ඝෝර භවේ ලෝ ජීවිත කතරේ හිංසා ප්‍රෝඩා බොහො වේ | Page 2 | සිළුමිණ

ඝෝර භවේ ලෝ ජීවිත කතරේ හිංසා ප්‍රෝඩා බොහො වේ

ඕනෑම කතාවකින් (නවකතාවකින් වුණත්) චිත්‍රපට ඕනෑ තරමක් හදන්න පුළුවන්. වෙනස් වන්නේ අධ්‍යක්ෂවරයාගේ කතා කලාවේ ස්වරූපය හා ඔහුගේ දෘෂ්ටිවාදය විතරයි.

ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝගේ ‘ලේ මිස රාබ්ලේ’ නවකතාවෙන් චිත්‍රපට කීපයක්ම නිපදවී තිබෙනවා. අපේ රටේම විතරක් චිත්‍රපට දෙකක් තනා තිබෙනවා (ඒ ‘දුප්පතාගේ දුක’ හා ‘සිරකරුවා’)

1935 දී රිචඩ් බොලෙස්ලවුස්කි ‘ලේ මිසරාබ්ලේ’ ඉංග්‍රිසියෙන් තැනු අතර එහි ප්‍රධාන චරිත දෙක ෆ්‍රෙඩ්රික් මාච් හා චාල්ස් ලෝටන් රඟපෑවා.

‘ලේ මිසරාබ්ලේ’ ඇසුරෙන් තැනුණු කෘති තුනක් මා දැක තිබෙනවා. එකක් අපේ ‘දුප්පතාගේ දුක’. දෙවැන්න ‘එලෙයි පඩුම් පාඩු’ නමැති දෙමළ චිත්‍රපටය. තුන ‘ලේ මිස්රාබ්ලේ’ යන නමින්ම යුතු එංගලන්ත ටෙලි චිත්‍රපටය.

‘දුප්පතාගේ දුකත්’ අනිත් සිංහල චිත්‍රපටය වන ‘සිරකරුවාත්’ ආගමික ප්‍රවේශය අතින් එකිනෙකට වෙනස්. මුල් කෘතියේ මෙන්ම ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ ද එන්නේ පූජකවරයෙකුගේ චරිතයක්. ඒත් ‘සිරකරුවා’ චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ බෞද්ධ භික්ෂුවක් මුල් චිත්‍රපටයේ කතා නායකයා පාන් ගෙඩියක් සොරකම් කරන අතර අනිත් චිත්‍රපටයේ සොරකම් කරන්නේ ආප්පයක්.

‘එලෙයි පඩුම් පාඩු’ චිත්‍රපටය මං නැරැඹුවේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ. ඒ 1999 දි විතර ‘ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ප්‍රොඩියුසස් ගිල්ඩ් ඔෆ් සවුත් ඉන්ඩියා’ යන නමින් ඇති ආයතනයේ මිනි (ටිකිරි) සිනමාහලක් තියෙනවා. එහි මොකක් හෝ පැරැණි දෙමළ චිත්‍රපටයක් මාසයකට වතාවක් රැස්වී නැරැඹීම මේ ආයතනයට සම්බන්ධ කලාකරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාවලියක්. මා ඉන්දියාවේ සිටි දිනවල දෙමළ සිනමා ලේඛක හා විචාරක රන්දූර් ගයි මට එදින තිරගත වන මේ චිත්‍රපටය නරඹන්ට ආරාධනා කළා. එය නැරැඹීම සඳහා පැමිණි අය අතර පැරැණි දෙමළ නළුනිළියනුත් හිටියා. ඇතැම් විට ඔවුන් ‘එලෙයි පඩුම් පාඩු’ චිත්‍රපටයේ රඟපෑ නළුනිළියන් වන්ට පුළුවන් මා දන්නේ එම්. ජී. ආර්, සිවාජි, ජයලලිතා වගෙ නළු නිළියන් දෙතුන් දෙනකු ගැන විතරක් නිසා ඔවුන් කවුරුන්දැයි මා හඳුනා ගත්තේ නැහැ.

‘ලේ මිස්රාබ්ලේ’ කතා පුවතේ සොරාත් (සිරකරුවාත්) පොලිස් නිලධාරියාත් එකිනෙකට සමාන්තරව යන ප්‍රබල චරිත දෙකක්. දක්ෂ නළුවන් දෙදෙනකුට වෘත්තිය තරගයකින් යුතුව රඟපාන්න පුළුවන් අනර්ඝතම අවස්ථාවක් මේ චරිත දෙක විසින් සපයනු ලබනවා. ‘එලෙයි පඩුම් පාඩු’ චිත්‍රපටයේ සොරා ලෙස සී. වී. නාගයියා රඟපෑ අතර පොලිස් නිලධාරියා ලෙස ජේ. සීතාරාමන් රඟපෑවා. ඇත්ත වශයෙන්ම මෙහි ඔවුන් දෙදෙනාම කරට කර රඟපානවා යැයි කියන්ට පුළුවන්.

සිංහල චිත්‍රපටයේ සොරා ලෙස ලැඩී රණසිංහත් පොලිස් නිලධාරියා ලෙස මාක් සමරනායකත් රඟපානවා. මෙහි වඩාත්ම විශිෂ්ට චරිතාංග නිරූපණයේ යෙදෙන්නේ මාක් සමරනායක. ඔහුගේ රඟපෑම සිංහල සිනමාවේ මුල් යුගයේ රඟපෑම් අතරින් සුවිශේෂව කැපී පෙනෙන්නක්. ඒ රඟපෑම දෙමළ චිත්‍රපටයේ සීතා රාමන්ගේ රඟපෑම නිසැකවම අබිබවා යනවා. කොටින්ම මා නරඹා ඇති ‘ලේ මිසරාබ්ලේ’ ඉංග්‍රීසි ටෙලි චිත්‍රපටයේ ඇන්තනි පර්කින්ස්ටත් වඩා හොඳින් මාක් රඟපාන බව කීම අතිශයෝක්තියක් නෙමෙයි.

‘ලේ මිසරාබ්ලේ’ නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයක් සිංහලෙන් තිබේ ද යන්න සැකසහිතයි. ඊරියගොල්ලගේ ‘මනුතාපය’ පොත හා දීන දුක (කතුවරයාගේ නම අමතකය) වැනි පරිවර්තන සංක්ෂිප්තයි. විජේරත්න දොළවත්ත මීට වසර දහයකට විතර ඉහත පරිවර්තනය කළ ‘මනස්තාපය’ කෙබඳු පරිවර්තනයක්දැයි කියන්ට මා දන්නේ නැහැ.

‘ලේ මිසරාබ්ලේ’ නවකතාවෙන් පිළිබිඹු කරන්නේ 1700 ගණන්වල ප්‍රංශ සමාජය. පාන් ගෙඩියක් සොරකම් කළ වරදට අවුරුදු 19ක් සිරගත කරවා මිනිසකුගේ ඉරණම මුළුමනින්ම වෙනස් කරන්න තරම් කෲර වූ නීති පද්ධතියක් තමයි එදා තිබුණේ. ඔහු පාන් ගෙඩිය සොරකම් කළේ ඇයි? ඊට හේතු වුණු කරුණු මොනවද යන මානුෂික ප්‍රශ්න නීතියට අදාළ නැහැ; නීතියට වැදගත් නැහැ.

ලෝක සාහිත්‍යයේ අමරණීය කෘතියක් වන ‘ලේ මිස්රාබ්ලේ’ ඉදිරියටත් විවිධ ප්‍රතිනිර්මාණ ඔස්සේ අපට දැකගන්ට ලැබේවි.

 

පසු සටහනක්

(පසුගිය ජනවාරි 22 ‘රසඳුන’ පළවූ මෙම තීරු සටහනේ ඇතුළත් ‘ජනසවිය’ යන වචනය අරිසෙන් අහුබුදුගේ නොව තමාගේ නිර්මාණයක් බව මහවැව ඩබ්ලිව්. එස්. බැසිල් ප්‍රනාන්දු මහතා අපට දන්වා එවා ඇත.)

Comments