ට්‍රම්ප්ගෙන් අප ප්‍රයෝජන ගත යුතුයි

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මේ දිනවල පැවැත්වේ. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක් සමඟ එක්ව ඉදිරිපත් කළ නිර්දේශ අනුව 2015 දී මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරුණු යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව නව යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. මේ කරුණු සම්බන්ධයෙන් නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නමින් පැවැති ආයතනය 2006 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නමින් වෙනස් කරනු ලැබීය. නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් නොතිබුණු මානව හිමිකම් කොමිසම බලපෑමක් වන ආකාරයට ක්‍රියාත්මක වීම සඳහා එසේ මානව හිමිකම් කවුන්සිලය වශයෙන් වෙනස් කෙරිණි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සෑම රටක් ම වසර හතරකට වරක් තම රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ, මානව හිමිකම් කඩකිරීම් ආදිය පිළිබඳ වාර්තාවක් මෙම කවුන්සිලයට ඉදිරිපත් කළ යුතු වේ. මේ කවුන්සිලය තුළ අතුරුදන්වූවන් ගැන සෙවීමට, වධහිංසා ගැන සෙවීමට ආදී වශයෙන් එක් එක් අංශ සඳහා විශේෂ නියෝජිතයෝ (Special Rapporteurs) සිටිති. ඔවුහු රට රටවලට ගොස් සොයා බලා පැමිණිලි තිබේ නම් ඉදිරිපත් කරති. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන්නේ එම මානව හිමිකම් කවුන්සිලයේ සැසියකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මණ්ඩල සකස් කළේ බටහිර රටවල දේශපාලන වුවමනා ඉටු කරගැනීමට බලපෑම් කිරීමේ ක්‍රමවේදයක් ලෙස ය. ලෝකයේ කුඩා රටවල හා තෝරා ගත් රටවල මානව හිමිකම් කඩවීම් ගැන සොයා බැලීම පමණක් සිදුවෙමින් තිබේ. මෙය දේශපාලන අරමුණකින් සිදුවන්නක් මිස මානව හිමිකම් සුරැකීමේ අරමුණකින් සිදු වන්නක් නොවේ. මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමට පෙර මානව හිමිකම් කොමිසම පැවැති කාලයේ පටන් මෙසේ ශ්‍රී ලංකාව බලපෑම්වලට ලක්වූ රටකි. එහිදී අතුරුදන්කිරීම්, වධ හිංසා කිරීම් පිළිබඳ අවධානය යොමුවී තිබිණි. නමුත් එක්සත් ජාතීන්ගේ එම වාර්තාවල තිබෙන කරුණු සත්‍ය කරුණු නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් වාර්තා නිකුත් වීමට ශ්‍රී ලංකාවෙන් ද යම් යම් දායකත්වයන් සිදු වී තිබේ. වහාම කළ යුතු පරීක්ෂණ කලට වේලාවට ඉටු නොකිරීම ඉන් එකකි. උදාහරණයක් ලෙස ත්‍රිකුණාමලය ශිෂ්‍යයන් පස් දෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාව ඔවුන් පැහැර ගැනීම සිදු කළැයි චෝදනා ඉදිරිපත් විය. නමුත් මේ පිළිබඳ පරීක්ෂණ කලට වේලාවට සිදු වූයේ නැත.

ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සමඟ එක්ව 2015 දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව මෙවර සැසියේ දී ඉල්ලා සිටියේය. නමුත් 2015 දී ශ්‍රී ලංකාව එම විදේශ රටවල් සමඟ හවුල් වී එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකළ යුතුව තිබිණි. වසර තිහක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය විනාශ කර දැමූ හමුදා නිලධාරීන් යුද අපරාධ කළැයි සඳහන් කරන යෝජනාවකට ආණ්ඩුවක් සහාය දෙන්නේ කෙසේ ද? එය නොකළ යුත්තකි. යුද හමුදාවක් කටයුතු කරන්නේ රට වෙනුවෙනි. හමුදාවේ කටයුතු කරන යම් යම් පුද්ගලයන් වැරැදි කර තිබීමට පුළුවන. ඔවුන්ට විරුද්ධව නීතියට අනුව කටයුතු කළ හැකිය. නමුත් සමස්තයක් ලෙස යුද හමුදාව යුද අපරාධ කළැයි චෝදනා කෙරෙන යෝජනාවකට ආණ්ඩුවක් සහාය නොදිය යුතු ය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබෙන චෝදනා සත්‍ය නොවේ. උදාහරණයක් ලෙස යුද හමුදාව බාර ගත් දෙමළ කාන්තාවන් දූෂණය කළැයි කරනු ලබන චෝදනාව අසත්‍ය ය. එවැනි දෙයක් සිදු වූ බවට කිසිදු දෙමළ පක්ෂයක් ප්‍රකාශ කළේ නැත. එය අසත්‍ය චෝදනාවක් නිසා ඔවුහු නිශ්ශබ්දව සිටියහ. වාර්තාවේ ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන දැක්වීමේ දී සඳහන් කරන්නේ මෙසේ දූෂණයට ලක්වූවන්ගේ ගණන තවත් වැඩි විය යුතු බව ය. ඒ නිසා මේ වාර්තාවල දැක්වෙන්නේ සාක්ෂි මත එළැඹි නිගමන නොව අනුමාන මත එළැඹි නිගමනයි. එවැනි කරුණු අඩංගු වාර්තා ක්‍රියාත්මක කරන්නැයි යෝජනා කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ හමුදාව, පොලිසිය පුද්ගල වධහිංසා කළැයි මේ යෝජනාවල සඳහන් වේ. මෙයින් උත්සාහ කරන්නේ වධ හිංසා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෙන්වා දීමට ය. එසේ හමුදාව, පොලිසිය කිසිවකුට හෝ වධ හිංසා කර තිබේ නම් ඒ පිළිබඳ අධිකරණය, මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කළ හැකි ය. එමෙන් ම ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ය. එපමණක් ද නොවේ; සිරගතව සිටින ඕනෑම අයකුට තමාට සිදු වූ අකටයුත්තක් පිළිබඳ අග්‍රවිනිශ්චයකාරවරයාට ලියවිල්ලකින් දැනුම් දිය හැකි ය. එය පැමිණිල්ලක් සේ සලකා අධිකරණයට ඉදිරිපත් කිරීමට නීති ආධාර කොමිසමට හෝ නීතිඥ සංගමයට යොමු කිරීම අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිදු කරනු ලබයි. එසේ ම එවන් වධ හිංසා සිදු වී තිබේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පරීක්ෂා කළ හැකි ය. තුවාල සුව වී තිබුණත් කැළල්වලින් පවා එය කුමන කාලයකට පෙර කෙසේ සිදු වී ඇතිදැයි සොයා ගැනීමට තරම් අධිකරණ වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබේ. එහෙත් චෝදනා කරන ආකාරයේ වධ හිංසා සිදු වූ බවට මේ කිසිදු ආකාරයකින් අනාවරණය වී නැත.

දෙමළ ජාතික සන්ධානයත් ප්‍රකාශ කරන්නේ 2015 යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි. මෙහි තිබෙන්නේ දේශපාලන උවමනාවකි. මේ දේශපාලන උවමනාව මත ක්‍රියාකරන අය සිතන්නේ හමුදාව ඒ ප්‍රදේශ අල්ලා ගැනීම දෙමළ ජාතීන්ගේ අභිමානයට පහර දීමක් ලෙසත් එනිසා ඔවුන්ට දඬුවම් කළ යුතු බවත් ය. යම් යම් සිදුවීම් සිදු වී නැතැයි මා පවසන්නේ නැත. ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීමේ වරදක් නැත. එවැනි සිදුවීම් සිදුවූයේ අද ඊයේ නොවේ. ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුව අසා මරණ දඬුවම නියම කිරීම පවා සිදු විය. එනිසා එවැනි සිදුවීම් තිබේ නම් ඒවා සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ හැකි ය.

ජිනීවා ප්‍රශ්නයේ දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඇතැම්හු පෙන්වා දෙති. එහෙත් සහයෝගයෙන් කටයුතු කිරීම යැයි පවසමින් වැරැදි දේ කළ යුතු නැත. අප ඔවුන්ට බැණ වැදිය යුතු නැත. හෙළා දැකිය යුතු නැත. පසුගිය කාලයේ මර්වින් සිල්වා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට අවමන් කළ ආකාරයට කටයුතු කළ යුතු නැත. එහෙත් අපට සාධාරණ ලෙස තර්ක කර සාකච්ඡා කිරීම කළ හැකි ය.

හයිබ්‍රිඩ් අධිකරණ සම්බන්ධ යෝජනාව ද මේ යෝජනාවලියෙන් තවමත් ඉවත් වී නැත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් විදෙස් අධිකරණවල ජාත්‍යන්තර අධිකරණවල කටයුතු කර තිබේ. එම අධිකරණවල පැමිණිල්ල මෙහෙයවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇත. එනිසා ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්, නිලධාරීන් ඉහළ සුදුසුකම්වලින් යුතු පිරිසකි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විදෙස් විනිසුරන් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බව තේරුම් ගෙන තිබේ. එවැනි විනිසුරන් ගෙන්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වේ. ඒ සඳහා ජනමත විචාරණයකට ද යා යුතු වේ.

මෙසේ රටක අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් නීති වෙනස් කරන්නැයි හෝ අසවල් නීති පනවන්නැයි පැවසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැත. නඩු විභාගයකින් තොරව හඳුනා ගත් පරිපාලන නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි මේ යෝජනාවල දැක්වේ. එමෙන් ම මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පත් කිරීම ගැන එහි නීතිය වෙනස් කිරීම ගැන ද මේ යෝජනාවලට ඇතුළත් ය. මෙවැනි යෝජනා ඉදිරිපත් කරමින් රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති අයිතිය කුමක්ද?

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගසන මේ යෝජනා ඉවත් කර ගැනීම උදෙසා අමෙරිකාවේ ඇති වී තිබෙන නව දේශපාලන තත්ත්වයෙන් ප්‍රයෝජන ගත හැකිව තිබේ. අමෙරිකා එක්සත් ජනපදය පසුගිය කාලය පුරා රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගැසීය. බටහිර රටවල ප්‍රතිපත්තිය වූයේ තෝරා ගත් රටවල් අස්ථාවර කිරීම ය. ශ්‍රී ලංකාව ද ඒ අතර විය. ශ්‍රී ලංකාව චීනය සමඟ පැවැති සමීප සම්බන්ධතාව එයට හේතු විය. ආසියා ශාන්තිකර කලාපය ආවරණය වන සේ අමෙරිකා නාවිකා හමුදා කඳවුර පිහිටු වීමේ උවමනාව ඔවුන් සතු විය. ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීම සිදු වන්නේ මේ දේශපාලන වුවමනාව මත ය. නමුත් වර්තමාන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකකි. ඔහු අවධානය යොමු කරන්නේ වෙනත් රටවල් හැදීම කෙරෙහි නොව තම රට හදා ගැනීම සම්බන්ධයෙනි.

දුප්පත්කම, විරැකියාව, අමෙරිකානු ආර්ථිකය චීනය මත රඳා පැවතීම ආදී ප්‍රශ්නවලින් අද අමෙරිකාව පීඩා විඳියි. එනිසා නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය නිවැරැදි ය. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගත යුතුව තිබේ. මේ යෝජනා ඉවත් කර ගැනීම සඳහා අමෙරිකාවට කරුණු පහදා දීම කළ හැකිය. එහෙත් ඒ යෝජනාවලට සහාය දෙන බවට ශ්‍රී ලංකාව පවසද්දී අමෙරිකාවට එයට විරුද්ධ විය නොහැකිය. අමෙරිකාවේ කලින් පැවැති පාලනයේ සමහර නිලධාරීන් තවමත් කටයුතු කරමින් සිටිනවා විය හැකි ය. නමුත් බොහෝ නිලධාරීන් පිරිසක් ඉවත් කර තිබේ. එනිසා එම යෝජනා පිළිබඳ අමෙරිකාවට කරුණු පැහැදිලි කර ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුව තිබේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.