ඔයත් අපේ ගෙදර යමුද?

මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව

වැලිඅමුණ මහත්මිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය ආවේ ඇය කල්පනාවේ ගැලී සිටියදීය.

සුභද්‍රා ආර්යාව අඩු වශයෙන් නාන කාමරයට පවා යන්නේ තමා දැනුවත්කරය. නිවසින් පිටව යන ඕනෑම අවස්ථාවකදි ලේකම්වරිය ඇය හා යයි. ලේකම්වරිය ගියත් තමා සිටිය යුතුය. රාජකාරි මට්ටමෙන් කෙරෙන හැම කටයුත්තකදීම අදාළ නිලධාරිහු පැමිණ අත්සන් ලබාගෙන යති.

අද ‍මේ කාටත් රහසින් ගියේ නොකෙරෙන වැඩකටය. තරුණ පිරිමින්ගේ ‍සිත්වල ආදරය ප්‍රේමය ඇතිවීම වළක්වනු බැරිය. ලෙයින් මසින් සැදුණු තමාටත් ඒ ආදරයේ සුවඳ දැනී ඇත. එහෙත් මේ ආයාසයෙන් දරා සිටින්නේ ඇගේ කුල ගෞරවය වෙනුවෙනි. කුඩා සේවිකාවක් ලෙස නිවසට පැමිණි තමාට වටිනාකම් ගෞරවයන් බාල්දුකිරීමට ඉඩ දිය නොහැකිය.

සුගන්ධ විමසිලිමත්ව ඒ මේ අත ගමන් කරනු ඈ දුටුවාය.

“අම්මා කොහෙ යනවා කියලද ගියේ?”

“කිව්වෙ නෑ. තේ එකක් හදලා දෙන්නද?”

“මට ඕනැ ඇති තේ එකක් නෑ.” සුගන්ධ පිළිතුරු දුන්නේ තරහිනි.

“ඇයි ‍මා එක්ක තරහ ගන්නෙ. මාත් මේ දුරින් ඉන්න බව තේරෙන්නෙ නැද්ද?” විශ්මිගේ හඬ දුක්බරවී තිබිණි.

“මිස් බාලිකා විද්‍යාලෙ ටීචර්ස්ලා ඇවිදින්.” සේවිකාවක් පැමිණ කීවාය.

“ඇවිදින් ඉඳගන්න කියන්න. මම යන්නද?” ඇය සුගන්ධ දෙස බලා ඇසුවාය.

“ගිහින් එන්නකො. මට ගමනක් යන්ටත් තියෙනවා.”

“එතකොට මම. මැඩමුත් නෑ. මට තනියි.”

“හරි... හරි... ගිහින් එන්න.”

විශ්මි විසිත්ත කාමරයේ සිටින ආචාර්යවරියන් සතුටින් පිළිගත්තාය.

“කෝ මැඩම්...” නියෝජ්‍ය විදුහල්පතිනිය ඇසුවේ වටපිට බලමිනි.

“පොඩ්ඩකට එළියට ගියා. දැන් එනවා ඇති.”

“දැන් චතුරංගිට කරන්නෙ සිංහල බේත් කියල ආරංචියි.” ගුරුවරිය කීවාය.

“දේශීය වෛද්‍යවරුන්ගේ සෙමිනා එකකදි චතුරංගිව පෙන්නුවා. දේශීය වෛද්‍යවරු හැම රටකින්ම ආවා. ඔක්කොම පරීක්ෂා කළා.”

“දේශීය වෛද්‍යක්‍රම නැතිව ගියේ ඉංග්‍රීසි වෙදකම ආවට පස්සෙයි. අද දේශීය‍ වෙදකමට තියෙන සැලකිලි අඩුයි.” නියෝජ්‍ය විදුහල්පතිනිය කීවාය.

“මට මතකයි. විශ්මිටත් වෙදකම් පුළුවන් නේද?” වැලිඅමුණ මෙනෙවිය ඇසුවාය.

“ඔව් මිස් මට පිසියො තෙරපි ලේසි වුණේ ඒකයි. මැඩම් මට යන්න දෙන්නෙ නැත්තෙ ඒකයි. මැඩම් එනවා.” ඇය ගෞරව පෙරදැරිව නැඟී සිටියාය.

මේ එන්නේ මංගල ගමනක් ගොසිනි. වෙහෙසකර බවක් පෙනුණත් ඒ මුහුණේ සැහැල්ලු සිනාවක් සටහන් වී තිබුණි.

“විශ්මි ටීචර්ස්ලට බොන්න දෙයක් දුන්නද?”

“මැඩම් මේ ආවා විතරයි.” නියෝජ්‍ය විදුහල්පතිනිය විශ්මි දෙස බලමින් කීවාය.

“මම වොෂ් එකක් දමලා ආවට කමක් නැද්ද?”

“නෑ නෑ. මැඩම් ගිහින් එන්න.” ඇය පිටව ගිය පසු ඔව්හු පැමිණි කාරණය සාකච්ඡා කළහ.

“විශ්මි නැතිව අපි සිංදු ටික පුහුණු කළා.”

“ඒක හොඳයි.”

“මේ වෙලාවෙ චතුරංගිත් සනීපෙන් ඉන්න එක හොඳා. ඇත්තමයි මම බයෙන් හිටියෙ.”

“චතුරංගි සනීප කරන්න ඔයයි සාරංග සරුයි හුඟාක් මහන්සි වෙනවා.”

“අපි කලාප අධ්‍යාපන කාර්යාලයටයි පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිතුමාටයි ආරාධනා කළා.”

“ටිකට් අලෙවි කරන්නෙ ආදිශිෂ්‍ය සංගමයෙන්. අපිට තව ප්‍රිපෙක්ට්ස්ල ඕනෑ.” විශ්මි කීවේ සැබෑවකි.

“විශ්මිට මේවට එන්ට බැරි වෙයි. එනිසා මේවා කලින් සංවිධානය කරගන්ට ඕනැ.”

“එතකොට සාරංග සර්. එයා ඩාන්ස් එකට එයිද?” නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇසුවේ කුතුහලය පිරුණු දෑසකිනි.

“බයවෙන්ට එපා. අනිවාර්යයෙන් සාරංග එයි.”

සැහැල්ලු ඇඳුමකින් සැරසුණු සුභද්‍රා ආර්යාව පැමිණියාය. තිදෙනා අසුන්වලින් නැගිටින්නට තැත් කරද්දී අතින් සන් කරමින් එය වැළැක්වූ ඇය පුටුවේ ඉඳගත්තාය.

“මැඩම් ලබන සෙනසුරාදා උත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට එන්න ඕනෑ.”

සාරංග සිටියේ එක තීරණයක් ගෙනය. මේ කතාව පටන් ගත්තේ චතුරංගි වෙනුවෙනි. ඇයට ආධාර දීම වෙනුවෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගය පිළිබඳ කතාව මෙතරම් දුරදිග යතැයි සාරංග සිතුවේ නැත. මේ ප්‍රශ්නයට ආධාර පැතූ විශ්මි අද නැත. ඇය සියල්ල තමා වෙත පවරා වෙන්ව ඇතැයි සිතෙයි. ඇය දැන් වෙහෙසෙන්නේ අම්මා සුවපත් කිරීම වෙනුවෙනි. ඇත්තටම අද අම්මා නිරෝගි තත්ත්වයෙන් සිටින්නේ විශ්මි නිසාය. දක්ෂ ප්‍රවීණ සම්භාහන ශිල්පීන් ඇත. අම්මා වැනි කාන්තාවක් පිරිමියෙකුට භාරදිය නොහැකිය. මනා හැඩරුවින් යුතු අම්මා වර්තමානයේ සිටින පිරිමියෙකුට භාරදීමට පුළුවන්කමක් නැත. විශ්මි සම්භාහන කටයුත්ත පමණක් නොව ඇය වෙනුවෙන් කැපව සිටියාය. ඇතැම්විට ඇයට කෑම කවන්නේ විශ්මි විසිනි. හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබූ බව ඇත්තකි. ඇය එයට කැමැති කරවා ගැනීමේ බරපතළ ප්‍රශ්නයක් ද නොවීය. සුගන්ධ වෙනුවෙන් ඒ පරිත්‍යාගය කළ යුතුව ඇත. ඔහු ඇයට උමතුවෙන් මෙන් ආදරය කරන බවක් හැ‍ඟේ. අම්මා අප දෙදෙනාට වඩා විශ්මිට ආදරය කරන බව සාරංග දනී. අම්මා සුවෙන් සිටින්නේ ‘නායිකා’වකගේ කාර්යභාරය විශ්මි භාර ගෙන ඇති හෙයිනි.

බාහිරින් එන ලිපි ලේකම්වරිය විවෘත කර අම්මාට දෙයි. අම්මා කියවා අවසන් වූ පසු විශ්මිට දෙයි. තේ, රබර්, පොල්, කුරුඳු, රා, විනාකිරි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියත් ඒවාට අම්මාගේ අදහස් විමසීම තවමත් කරයි. හෝටල්, ඉස්කාගාර කටයුතු කරන්නේ අම්මාගේ මැදිහත්බවක් නැතිවය.

මොන හේතුවක් නිසාවත් විශ්මි නිවෙසින් පිටකිරීමට බැරිව ඇත්තේ ඇය නිසා අම්මා සතුටින් සිටින බව දන්නා හෙයිනි.

චතුරංගි සෑහෙන වෙලාවක් සාරංග දෙස බලා සිටියාය. ඔහු මේ කරන්ට හදන්නේ කුමක්ද? එය කවදාවත් සඵල කරගත හැකි සිතුවිල්ලක් නොවේ. මිය යන්නට, සදාකාලික අබ්බගාත ගැහැනියකුව සිටීමට යෝජනාවී තිබුණත් තම ජීවිතය බේරා ගැනීමට අත දුන් හැටි සි‍හිවෙයි.

“දැන් චතුරංගිට කොහොමද?”

“ඔයාට පින්සිද්ධවෙන්න මට ගොඩක් සනීපයි. දැන් කොන්සට් එකට ඔයයි, විශ්මියි ඩාන්ස් එක ඉදිරිපත් කරනවනේ.”

“ඔව් අනිවාර්යයෙන්ම”

“කොන්සට් එක ඉවර වුණාට පස්සෙ මොකද කරන්නෙ. මම ගෙදර යන්නද?” චතුරංගි ඇසුවේ දුක්බර හඬකිනි.

“ඔයාට හිත හදාගෙන යන්ට පුළුවන්ද?” සාරංග චතුරංගිට පිළිතුරු දුන්නේ ප්‍රශ්නයකිනි.

“මම මැරෙන්ට හිටපු කෙනෙක්. මට ආයෙ ජීවිතයක් ලබා දුන්නේ ඔය දෙන්නයි.”

“දැන් ඒක ඉවරයි. ඔයාට මේ බේත් ටික බිව්වම හොඳටම සනීප වෙයි.”

“අම්මලට ගිරාදුරුකෝට්ටේ ඉඳන් මාව බලන්ට එන්ට බෑ.”

“මේ උත්සවය ඉවර වුණාම ගිහින් එන්න වාහනයක් දෙන්නම්.”

“ඔයත් අපේ ගෙදර යමු.”

ඈ මෘදු ලෙස සාරංගගේ අතින් අල්ලා ගත්තාය.

ලබන සතියට 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.