අවදියෙන් දුටු සිහිනයකි රෑ

 නිස්කලංක ඉරිදා දිනවල සිහින දකින මැදිරැය තෙක් රූපතිරය මත ඇදි-ඇදී යන ‘සිහිනයකි රෑ’ වැඩසටහන පසුගිය සති අන්තයේ දී නැරඹීමෙන් ලත් ආහ්ලාදය මතකයෙන් අකා-මකා දැමිය නොහැකි තරම් ය. මේ අකුරුවලට පෙරළෙන්නේ එයයි.

මාර්තු 05 ඉරිදා වැඩසටහන වර්ණවත් කළ අපූරු සුසංයෝගය ගැන මුලින් ම යමක් කිව යුතු ය. ඒ නව ලංකා සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහ සංගීතවේදී නදීක ගුරුගේ ය. භාරතීය අලංකාරිකයන්ගේ වචනයෙන් කියන්නේ නම් මේ දෙහෝරාව තුළ මේ දෙදෙනා අප රැගෙන ගියේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ය. ඒ වූ කලී මතකයේ පැලපදියම් වූ කර්ණරසායන ගී අසමින් ම අර්ථවත් අපූරු අදහස්, සංවාද ශ්‍රවණය කිරීමට ප්‍රේක්ෂකයාට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ම වූවේ ය.

මේ වැඩසටහන ප්‍රේක්ෂකයන් අතරේ කිසියම් ප්‍රසාදයක් දිනා සිටින බව නිබොරු ය. පසුගිය සතියේ එය වඩාත් තීව්ර ව දැනුණේ ආරාධිතයාත් ගායකයාත් ඇසූ-පිරූ තැන් ඇති හැදෑරීම්වල නියුතු වූවන් ම වූ නිසා ය.

කාලයන්ත්‍රයකින් මෙන් අප නිමේෂයක් තුළ අතීතය වෙත ඔසවාගෙන ගොස් රඳවා තබන හාස්කම කළ හැකි වන්නේ සංගීතයට ය. නැතහොත් ගීතයට ය. එවැනි ගීතයක් අසන අපි ඇසිල්ලකට කුඩා දරුවන් බවට පත්වෙමු. නව යෞවනයේ කිරුළු දරමු. මිල දී ගත නොහැකි මේ අපූරු වරප්‍රසාදය වික්‍රමබාහු කරුණාරත්නයන් ඉල්ලා සිටි ගී වලිනුත් නදික ගුරුගේ ඒවා ගායනා කළ ආකාරයෙනුත් අප නොඅඩුව ම ලැබු බව නොමසුරු ව කිව යුතු ව තිබේ. මේවා ජීවිතයේදි අප ලබන, අපට ලැබෙන ඉතා දුර්ලභ ගණයේ ප්‍රතිලාභයන් ය.

මේ වැඩසටහන අතරතුර අප තුළ වඩාත් ම කාව්‍ය සංකල්පනා ජනිත කළ ගීතය කුමක් දැයි කිසිවකු විමසුවහොත් දිය යුතු සෘජු පිළිතුරක් ද අපට තිබේ. ඒ, ‘එන්න මඳනලේ ගොස් පවසන්න දුක මගේ’ යන්නයි. මින් අදහස් වන්නේ ‘බිම්බරක් සෙනග’, ‘ශාන්ත මේ රෑ යාමේ’ ආදි සෙසු ගීත දෙවැනි තුන්වැනි තැන් ගන්නා බවක් නොවේ. එහෙත් ‘එන්න මදනලේ’ ගීතයේ තනුව, පදවැල හා ගායනය අප සංදේශ කුරුල්ලෙකුගේ පියාපත් අතර රැඳවුවේ ය. ආදරයේ, ශෝකයේ, විරහවේ සංදේශය ද සමඟින් අපි සිත් සේ ගුවනේ සැරිසැරුවෙමු.

‘එන්න මඳනලේ’ ගීතය ලියා ඇත්තේ කරුණාරත්න අබේසේකර නම් වූ ප්‍රතිභා සම්පන්න ගීත රචකයා ය. ඔහු ඒ ගීතයෙන් ඉල්ලීමක්, ආයාචනයක් ඉදිරිපත් කරන්නේ සුළඟට ය. ඒ සිය පෙම්වතියට පණිවිඩයක් රැගෙන යෑම අරබයා ය. පණිවිඩ පෙට්ටියේ පිරී ඇත්තේ දුක ය.

එන්න මදනලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈ‍ඟෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගේ කනට ළං වෙලා

මේ ගීතය පිළිබඳ විග්‍රහයක යෙදුණු වික්‍රමබාහු කරුණාරත්නයන් කීවේ එය කරුණාරත්න අබේසේකර සූරීන්ගේ පෞද්ගලික අත්දැකීමක් පාදක ව ලියැවුණකැ යි තමා අසා ඇති බව ය. අප අසා ඇත්තේ ද ඒ කතාව ම ය. කරුණාරත්න අබේසේකර සූරීන් තම පෙම්වතිය වන ඉරානි සමඟ අතිනත ගත්තේ දුර්ග තරණයකින් අනතුරුව බව අප අසා තිබේ. එසේ සටන් වැද දිනා ගත් සොඳුරිය සමඟ යුගදිවි අරඹා කලක් ගත වූ පසු ව දොඩමලූ මිනිසුන්ගේ කටකතා, ඕපා දූප කතා ඔහුට ඇසී තිබිණ. ඒවාට නොසැලී මුහුණ දෙන්නැයි ඇයට කියමින් ඔහු ලියු පදවැලක් ද මේ මොහොතේ දී මගේ සිහියට නැගුණේ ය. ‘දොඩමලූ ගිරවුනි’ යනුවෙන් නම් කර තිබු ඒ කවි පන්තියේ මුල් කවිය මෙවැනි ය.

නික්මෙයි කටකතා ඊතල නැතිව දුනූ
නොබිඳේවා එයින් යුගදිවි වෙණෙහි තනූ
වියළනු පිණිස දොඩමලූ පිනි පතිත වුණූ
දේවිය උදාගිර හිරු මෙන් සිනහ සෙනූ

බොහෝ කාලයකට පෙර තිලකසිරි ප්‍රනාන්දු නම් වූ ගායකයාගේ ගැඹූරු ගම්භීර හඬින් ගැයුණ මේ ගීතය නදීක ගුරුගේ මෙදා ගායනා කළේ නව අරුත්, නව හැගුම් උපද්දවන ආකාරයට ය. මේ ගීතයේ පදවැල්, තනුව හා සංගීතය ගැන කතා කරමින් වික්‍රමබාහු කරුණාරත්නයන් කීවේ මේ ගීතය අන්තර්ජාතික මට්ටමට එක්වීමට තරම් විශ්වීය ගුණයකින් යුතු වූවකි යි කියා ය. එහෙත් කරුණාරත්න අබේසේකරයන් ලියා ඇත්තේ අවර ගණයේ ගීත යැයි සිතා සිටින්නෝ ද මේ රටේ සිටිති. ‘සිහිනයකි රෑ’ වැඩසටහනට අප කෘතඥතාව පළකළ යුත්තේ මේ ගීතයට වේදිකාවක් නිර්මාණය කරදීම අරබයා ය. ප්‍රශ්නය වන්නේ අපේ බොහෝ විද්යුත් මාධ්‍යවලින් මේ විශ්වීය ගුණ සපිරි ගීතයට අවකාශයක් නිර්මාණය නොවීම ය.

ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝදූතයක් කළා
මට කොයින් ද එම වලා
ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා

මේ පදවැල්, මේ අදහස් ඕනෑ ම යුගයක වෙසෙන තරුණ තරුණියන්ට දැනෙන සුලූ ය. හැඟෙන සුලු ය. සොබා දහමේ වස්තූන් හා ප්‍රේමවන්තයකුගේ සබඳතා සාධනය තුළ පවත්නා චමත්කාරය ඕනෑ ම සිතකට නිරායාසයෙන් අවශෝෂණය වෙයි. වර්තමාන අරුතින් අපේ සිත්සතන් තුළ මැවී යන දේශපාලනඥයාට නම් ඒ චමත්කාරය අහිමි ය. වාමාංශික පක්ෂයක මෙවැනි සුදු-මුදු හදවත් ඇත්තවුන් සිටිය හැකි දැයි තවත් කිසිවකුට සිතෙන්නට ද පුළුවන. එහෙත් වාමාංශිකයන් දරදඬු මිනිසුන් යැයි සිතා සිටින්නේ ‘වම’ වරද්දාගත්තවුන් ය. මාක්ස්වාදය ගැන, පන්ති සටන ගැන, නිර්ධන පන්ති අරගලය ගැන කොතෙකුත් හඬ නැ‍ඟෙන මුවකින් ‘සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා’ වැනි සරල පදවැලක්, ගීතයක් ගැයෙන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරනු ඇත්තේ ද එවැන්නන් ය. එහෙත් නිරීක්ෂණාත්මක ව සිතා බලන්නකුට අවසාන විනිශ්චයේ දී සාක්ෂාත් වන්නේ මේ ප්‍රශ්න කිසිවක් ප්‍රශ්න නොවන බව ය.

‘එන්න මඳනලේ’ ගීතයේ විශ්වීය ගුණය මා දන්නා තරමින් මුලින් ම පෙන්වා දුන්නේ වාමාංශිකයකු වන වික්‍රමබාහු කරුණාරත්නයන් ය. ඒ ඔහු ඉතා සූක්ෂ්ම ලෙස මේ ගීතය අවශෝෂණය කරගෙන ඇති නිසා ය. එහි බෙහෙවින් ම හැඟුම් දනවන්නේ පදවැල ය. ලියොන් ට්‍රොට්ස්කිගේ ‘සාහිත්‍ය හා විප්ලවය’ කෘතියේ ‘අනාගතවාදය’ නම් වූ පරිච්ඡේදයේ කිසියම් කොටසක් මේ මොහොතේ දී මගේ මතකයට නැඟේ. එහි සඳහන් ව ඇත්තේ ද භාෂාවේ, වචනයේ මහිමය පිළිබඳව ය. ගෘහ නිර්මාණය හැරුණු විට කලාව තාක්ෂණය මත රඳා පවතින්නේ අවසාන විග්‍රහයේ දී පමණ ය. එනම්, තාක්ෂණය සියලූ සංස්කෘතික උපරි ව්‍යුහයන්ට පදනම වන තාක් දුරට ය. කලාව, විශේෂයෙන් ම වචනවල කලාව ද්‍රව්‍යමය තාක්ෂණය මත ප්‍රායෝගික ලෙස රඳා සිටීම වැදගත් නො වේ. කිසි යම් රුසියානු පිටිසර පළාතක ඈත කොනක සිට කැඩුණු පැන්සල් කොටයකින් අහස සිඹින දැවැන්ත ගොඩනැගිලිවල ද ගුවන් නැව්වල ද සබ්මැරීන්වල ද ගුණ ගයන කාව්‍යයක් ලිවිය හැකි ය. ඒ ප්‍රදේශයේ දීප්තිමත් පරිකල්පන ශක්තිය දැල්වීම සඳහා අහස සිඹින ගොඩනැගිලි ද ගුවන් නැව් ද සබ්මැරීන ද ඇ‍ෙමරිකාවේ තිබීම හොඳට ම ප්‍රමාණවත් ය. සියලූ ද්‍රව්‍යයන් අතර ඉතා මත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි දෙය නම් මානව වචනය යි.

(ලියොන් ට්‍රොට්ස්කිගේ සාහිත්‍යය හා විප්ලවය - 190 පිටුව - පරිවර්තනය: මහාචාර්ය සුචරිත ගම්ලත්)

පුදුමයට කාරණාව වන්නේ මේ වැඩසටහනට මා සහභාගි වුයේ නම් මගේ ඉල්ලීම් ලෙස ගුවනට මුසුවනු ඇත්තේ ද මේ ගීත කිහිපය ම වීම ය. වෙනසක් වුව හොත් එය එකක් හෝ දෙකක් පමණ ය. කෙසේ වුව ද මේ සත්කාරය සම්බන්ධයෙන් ‘සිහිනයකි රෑ’ නිෂ්පාදකවරයාට ද අපගේ ප්‍රසාදය බෙදී යා යුතු ය.

කැත්ලීන් ජයවර්ධන 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.