වයිට්ලීෆ් දුවා දරුවන්ගේ දස්කම් විස්කම්

 වයිට්ලීෆ් ප්‍රාසංගික කලා ඇකඩමියේ (Whyte leafe Performing Arts Academy) සමීපරූපයක් සමඟ, ඇකඩමියේ නිර්මාතෘ නාලක ස්වර්ණතිලකගේ සමීපරූපයක් ද ඉන්ද්‍රචාපට හසුවේ. වයිට්ලීෆ් ඇකඩමිය අවුරුදු 5 - 16 අතර දූ පුතුන්ගේ මනස නිර්මාණශීලී පරිකල්පනයෙන් යුත්, ප්‍රීතිමත්, සංතුෂ්ටිමත් දරුවන්ට ජීවිතයේ රිද්මය මෙයැයි හඳුනා ගැනීමට පුහුණු කෙරෙන ආයතනයක් ලෙසයි, ඉන්ද්‍රචාපගේ සමීප රූ අතර පසුගිය වසර කිහිපය පුරා ඇඳී ඇත්තේ.

පිනි පොද වැස්ස, ඔවුන‍ගේ කුසලතා වාර්ෂිකව කරළියට රැගෙන එන ප්‍රසංගයයි. එහිදී අවුරුදු පහ අට වයස් කාණ්ඩයේ ළා බාලම දුවා දරුවන් තම වැඩිහිටි සොයුරු සොයුරියන් සමඟ කරට කර සිට දස්කම් දක්වනු ඉන්ද්‍රචාප දැක ඇත.

ඔවුන’තරින් විශිෂ්ට කුසලතා ප්‍රදර්ශනය කළ දුවා දරුවන්ට විශිෂ්ටතා සම්මාන ප්‍රදානය වාර්ෂිකව පැවැත්වෙන්නේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී, ගෞරවනීය, ආරාධිත විශිෂ්ටයන් ඉදිරියේය. වයිට්ලීෆ් ඇකඩමි විශිෂ්ටතා සම්මාන 2017 මෙවර පැවැත්වුණේ ද, විශිෂ්ට චරිත රැසක් හමුවේ බව පසුගිය හතරවැනිදා සන්ධ්‍යා භාගයේ පැවැති උත්සවයේ සමීප රූපයෙන් ඉන්ද්‍රචාප දකී.

සේවාර්ජිත මහාචාරිනී, කුසුමා කරුණාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, කොළඹ සාන්ත පාවුළු බාලිකා විදුහල්පතිනි සුමේධා ජයවීර, සිනමාවේදී සනත් ගුණතිලක, රූපවාහිනි මාධ්‍යවේදී චමින්ද ගුණරත්න, ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න ආදීන් සමඟ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රුවද ඉන්ද්‍රචාපට පෙනිණ.

වයිට්ලීෆ් ඇකඩමියේ වර්තමාන දුවා දරුවන් අයත් වන්නේ කුමන සමාජ පංතියකට ද, ඔවුන් මෙන් ම කුසලතා අපමණ ඇති සැඟවුණු දුවා දරුවන් අප සමාජයෙහි කොතෙක් වේදයන්න පිළිබඳ හැඟීමකින් යුතු කෙටි දෙසුමෙහිදී අමාත්‍ය පාඨලී පැවසූ වදනක් ම සිත තදින් කාවැදිණ.

කොළඹ නගරයේ පමණක් ලිපිනයක් නැති පවුල් (ඇඩ්ඩ්‍රස් නැති) හැත්තෑ දහසක් පමණ සිටින බවත් ඔවුනට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති බවත් පැවසූ ඇමැතිතුමා, මිනිස්සුන්ට ගෙවල් දොරවල් විතරක් දීල වැඩක් නෑ, ඔවුනට ජීවිතය දෙන්න ඕන කියා පැවසුවේ, ජීවිතය යනු හිසට වහළක් පමණක් නොවේ යන්න සිහිපත් කරමිනි. ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයට, සෞන්දර්ය, කලාව ළං කළ යුතුවේ. ඔවුනගේ දුවා දරුවන් ගේ නිර්මාණශීලී කුසලතා සොයා ගත යුතු වේ.

සමාජය ඉල්ලා සිටින යහපත් පුරවැසියන් ලෙස ඔවුන් ගේ ජීවිත නැවුම් සිතුවිලිවලින් පුරවා ලෝකයට හඳුන්වා දිය යුතුය. වයිට්ලීෆ් ඇකඩමිය වැනි ආයතන විසින් ඒ සඳහා කළ හැකි සහභාගීත්වය, දායකත්වය, ඉටු කළ යුතු යුතුකම ඉන්ද්‍රචාපට පෙනේ. සනත් ගුණතිලක, හේමනලින්, කුසුමා කරුණාරත්න, අත්තනායක එම්. හේරත් මෙන් ම සුමේධා ජයවීර ආදී වියතුන්ගේ අදහස් තුළින් ද වයිට්ලීෆ් දුවා දරුවන් අලුතින් සිතන්නට පුරුදුවන්නට ඇත.

විශිෂ්ටතා සම්මාන උලෙළේ සම්මාන දිනූ දූ පුතුන්ගේ ප්‍රතිභාන්විත නිර්මාණ කෞශල්‍යය විස්මිත ය. හොඳ ම කථිකයා, විවාද කණ්ඩායම තම විෂය තෝරා ගැනීමට දැක්වූ නිර්භීතත්වය, සයිටම් වැනි අතිශයින් ආන්දෝලනාත්මක මාතෘකාවක් ‍තෝරා ගැනීමෙන් ම පෙනිණ.

හොඳම ව්‍යවසායකයා තේරීම සඳහා පැවැති තරගයකදී, වයිට්ලීෆ් දියණියක් තම ව්‍යාපෘතිය key tags අලෙවියෙන් රුපියල් විසිදහසක පමණ ලාබයක් ලැබූ බව ප්‍රකාශ වූ මොහොත ඉන්ද්‍රචාපට අමතක නොවේ. අනාගතයේ දී ඈ නිසැකවම, සූර ව්‍යාපාරිකාවක් වනු ඇතැයි ඉන්ද්‍රචාපට හැඟිණ. රංගන, නර්තන හා ගායන ඉදිරිපත් කොට ජය ලැබූවන් හා සහභාගීවූවන්ගේ කුසලතා තිරයේ දිස්වද්දී ඉන්ද්‍රචාපගේ සිත මේ දූ පුතුන් වෙනුවෙන් ආඩම්බරයෙන් පිරිණ.

පාසල් මට්ටමේ දූ දරුවන් අතර, නිර්මාණ විචාරය සඳහා වූ තරගයට සහභාගී වූවන් මෙන් ම ජය ලැබූවන් ද ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර ඇ‍ඳේ. ඔවුහු නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීත, මෙන් ම සාහිත්‍ය කෘතීන් ද විචාරයට ලක් කිරීමට උත්සාහ ගත්හ. හැරී පොටර් ගේ කෘති මෙන් ම, විලම්බීත නවකතා ද ඔවුනගේ විචාර මාතෘකා අතර තිබූ බව ඉන්ද්‍රචාපගේ සමීපරූප සාක්ෂි දරයි.

විශිෂ්ට කුසලතා සම්මාන ප්‍රදානෝත්සවය අලංකාර කළ ඇකඩමියේ නර්තන ගුරුවරියන් ගේ නර්තනාංගය ද සමීප රූපයෙන් පෙනේ. වයිට්ලීෆ් දුවා දරුවන්ගේ නිර්මාණශීලීත්වය හඳුනාගෙන, නිසි මගට ඔවුන් කැඳවීමට දෙනු ලබන අධ්‍යාපනය මෙන් ම පුහුණුව ද නිසා මේ දුවා දරුවන්ගේ දස්කම් විස්කම් ලොවට පෙනේ. ඔවුන්ට නිසි මඟ කියාදෙන නාලක ස්වර්ණතිලක සමීප රූපය වසා ගනී.

  

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.