ආදරය රඟපෑමක් නොකළ රාජ් කපූර්ගේ චරිත නිරූපණය

 එක්තරා කලෙකදි මගෙ ප්‍රියතම හින්දි චිත්‍රපට නළුවා වුණේ රාජ් කපූර්. ඒ විශේෂයෙන් ඔහු රඟපෑ ‘සංගම්’ චිත්‍රපටය දැක්කට පස්සේ. එහි ආ මුකේෂ්ගේ ගීතවලින් මා මුසපත් වුණා. ඒවා එතරම් ම රොමෑන්ටික් සින්දු.

නළුවකු විදියට වගේ ම අධ්‍යක්ෂවරයෙක් විදියටත් රාජ් කපූර්ගෙන් ඉන්දීය ජනප්‍රිය සිනමාවට වූ සේවය කාටත් අගය නොකර ඉන්ට බැහැ.

රාජ්ගේ පසුකාලීන චිත්‍රපට කෙසේ වෙතත් මුල් යුගයට අයත් බොහෝ චිත්‍රපට (බර්සාත්, ආචාර, ශ්‍රී 420, බූට් පොලිෂ්, ජිග්දේශ් මෙගංගා බෙහෙති හෛයි වැනි) මා නරඹා තිබෙනවා. ඇතැම් චිත්‍රපටවල අධ්‍යක්ෂ ලෙස නාමාවලියේ අන් අයගේ නම් යොදා තිබුණත් ඒ චිත්‍රපටවලට රාජ්ගෙන් ලැබුණු නිර්මාණ දායකත්වය අතිමහත්.

රාජ්ගේ චිත්‍රපටවල එක්තරා පොදු තේමාවක් දකින්න පුළුවන්. ඒ නිදහසින් පසු බිහිවුණු ඉන්දීය මිනිසා මුහුණපාන නොයෙක් සාමාජික ප්‍රශ්න හා වියවුල් සහගත තත්ත්වය.

රාජ් බොහෝ විට තමාගේ කතා නායකයා බවට පත්කරගන්නේ රාජ් හෝ රාජු නමැති අහිංසකයකුගේ චරිතය. ඔහු බොහෝ විට නන්නත්තාරවාදියෙක්. ගී ගයමින් ඉබාගාතේ ඇවිදින්නෙක්.

මේ ගීතවලින් පවා රාජ් තම ජාතිය ගැන, දේශය ගැන උත්තරීතර හැඟීම් දනවන්ට සමත් වනවා. ‘ශ්‍රී 420’ චිත්‍රපටයේ මුකේෂ්ගේ පසුබිම් හඬින් රාජ් ගයන ‘මේරි ජුවා හෛයි ජපානි’ නමැති ගීතයේ පද්‍යාර්ථයක් මෙසේයි.

“මගේ පා රැඳි සපත්තුව ජපානයේ
මගේ ගත රැඳි කෝට්, කලිසම එංගලන්තයේ
මගේ හිස පැලැඳි තොප්පිය රුසියාවේ
නමුත් හදවත නිරතුරුව ඉන්දියාවේ”

රාජ් රඟපෑ ඉහත දැක්වෙන චරිත චාලි චැප්ලින්ගේ අනුකරණයක් විදියටත් ගන්න පුළුවන්.

කලකට ඉහතදි ඉන්දීය සිනමාවේ ඉතිහාසය අලළා තැනුණු වාර්තා චිත්‍රපටයක් (ෆ්‍රේම් විතින්ද ෆ්‍රේම්) විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේදි මට දැකගන්ට ලැබුණා. එහි රාජ් කපූර්ගේ සම්මුඛ සාකච්ඡාවක් ද ඇතුළත්. සිනමාව බහු කලා මාධ්‍යයක් යැයි කියන රාජ් සංගීතය, ගීත, නැටුම්, භූමි අලංකරණය වැනි අංශ ඔස්සේ රසිකයන් කුල්මත් කරවන බව කියා සිටියා.

රාජ් තරම් ජනප්‍රිය සිනමා ප්‍රවාහයේ උපක්‍රමික ලක්ෂණ දැන සිටි අන් හින්දි සිනමාකරුවකු නැති තරම්. ‘බයිබලය’ තියෙන තාක්කල් චිත්‍රපට කළහැකි යැයි සිසිල් බී. ඩිමිලි කීවාක් සේ රාජ්ට සිනමාවට නඟන්ට කතා වස්තු ඉන්දීය පුරාවෘත්තවලින් හා සමකාලීන සමාජ අත්දැකීම් වලින් පිරී තිබුණා. දේශානුරාගය, ප්‍රේමය, විරහව, සංගීතය, ලිංගිකත්වය ඔහුගේ ප්‍රියතම වට්ටෝරු, අංගෝපාංග.

මෙහිදී සංගීතය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. රාජ්ගේ බොහෝ චිත්‍රපටවල සංගීතඥයා ශන්කර් සහ ජායිකිෂන් යුවළ.

ඇත්තට ම මේ දෙදෙනා සිනමා සංගීත ක්ෂේත්‍රයට ආවේ රාජ්ගේ පියා සතුව තිබූ ‘ප්‍රීත්වි තියටර්’ ඔස්සේ. රාජ්ගේ මුල්ම අධ්‍යක්ෂණය වන ‘බර්සාත්’ චිත්‍රපටයේ සංගීතයෙන් ඔවුන් දිගු ගමනකට පළමු පියවර තැබුවා.

මුකේෂ්, රාජ්ගේ රූපකායට වඩාත්ම ගැළපුණු පසුබිම් ගායකයා.

ඔහුට තිබුණේ ඉතාම මිහිරි වූත් සංවේදී වූත් විශේෂයෙන් විරහවට බර ගායන ශෛලියක්. රාජ් ඉන් නොමඳ ප්‍රයෝජන ගත්තා. ශෛලේන්ද්‍ර තමයි රාජගේ අදහස් ගී සංකල්පනාවන්ට නැඟුවේ.

රාජ් කපූර් පවුල මුළු හින්දි සිනමා කර්මාන්තය පුරාම අතු ඉති විදහා වැඩුණු මහා වෘක්ෂයක්. රාජ් වේදිකා හා චිත්‍රපට නළු ප්‍රීත්විරාජ්ගේ පුත්‍රයෙක්. ශම්මි හා ශයි අනිත් පුත්‍රයන් දෙදෙනා. රාජ්ගේ පුතුන්ද (රන්ධීර්, ඍෂි) සිනමාවට රංගනයට අවතීර්ණ වුණා. කරීනා කපූර් රාජ්ගේ මිනිපිරියක්.

රාජ් සිංහල සිනමාවට ද කිසියම් ආකාරයකින් සම්බන්ධයි. ඔහු වතාවක් හෝ දෙකක් ලංකාවට පැමිණ තිබෙනවා.

‘රේඛාව’ නැරඹූ ඔහු ලෙස්ටර්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මුදල් ආයෝජනය කරන්නැයි නිෂ්පාදන කේ. ගුණරත්නම්ගෙන් ඉල්ලා සිටියා. ‘සංදේශය’ එහි ප්‍රතිඵලයක්.

තමාගේ ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය ඉන්දියාවේදි රජත මයුර සම්මාන හිමිකරගත් අවස්ථාවේ රාජ් කපූර් තමාව ෂැම්පේන්වලින් නහවා තම උණුසුම් සතුට ප්‍රකාශ කළ ආකාරය වරක් සුගතපාල සෙනරත් යාපා වරක් මා ඉදිරියේ සිහිපත් කළා.

රාජ්ගේ චිත්‍රපට ගැන හොඳ ම විග්‍රහය කරලා තිබෙන්නේ බනී රූබන් නමැති ලේඛකයා. ඔහු ‘රාජ් කපූර් ද ෆැබියුලස් ෂෝමන්’ කියලා පොතක් ලිව්වා. රාජ් කපූර් කියන්නේ ෂෝමන් කෙනෙක් විදියටයි ඔහු එහිලා හැඳින්වූයේ.

විමල් දිසානායක මහාචාර්යතුමත් රාජ් කපූර්ගේ සිනමාව අලළා පොතක් ලියා තිබෙනවා. ඒත් ඒක නම් රාජ්ගේ සිනමාව උඩ දම දමා පිම්බිමක් විදියටයි මා දකින්නේ.

රාජ් කපූර් ගැන මං අහලා ති‍ෙයන වඩාත් ම විචිත්‍රවත් කාරණය තමයි ඔහු චිත්‍රපටවලදි තමාගේ පෙම්වතිය ලෙස රඟපෑ නිළියන්ට සැබෑ ජීවිතයේත් ප්‍රේමකිරීම! චරිතය වඩාත් තාත්විකව නිරූපණය කළ හැක්කේ එවිට කියලයි රාජ් කියා ඇත්තේ. නර්ගිස්, පද්මිණි, වෛජයන්තිමාලා, මෙසේ රාජ් පෙම් කළ සූරූපී නිළියෝ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.