවෙන්ම දැවී යාමට මම නරක පහරක් එල්ල කරන්න ඇති. ඒ වුණත් ඊට පසුව කණ්ඩායම වෙනුවෙන් පිටියේ රැඳී සිටිමින් ක්‍රීඩා කිරීමට මට ඕනෑ වුණා." සිය ශතකය රැස් කිරීමෙන් පසුව කුසල් පැවසීය.

මෙම ශතකය කුසල්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතා වැදගත් විය. මන්ද යත් ඊට පෙර සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකානු සංචාරවලදී ඔහු එතරම්ම සාර්ථක වී සිටියේ නැති බැවිනි. මෙම ශතකය රැස් කිරීමට පෙර කුසල් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගමාලාවන්හිදී දස්කම් අතරට පිවිසීමට ඔහුට හැකි වූයේ නැත.

සිම්බාබ්වේ සංචාරයේදී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 19.75 කි. එය දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් ඉනිම් 06 කදී සාමාන්‍යය 23.00 ක් විය. ඊට එක් අර්ධ ශතකයකි. මෙය කුසල් වැනි හැකියාවෙන් අනූන යොවුන් ක්‍රීඩකයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි පිතිහරඹයකි.

"ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන විට මගේ ටෙස්ට් සාමාන්‍යය 42 ක් විතර තිබුණා. ඊට පසුව එය ටිකෙන් ටික අඩුවුණා. එම සාමාන්‍යය 30 ට අඩු වුවහොත් නැවත වතාවක් එය ඉහළ ගැනීම අමාරු වෙන බව ප්‍රවීණයන් මට කිව්වා. දකුණු අප්‍රිකානු සංචාරය අසාර්ථක වුණාම එම සාමාන්‍යය 35 කට වැඩිය ගැනීමට මට ඕනෑ වුණා. එය කරගන්න නම් ලොකු ඉනිමක් අවශ්‍ය වෙනවා.

මෙම ගාල්ලේදී රැස් කළ ශතකය නිසා එය ඉටු වූවා. ලොව හොඳම පිතිකරුවන් 10 අතරට ඒමට මට අවශ්‍යයි. ඒ සඳහා ටෙස්ට් සාමාන්‍යය 40 හෝ 45 අතරට යායුතු වෙනවා." කුසල් වැඩිදුරටත් පැවසීය.

"සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකානු සංචාරවලින් පසුව මම දැඩි ලෙස පුහුණුවීම් කටයුතු කළා. එහිදී පුහුණුකරුවන්, ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයෝ, නායකයෝ සියලු දෙනාම මට එක් දෙයක් කිව්වා. ඒ මෙම මට්ටමේදී මට ක්‍රීඩා කිරීමට හැකි බවට. මම අසමත් වී තිබුණත් ඔවුන් මට වැඩි පීඩනයක් දුන්නේ නැහැ. මම පිතිහරඹයේදි සුළු වෙනස්කම් පමණක් කර ගත්තා." කුසල් තවදුරටත් පැවසුවේය.

කුසල්ට මෙම ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී තිබුණි. ඔහු දැවී ගියේ හයේ පහරක් එල්ල කිරීමට ගොසිනි. නමුත් එය හතරේ සීමාවේදී උඩ පන්දුවක් බවට පත් විය. මෙම විශිෂ්ට ඉනිමට ගත වූ කාලය විනාඩි 441, පන්දු 285, 4 පහර 19, 6 පහර 4 කි.

ඒ සමඟම ටෙස්ට් ඉනිමකදී ලකුණු 190 ගණන්වලදී දැවී ගිය හය වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටත් කුසල් පත් වූයේය.

සනත් ජයසූරිය 199 ඉන්දියාවට එරෙහිව 1997

මහේල ජයවර්ධන 195 එංගලන්තයට 2007

කුසල් මෙන්ඩිස් 194 බංග්ලාදේශයට 2017

තිලකරත්න ඩිල්ෂාන් 193 එංගලන්තයට 2011

කුමාර සංගක්කාර 192 ඔස්ට්‍රේලියාවට 2007

කුමාර සංගක්කාර 192 පාකිස්තානයට 2012

සිදත් වෙත්තමුනි 190 එංගලන්තයට 1984

කෙසේ වෙතත් මෙම ගාල්ල තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කුසල් සමත් වූයේය. එනම් ටෙස්ට් ලකුණු 1000 ක් රැස් කළ ළාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වීමයි. එවිට ඔහුගේ වයස අවුරුදු 22 දින 33 කි. ඊට පෙර එම වාර්තාව හිටපු ශ්‍රී ලංකා නායකයකු වූ අර්ජුන රණතුංග සතු විය. ඔහුට 1986 වසරේදී එම දස්කම දක්වන විට අවුරුදු 22 දින 105ක් විය.

කුසල් මෙවර සිය දෙවන ටෙස්ට් ශතකය රැස් කළේ තවත් දකුණත් පිතිකරුවකු වූ අසේල ගුණරත්න සමඟ සිවුවන කඩුල්ලට ලකුණු 196 ක අගනා සබඳතාවයක් පිහිටුවමිනි. "අසේල මේ වන විට දස්කම් දක්වමින් ඉතා ඉහළ මට්ටමක සිටිනවා. ඔහුත් සමඟ පිතිහරඹයේ නිරතවීම පහසුයි." කුසල් ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 85 ක් රැස් කළ ගුණරත්නගේ පිතිහරඹය එසේ අගය කළේය.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා වූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝඩ් කුසල්ගේ දක්ෂතාව මෙසේ අගය කරයි.

"ඔහු (කුසල්) දස්කම් අතර නොසිටියත් ඔහුව කිසිම විටෙක කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය යන්න හිතුවේවත් නැහැ. ඔහු විශාල හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක්. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට හුඟාක් තරග දිනවලා දේවි. අපිට අවශ්‍ය නැහැ ඔහුට කිසිම ආකාරයක පීඩනයක් දාන්න.

 අපිට කරන්න පුළුවන් නරකම දේ තමයි හුඟාක් බලාපොරොත්තු ඔහු වෙතට දීම. ඔහු තවම ඉගෙන ගන්නවා. ඉදිරියේදී හැකියාව අනුව ඔහු සැම දෙනාටම තමන් කෙතරම් විශිෂ්ටයෙක්ද කියලා පෙන්වන බව මට විශ්වාසයි. ඔහු සැම විටම අනෙක් ක්‍රීඩකයන්ට සහාය දෙනවා. ඒ වගේම තව තවත් හොඳට ක්‍රීඩා කරන්න ඔහු මහන්සි වෙනවා. ඔහු ක්‍රිකට්වලට ආදරය කරනවා."

1995 වසරේ පෙබරවාරි මස 02 වැනිදා බාලපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස් උපත ලැබුවේ මොරටුවේදීය. ඔහු දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පා දඟ පන්දු යවයි. ඒ වගේම කඩුලුද රකියි. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙකි. වත්මනදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

කුසල් පාසල් තරගවලදී විශිෂ්ට දක්ෂතා දැක්වීය. එහි ප්‍රතිඵලය වූයේ 2013 වසරේ සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ දක්ෂතම පිතිකරු යන ද්විත්ව සම්මානයන්ටම හිමිකම් පෑමය. මේ අතර 2014 වසරේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේද කුසල්ය.

කුසල් 2015 වසරේ සිට ජාත්‍යන්තරව ක්‍රීඩා කරයි. ගත වූ කාලයේදී දැක්වූ දස්කම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 වසරේදී අනාගත ක්‍රිකට් තරුව සම්මානයත් ඔහුට හිමි විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.