කථානායකට පොලීසිය කැඳවන්න බලයක් නෑ | සිළුමිණ

කථානායකට පොලීසිය කැඳවන්න බලයක් නෑ

l ඔබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. ඔබේ අත්දැකීම් අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට එකඟව විමල්ට ස්වාධීන වෙන්න ඇත්තටම හැකියාවක් තිබෙනවාද ?

විමල් වීරවංශගේ පක්ෂයට විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු පනස් දෙදෙනාටම ස්වාධීන වෙන්න හැකියාව තිබෙනවා. එය පිළිගැනීමට කථානායකතුමාට බලය තිබෙනවා. මීට පෙර කථානයකවරුන් එසේ කර තිබෙනවා.

l මුලදී විමල්ට පාර්ලිමේන්තුවේ වෙනම ඉන්න පුළුවන් කියලා දින කීපයකින් කථානායකතුමා තීරණය වෙනස් කළේ ඇයි ?

එතුමා එවැනි තීන්දු රැසක් වෙනස් කර තිබෙනවා. එදා රාවුෆ් හකීම් ඇමැතිතුමා නැඟිටලා කිව්වා කථානායකතුමාගේ තීන්දුව වැරැදියි කියලා.

l එහෙම නම් විමල්ගේ පක්ෂයට ස්වාධීන වෙන්න ව කථානායකතුමා අවස්ථාව නොදුන්නේ ඇයි ?

මේ වන විට රටේ බරපතළ දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව නෑ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් කොටසකට පමණක් ආණ්ඩුවේ තනතුරු ලබා දී ජාතික ආණ්ඩුවක් හැදුවා කිව්වා. මන්ත්‍රීවරු 16 දෙනෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙනවා. ආණ්ඩුවට ඕනෑ ආණ්ඩුවට පක්ෂපාතී ලෙස හැසිරෙන දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරයේ තබා ගැනීමට. ඒ සදහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කථානායකතුමා පාවිච්චි කරනවා. ඒ අනුව මන්ත්‍රීවරු පනස් දෙදෙනාට හිමි වරප්‍රසාද , 52 දෙදෙනාට හිමි නිල පිළිගැනීම , සහ ව්‍යවස්ථාමය බලය ලබා නොදීමට තමයි ආණ්ඩුව තදබල ලෙස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පාවිච්චි කරන්නේ.

l වත්මන් කථානායකතුමාට පාර්ලිමේන්තුවේ පුර්වාදර්ශ ගැන අවබෝධයක් නැද්ද ? ඔබලා පුර්වගාමී කථානායක පුර්වාදර්ශ ඔහුට පෙන්වා දුන්නේ නැද්ද ?

එතුමාට වාචිකව සහ ලිඛිතවත් පෙන්වා දී තිබෙනවා. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් මේ විදියට සාධාරණීකරණය කරන්නේ. මහජන එක්සත් පෙරමුණ ලෙස අපි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ 8 දෙනෙක් හිටපු වෙලාවේදීත් ඊ.ඇල් සේනානායක යු.ඇන්.පී කථානායක. හැබැයි සරත් මුත්තෙට්ටුවේගම සහ අපේ පක්ෂය වෙනම දේශපාලන පක්ෂ ලෙස පිළිගත්තා. . ඒ නිසා ඒ සම්ප්‍රදායට පයින් ගහන්න එපා කියන එක පමණයි අපි කියන්නේ.

l කරු ජයසුරිය කථානායකතුමා අතීත පුර්වාදර්ශ මග හරින්නේ ඇයි. එතුමා කාගේ හෝ අතකොලුවක් වෙලාද ?

මම කථානායකතුමාට පුද්ගලික චෝදනාවක් කරන්න කැමැති නැහැ. කථානායකතුමා පසුගිය මහා මැතිවරණයට පසුව කිව්වා මහාචාර්ය විශ්වා වර්ණපාල එ.ජ.නි.ස මහ ලේකම්තුමා ලිපියක් එවා තිබෙනවා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට පමණයි එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ගිවිසුම බලපාන්නේ කියලා. එදා කථානායකතුමා ප්‍රකාශ කළා ජා.නි.පෙ , මහජන එක්සත් පෙරමුණට , නව සමසමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට පාර්ලිමේන්තුවේ වෙනම කටයුතු කරන්න පුළුවන් කියලා. ඉතින් කථානායකතුමා අපිට ඒ අවස්ථාව තමයි නොදෙන්නේ.

l ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව සහ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේ නව පක්ෂයක් හෝ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට බලයක් නැති බව කථානායකතුමා කියනවා. එය සත්‍යයක්ද ?

නැහැ. එය වැරැදියි. චෙල්වනායගම් , එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක , ෆිලිෆ් ගුණවර්ධන , එම්.ඩී රාජරත්න ආදී මන්ත්‍රීවරුන්ගේ පුර්වාදර්ශ තිබෙනවා. කරු ජයසුරිය කථානායකතුමා කියන විදියට පාර්ලිමේන්තුවට තරග කළ දේශපාලන පක්ෂයේම පාර්ලිමේන්තු ජීවිත කාලයේම සිටිය යුතුයි. . එවැනි පුර්වාදර්ශ ලෝකයේ කොහෙවත් නෑ. එ.ජ.නි.ස මහ ලේකම් විශ්වා වර්ණපාලගේ අර ලිපියට තිබෙන බලය තමයි එතුමා පාවිච්චි කරන්නේ. ආණ්ඩුව දන්නවා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ ජා.නි.පෙ කටයුතු කරන්න ගත්තොත් ඒක ඉදිරියට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා . ආණ්ඩුවට ඒ ගැන ලොකු සැකයක් තිබෙනවා. වක්කඩ කැඩුවා වගේ මන්ත්‍රීවරුන් ස්වාධීන වෙයි කියලා ආණ්ඩුවට බියක් තිබෙනවා. ඒ නිසා දැන් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බරපතළ මර්දනයක්. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු මන්ත්‍රීවරුන්ට සිය අයිතිවාසිකම් අනුව කටයුතු කරන්න බැරිනම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයට මරු පහරක් වදිනවා.

l වත්මන් 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා නියෝජනය කරන්නේ පක්ෂ 6 පමණක් බව සියළු මන්ත්‍රීවරුන්ගේ පිළිගැනීම බව කථානායකතුමා කියනවා. ඔබ එය පිළිගන්නවාද ? නැහැ.

එය සත්‍යයක් නෙමෙයි. එතකොට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා එ.ජ.නි.ස යෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණ වෙනම පක්ෂයක් විදියට පාර්ලිමේන්තුවේ පිළිගත්තා. ඊට පෙර හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අපේ පක්ෂය පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් විදියට පිළිගත්තා. ඒ අනුව කරු ජයසුරිය කථානායකතුමාගේ තර්කය වලංගු නෑ. අනික මා ඉතා වැදගත් දෙයක් කියන්නම් මෙතෙක් හෙළිදරව් නොවුණ දෙයක්. පාර්ලිමේන්තුව මෛත්‍රීපාල සේනානායක, හලීම් ඉෂාක් යන මන්ත්‍රීවරු දෙපළ ශ්‍රී.ල.නි.ප යෙන් ඉවත්ව ස්වාධීනව පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ප්‍රකාශ කළා. ඒක පාර්ලිමේන්තුව පිළිගත්තා. ඔවුන් අධිකරණයට ගිය පසුවත් එය පිළිගත්තා. මේවා පුර්වාදර්ශ. එච්.ඩී බණ්ඩාරණායක මහත්තයා පක්ෂයෙන් එළවා දැමුවා. පාර්ලිමේන්තුව කිව්වා නෑ එයාට පාර්ලිමේන්තුවේ වෙනම ඉන්න අයිතිය තිබෙනවා කියා. මේ පුර්වාදර්ශ අපි දන්නේ නෑ කියලා සමහරු හිතනවා ඇති. සමහර ජනමාධ්‍යවේදීන් අපිට පහර දෙනවා. ඒවා පුද්ගලික පහර දීම්. හැබැයි පහර දෙන්නේ කාරණාව මත නෙමෙයි. ඉතිහාසයේ සත්‍ය මත නෙමෙයි. එදා එස්.ඩබිලිව්. ආර්.ඩී බණ්ඩාරණායක මැතිතුමා එ.ජා.ප යෙන් ඉවත්ව පැමිණ විපක්ෂයේ අසුන් ගත් වෙලාවේ එදා කථානායක ඇල්බට්.එෆ් පීරිස් මහත්තයා කිව්වා නම් ඔබව මං පිළිගන්නේ නෑ කියලා මොකක්ද ඇති වන තත්ත්වය. පසුකලකදී ලංකාවේ අගමැති වු ඩබ්ලිව්. දහනායක මැතිතුමා තනිවම වැඩ කළේ. එතුමාව පිළිගත්තේ කොහොමද කථානායකවරයා. ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. මේවා සාධක. පුර්වාදර්ශ.

l ඔබේ පාර්ලිමේන්තු තහනම සිදු වූ දින ගැන කරු ජයසුරිය කථානායකවරයා කියා තිබුණා එදා දිනේෂ් අවනත වුණේ නෑ විමල් විතරක් අවනත වුණා කියලා . ඇයි ඔබ විතරක් මුරණ්ඩු වුණේ ?

නෑ. ඒක වැරැදියි. විමල්ගේ ඉල්ලීමට කථානායකතුමා දුන් පිළිතුරට මටත් විමල්ටත් විනාඩි කීපයක් කරුණු කියන්න අපි ඉල්ලා සිටියා. පක්ෂ නායකයකු විදියට මට ඒ අවස්ථාව වෙනදා කථානායකතුමා මට දුන්නා. එදා දුන්නේ නෑ. කරු ජයසුරිය කථානායකතුමා කිව්වේ එතුමාගේ තීන්දුව ගැන කථා කරන්න කාටවත් බෑ කියලයි. එතැනදී අපි දිගින් දිගටම කරුණු කියන්න අවස්ථාව ඉල්ලුවා. එතකොට කිව්වා එහෙනම් ලියලා එවන්න කියලා. ඔන්න අර බෑ කියපු එතුමා පස්සේ කියනවා අපිට ලියලා එවන්න කියලා. අපි කිව්වා ලියලා එවන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා හා මම පස්සේ වෙලාවක් දෙන්නම් කියලා. අපි ඇහුවා අදද , හෙටද, අනිද්දාද දෙන්නේ කියලා. නෑ දැන් ඒක කියන්න බෑ කියලා කථානායකතුමා කිව්වා. මේක හැන්සාඩ් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් බලන්න එතුමා ප්‍රකාශ තුනක් කරලා තිබෙනවා. ඉතින් අපේ මන්ත්‍රීවරු 52 දෙදෙනා වෙනුවෙන් කථානායකතුමාට මේක පැහැදිලි කරන්න හැදුවේ. මං එතුමාට ගැහුවේ නෑ. පරුෂ වචනයෙන් බැණ්නේ නෑ. ඇත්තටම සිදු වුණේ කථානායකතුමා කලබල වුණා. එතුමා වේත්‍ර ධාරීන්ට කිව්වා මාව ඉවත් කරන්න කියලා. ඊට පස්සේ පොලීසියට එන්න කිව්වා.

l පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව මන්ත්‍රීවරයකු සභාවෙන් ඉවත් කරන්න පොලීසිය කැදවන්න බලයක් තිබෙනවාද ?

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 72 වගන්තියේ කිසිම තැනක නෑ පොලීසිය කියන වචනය. තිබෙන්නේ බලය පාවිච්චි කරන්න කියලයි. වේත්‍රධාරීන්ට අවශ්‍ය නම් පුළුවන් උස්සගෙන ගිහින් එළියට දාන්න. හැබැයි පොලීසිය කලින් පැමිණ තිබෙනවා. බලය කියන වචනය හරියට අර්ථ නිරූපණය කළොත් ඊළග දවසේ එතුමාට හමුදාව කැදවන්න පුළුවන්. අන්තිමට ස්ථාවර නියෝග 74 වගන්තිය යටතේ සභානායක කිරිඇල්ල යෝජනාවක් ඉදිරිපත් කර ඡන්දය විමසා මාගේ පාර්ලිමේන්තු සේවය සතියක් තහනම් කළා.

l පාර්ලිමේන්තුවේදී පොලීසියෙන් ඔබ වට කළ මොහොතේ එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර ඔබ සමග සාකච්ඡා කළාද ?

මා සමග ඔහු කිසිම සාකච්ඡාවක් කළේ නෑ. අමරවීර , අමුණුගම සහ රාවුෆ් හකීම් එතැනට ආවා. ඔවුන් අපේ වාසුදේව මන්ත්‍රීතුමාට කියලා තිබුණා කලබලයක් නොකර යෝජනාවක් සම්මත කරලා එළියට දානවා කියලා. ඒ සමගම මේ පිරිස කිව්වා දැන් පොලීසියට යන්න කියලා.

l ඔබ මහින්ද අමරවීරට කිව්වාලු යෝජනාවක් සම්මත කරලා ඔබව එළියට දාන්න කියලා ?

නෑ. මා එවැනි ඉල්ලීමක් කළේ නෑ. අමරවීර ඇමැතිතුමා අපි නොකියපු කථා කියනවා. මං ඒ බව මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් මූණටම කියලා තිබෙනවා. දැන් බලන්න එ.ජ.නි. ස යෙන් එ.ජා.ප යට ගිහින් ඡන්දය ඉල්ලපු අය අදටත් එ.ජ.නි. ස ඉන්නවා. ඔවුන් අයින් නොකරන්නේ අමරවීර ඇමැතිතුමා. එයා ඒ දවස්වල මගේ නියෝජ්‍ය ඇමැති. ඒ නිසා එයා කියන දේවල් ගැන මට කනගාටුයි. එතුමා මෙවර පාර්ලිමේන්තු ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන්. නැත්නම් අමරවීර අද පාර්ලිමේන්තුවේ නෑ.

එවකට විපක්ෂ මන්ත්‍රී කරු ජයසුරිය මැතිතුමා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන විට ඔබ කලහකාරී ලෙස හැසිරෙමින් බාධා කළ බවට එතුමා කරන චෝදනාවක් කරනවා ?

ඒක වැරැදි කතාවක්. එතුමා එදා පුද්ගලික මන්ත්‍රී පනතක් ගෙනාවේ. හැම පුද්ගලික මන්ත්‍රී පනතකටම සභාව ඉඩ දෙන්නේ නෑ. ආණ්ඩු පක්ෂ සංවිධායක එදා මම. ආණ්ඩු පක්ෂය එදා තීන්දු කර තිබුණා එම පනත සකසමින් යන නිසා එම පනතට විරුද්ධ වන්න . කරු ජයසුරිය මැතිතුමා එදා ඉදලා හිතේ ද්වේශය තියාගෙන ඉදලා තිබෙනවා. මං හිතන්නේ එතුමාට එදා ඉදලා නින්ද යන්න නැතිව ඇති.

l ඔබේ තහනම් වු පාර්ලිමේන්තු සතියේ ඩලස් අලහප්පෙරුම මැතිතුමාට ඒකාබද්ධ විපක්ෂයේ වැඩ බලන නායකත්වය කථානායකතුමා නොදුන්නේ ඇයි ?

මාව තහනම් කළ අවස්ථාවේ මං ලිපියක් යැව්වා කථානායකතුමාට අපේ කණ්ඩායමේ නායකත්වයේ වැඩ බැලීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා කටයුතු කරයි කියලා. ඒ නිසා එතුමාට ඒක කිසිම ගැටලුවක් නැති දෙයක්. නමුත් ඒ අවස්ථාව ලැබුණේ නෑ.

I ලැබුණු පාර්ලිමේන්තු තහනමත් එක්ක ඔබ ටිකක් බය වෙලා වගේද ?

මට මේ දඩුවම ලැබුණු පළමු අවස්ථාව නෙමෙයි මේ. ඒ නිසා සුපුරුදු සටන්කාමීත්වය පාර්ලිමේන්තුවේ ඉදිරියටත් දකින්න ලැබෙයි.

l ඔබට පාර්ලිමේන්තුව තහනම් වෙලා පසු දිනයේ කථානායකතුමාට විරුද්ධව සභානායක කිරිඇල්ල ඇමැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයම සභාවෙන් පිටව ගියා ?

මං හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව ගිය මුල්ම අවස්ථාව. ඉන් ඇඟවෙන්නේ ආණ්ඩුවක් රටේ නැති බවකුයි.

l කරු ජයසුරිය කථානායකතුමා එක්ක ඔබ මනාපද අමනාපද ?

කරුට මනාපත් නෑ. අමනාපත් නෑ. එතුමා දේශපාලනයට එන්න පෙර සිටම මගේ හොඳ මිත්‍රයෙක්.

l එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අරමවීර කියා තිබුණා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු එක් වෙනවා නම් එ.ජ.නි.ස ආණ්ඩුවක් හදන්න ලෑස්තියි කියලා. ඒ ගැන ඔබලා හිතලා නැද්ද ?

අමරවීර ඇමැතිතුමා එක එක දවසට එක එක කතා කියනවා. අපේ අරමුණ එ.ජා.ප විරෝධී ආණ්ඩුවක් ගොඩ නැඟීමයි. එතුමා හෘද සාක්ෂියට එකඟව යු.ඇන්.පී විරෝධී ආණ්ඩුවක් හදන්න සිතීම හොඳ වැඩක්.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.