ඇසට වැලි ගැසූ පේදුරුතුඩුවේ වැලි මගඩිය

පේදුරුතුඩුව වෙරළ කියන්නේ උතුරේ තියෙන ලස්සනම වෙරළක්. ත්‍රස්තවාදීන් යුද්ධය ආරම්භ කරන්න කලින් මේ වෙරළේ සුන්දරත්වය දකින්න දකුණෙන් බොහෝ පිරිසක් එහේ ගියා. ඒත් යුද්ධය පැවැති වකවානුවේ මේ ප්‍රදේශයේ පැවැතුණු තත්ත්ත්වය හරිම භයංකරයි. ඒත් වෙරළේ සුන්දරත්වය නම් වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒකට හේතුවත් ජනතා පැමිණීම අඩු වීමමයි!

අපි මේ කියන්න යන කතාව මේ සුන්දර වෙරළ අසුන්දර කළ මහා වංචාවක් ගැනයි. පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් මේ සුන්දර වෙරළ විනාශ කරලා මුළු මුහුදු තීරයම වනසා දැම්මේ තමන්ගේ මඩිය තර කරගන්නයි. ඒ අවනඩුව මේ වෙන කොට එළියට ඇවිත් තියෙන්නේ. දැන් ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙනවා.

මේ කතාව ආරම්භ වෙන්නේ 2007 අවුරුද්දේ ඉඳල.

පේදුරුතුඩුව වෙරළ මුළුමනින්ම විනාශ කරපු වැලි ජාවාරමක් ගැනයි මේ කතාව. සාමාන්‍යයෙන් වැලි ලබාගන්න වගේම ප්‍රවාහනය කරන්න භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් අවසර ගන්න ඕනෑ. වෙරළ සම්බන්ධ වැලි නම් ඒකට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයත් ඕන වෙනවා. ඒ විතරක් මදි, වැලි ප්‍රවාහනයට අදාළ ප්‍රාදේශීය සභාවේ අවසරයත් ඕනෑ වෙනවා.

ඒ විදිහට බැලුවාම පේදුරුතුඩුවේ මුහුදු වැලි නිධි ගෙනියන්න හැමෝටම බැහැ. ඒකට මේ ආයතන තුනේම අවසරය අරගෙනයි කටයුතු කරන්න ඕනෑ.

වෙරළ හෑරීම

ඒත් පේදුරුතුඩුවේ ලස්සන වෙරළ හාරලා වැලි ලොරි දහස් ගණනක් සූරාගන්න හිටපු අදාළ ඇමැතිවරයා තම බලය අයුතු ලෙස පාවිච්චි කරලා තිබෙනවා.

'රාජ්‍ය බලය අවභාවිත කිරීමක්' ලෙස තමයි මේ ක්‍රියාදාමය අපට පෙන්වා දිය හැක්කේ. ‍සාමාන්‍යයෙන් වැලි ලබාගැනීම මෙන්ම ප්‍රවාහනය සිදු කරනකොට ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. පළමුවෙන් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයට වැලි කියුබ් එකක් සඳහා රුපියල් 286.20ක් ගෙවිය යුතුයි.

රා‍ජේශ්වරී පදනම කාගෙද?

වැලි ප්‍රවාහනය සඳහාත් ඒ මුදලට සමාන ගාස්තුවක් ගෙවා ප්‍රවාහන බලපත්‍රයක් ගත යුතු වනවා.

ඒත් මේ ඇමැතිවරයාගේ ක්‍රියාදාමය අනුව සිදු කර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් මහා වංචාවක්. වැලි ලබාගෙන ප්‍රවාහනය කරන්න ඕනෑ කරන තැනැත්තා පළමුවෙන්ම මේ ඇමැතිවරයා සම්බන්ධ ‘රා‍ජේශ්වරී' නම් පදනමට රුපියල් 1000.00ක මුදලක් ගෙවා රිසිට් පතක් ගන්න ඕන. ඒ රිසිට් පත පේදුරුතුඩුව අයත් වන වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පෙන්වා එතැනින් අවසර පත්‍රයක් ගත යුතු වුණා.

රජය නියෝජනය කරන ප්‍රදේශයේ ඉහළම නිලධාරියා වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයායි. මේ ලේකම්වරයා අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ වැලි ලබාගන්නත් ප්‍රවාහනය කරන්නත් අවසර ලබා දෙනවා. මෙය රාජ්‍ය නිලධාරීන් විසින් කරන ලද බරපතළ අවභාවිතයක් ලෙසත් පෙන්වා දිය හැකියි. වෙරළ තීරය කියන්නේ කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. තමන්ගේ පදනම් හරහා නිකුත් කරන රිසිට්පත්වලට වැලි ප්‍රවාහනයට අවසර දෙන්න රාජ්‍ය ආයතනයක නිලධාරියකුට හයියක් ලැබුණේ කාගෙන්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

මිලියන 1000ක වංචාවක්

පස් හා බොරලු කැණීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කටයුතු කළ යුතු ආකාරය 2009 අංක 66 දරණ පනතින් සංශෝධිත 1992 අංක 33 දරණ පනතේ 8(1) වගන්තිය යටතේ පැහැදිලිව දක්වා තියෙනවා. ඒ අනුව බලපත්‍ර නිකුත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ එක මාසයකදී එක් බලපත්‍රලාභියකුට කැණීම් සිදු කිරීමට හා ප්‍රවාහනයට අවසර ලබා දිය යුත්තේ කියුබ් 100 නොඉක්මවන අයුරින්. වැලි ගොඩ දැමීම පස් කැපීම හෝ මේ සම්බන්ධ සියලු කාර්යයන් වෙනුවෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද විශේෂිත වගකීමක් තිබෙන නමුත් මේ සිදුවීම් මාලාව දෙස බැලීමේදී අපට පෙනී යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මේ අවභාවිතයට හවුල් වී ඇති බවයි. අදාළ ඇමැතිවරයාගේ හයිය අරගෙන හරි මේ විදිමට කටයුතු කරපු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවත් දැඩි පියවර ගත යුතු වනවා. දැනට අනාවරණය වී තිබෙන විදිහට මේ වංචාව නිසා රජයට රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් අහිමිව ගොස් තිබෙනවා. එපමණක් නෙමෙයි, මේ නිසා වෙරළ ඛාදනයද වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ. රජයට කිසි සේත්ම සම්බන්ධයක් ‍නැති 'රාජේශ්වරී පදනමට' මුදල් ගෙවීමෙන් රජයේ වෙරළ හාරා වැලි ගෙන යන්න අවසර දෙන්න වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම්ට බලයක් නැහැ.

ඒ විතරක් නෙමෙයි, මේ වැලි ප්‍රවාහනයට පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවෙන් අවසර අරගෙනත් නැහැ. එතැනත් බරපතළ වරදක් මෙන්ම අවභාවිතයක් සිදුව තිබෙනවා. මේ වැලි හෑරිල්ල නිසා සිදුව තිබෙන පරිසර විනාශය තවම ගණන් බලා නැහැ.

ඉබ්බා දියේ දැමීම

පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පූබාලසිංහම් සජීවන් මහතා ඉදිරිපත් කරපු පැමිණිල්ලක් අනුවයි මේ කතාව එළියට ආවේ. භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් අවසර දුන් පසු පසු-විපරම් කිරීමේ බලයක් මෙන්ම ඒ වගකීමේ කොටසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් පැවරෙනවා. ඒත් මේක හරියට ඉබ්බා දියේ දැම්ම වගේ වැඩක් වෙලා තියෙන්නේ.

මේ මහා පරිමාණ වංචාව පිළිබඳ සොයාගෙන යන කොට තමයි හැමෝගෙම පැටිකිරිය එළියට එන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ වංචාකරුවන් දැලට පැටලිලා ඉවරයි. දැන් කළ යුතු එකම දෙය වන්නේ උතුරේ වැලි නිධි සූරාගෙන කාපු මේ උදවිය දංගෙඩියට දක්කගෙන යන-එකයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.