විමල්ට ස්වාධීන වෙන්න ඉඩ නොදෙන ආණ්ඩු භීතිකාව

 ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනට ගිය සතිය පාර්ලිමේන්තුව තහනම් සතියක් බවට පත් විය. දිනේෂ් ගුණවර්ධන වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් කීප දෙනා අතරින් කෙනෙකි. ඔහු බොරළුගොඩ සිංහයා ලෙස විරුදාවලි ලද පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයෙකි. මන්ත්‍රී දිනේෂ්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කවුරුත් පක්ෂ භේදයකින් යුතුව සලකති. ඒ ඔහුගේ එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී පෙන්නුම් කළ දේශපාලන පරිණත භාවය නිසාය.

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරියටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුත් අතර තිබුණේ මහත් ප්‍රසාදයකි. “ කරු කියන්නේ දේශපාලනයේ ඉන්න මහත්මා ගති ගුණ පිරි දේශපාලනඥයෙක්.“ මේ ඔහු ගැන රටේ තිබූ පිළිගැනීමය. කරු දේශපාලනයට පිවිසෙන්නේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරමිනි. ගම්පහ උපන් බිම කරගත් කරු එදා කොළඹ නගරයේ ජනතාවට හදුන්වා දුන් අපුරු පෝස්ටරයක් වීය. ඒ “ ආවොත් කරු පායයි කොළඹට හිරු “ යන්නය. මේ නිසා වත්මන් කථානායක කරු ජයසුරිය සහ වත්මන් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස පිළිගෙන තිබෙන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන දේශපාලන තරාදියේදී සම මට්ටමක ලා කවුරුත් සැලකූහ.

එහෙත් මහත්මා දේශපාලනඥයන් ලෙස සැලකූ මේ දේශපාලන නායකයන් දෙදෙනා අතර පසුගිය සතියට පෙර සතියේ පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයක් ඇවිළිණි. මේ වාදය කෙළවර වුයේ දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුව සතියක් තහනම් වීමෙනි. ඊට හේතු වුයේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කළ නොහැකි බවට කථානායක කරු දුන් තීන්දුවය.

කථානායක කරුගේ මේ තීන්දුව තරමක් විවාද සම්පන්නය. ඊට හේතුව නම් 1947 ඇරැඹි ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ සිට වත්මන් පාර්ලිමේන්තුව තෙක් පාර්ලිමේන්තු ඉතිහාසය පිරික්සීමේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වු දේශපාලන පක්ෂය ඇතැර එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ ස්වාධීන වු මන්ත්‍රීවරු ගණනාවක් සිටිති. 1947 වසරේ සිට තමන් පාර්ලිමේන්තුවට පත් වු දේශපාලන පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂ පිහිටුවාගෙන සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබිණි. ඒ සඳහා ඒ ඒ පාර්ලිමේන්තු නිල කාලය නියෝජනය කළ කථානායකවරුන් විසින් අදාළ නව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා නිසි පිළිගැනීමද ලබා දී තිබිණි.

1948 දී ලංකා ද්‍රවිඩ සංගමය නියෝජනය කළ චෙල්වනායගම් මන්ත්‍රීවරයා ඉන් ඉවත්ව පාර්ලිමේන්තුවේදී ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගෙන තිබිණි. 1956 දී ඇල්බට් එෆ්. පීරිස් මන්ත්‍රීවරයා කථානායක සමයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ඩී. ඒ. රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් එ.ජා.ප යෙන් ඉවත්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන තිබිණි. ඒ අතීත උදාහරණය. අපට මතක මෑත කාලයේද එවැනි ඕනෑ තරම් පාර්ලිමේන්තුවේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් සහ වෙනම දේශපාලන පක්ෂ ලෙස පිළිගත් පක්ෂ තිබේ. 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 43 දෙනෙකු පත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් තරග කරමිනි. පසුව ජ.වි.පෙ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර 4 ක්ද භාර ගත්තේය. නමුත් ඔවුහු පසුව ආණ්ඩුවෙන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණ ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටියහ. 2009 වසරේ අග භාගයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් ජාතික නිදහස් පෙරමුණ ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටියහ. 2010 වසරේදී සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ ලෙස පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් ලෙස පෙනී සිටියේය. ඒ සඳහා එවකට කථානායක චමල් රාජපක්ෂගේ නිල පිළිගැනීම හිමි වීය. එපමණක් නොව වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන ගාල්ලේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටියේය. 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් තරග කළ ජාතික නිදහස් පෙරමුණ , නව වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනම දේශපාලන පක්ෂ ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ පිළිගෙන තිබිණි. එම පක්ෂවල නායකයන් වු විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩියු ගුණසේකර පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම්ද නියෝජනය කළහ. එසේ නම් 2015 මහා මැතිවරණයෙන් එ.ජ.නි.ස යටතේ තරග කළ ජාතික නිදහස් පෙරමුණ මෙවර වෙනම පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ පිළිගත නොහැක්කේ මන්දැයි කවුරුත් ප්‍රශ්න කරති.

මේ ගැන වත්මන් කථානායක කරු ජයසුරිය කියන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නිර්මාණය කිරීම සදහා පාර්ලිමේන්තුවට නොහැකි බවය. එසේ නම් පාර්ලිමේන්තුවේ පුර්වගාමී කථානායකවරුන් දුන් තීන්දු කරුගේ නව තීන්දුවෙන් නිශේධනය වන්නේද? එය බරපතළ ගැටලුවකි. ලෝකයේ බොහෝ පාර්ලිමේන්තු කටයුතු කරනුයේ පුර්වගාමී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුවය. එදා මෙදා තුර ලංකා පාර්ලිමේන්තුවේද පුර්වගාමී කථානායකවරුන්ගේ තීන්දු , සම්ප්‍රදායන් සහ ස්ථාවර නියෝග ක්‍රියාවට නැංවිණි. එසේ නම් කරු ජයසුරිය කථානායක වරයා පුර්වගාමී කථානායක තීන්දුවලට පයින් ගසන්නේ මන්දැයි ප්‍රශ්නයකි.

“ දිනේෂ් ගුණවර්ධන මැති සබයෙන් එළියට දැමීම පිටුපස බරපතළ දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය සතු සියලුම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් පැහැරගෙන. අමව වශයෙන් අපිට පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න හෝ ඉඩක් දෙන්නේ නෑ. 2/23 වරප්‍රසාද පනත යටතේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලැබුණ අවස්ථාව එතුමාගේ පාර්ලිමේන්තු තහනම් සතියේ අපිට කථානායකතුමා දුන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව වෙනුවෙන් නඟන හඩ යටපත් කිරීමට ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කථානායකතුමා ප්‍රසිද්ධියේම කටයුතු කරනවා. මේක අශිලාචාර වැඩක්. “ මේ දිනේෂ්ගේ පාර්ලිමේන්තු තහනම ගැන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම පසුගිය සතියේ කී කථාවකි.

කථානායකතුමාගේ තීන්දුව ගැන ඩලස් අලහප්පෙරුම ගැමි වහරේ අපුරු කතාවක්ද කියා තිබිණි. “ අපේ සාමාන්‍ය ගැමි වහරේ තියෙන්නේ ගිරවා බෙණේ. රිළවා ගහේ කියලයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ ගිරවා ගහේ. රිළවා බෙණේ කියලයි.'

ඒකාබද්ධ විපක්ෂයට අනුව විමල්ගේ පක්ෂයට ස්වාධීන වීමට ඉඩ නොදීම පිටුපස ඇත්තේ ආණ්ඩුවේ අනියත බියක් බව කියවේ. එනම් විමල්ට මේ අවස්ථාව ලබා දුන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු එකිනෙකා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයිද? එමෙන්ම එ.ජා.ප යේ කලකිරී සිටින මන්ත්‍රීවරු කීප දෙනෙක් හෝ ස්වාධීන වෙයිද ? ඒ හරහා වක්කඩ කැඩුවා සේ ආණ්ඩුවේ ගල් එකින් එක ගැලවේද? මෙවැනි ප්‍රශ්න නිසා ආණ්ඩුව විසින් විමල්ගේ පක්ෂයට ස්වාධීන වීමේ පුර්වා දර්ශය නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසය. ඒ සදහා ආණ්ඩුව විසින් කීර්තිමත් දේශපාලනඥයකු වු කරු ජයසුරිය පාවිච්චි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසය. කෙසේ වෙතත් විමල්ගේ ජා.නි.පෙ ට පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉඩ නොදීමේ රහස දන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණක්ම විය හැකිය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.