එදා ලංකාවේ නාට්‍ය තිබුණේ නෑ

 ලංකාවේ විවිධ සාහිත්‍යාංග බිහි වුවත් නාට්‍ය පහළ‍ නොවීම පුදුමයට කරුණකි. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ එදා නාට්‍ය නොලියවුණේ කුමක් නිසාදැයි සොයා බැලීමට පෙර එදා වූ නැටුම් ක්‍රම ගැන සුළු සටහනක් දැක්වීම උචිතය. අතීතයේ නාට්‍ය කලාවක් නොතිබුණත් විවිධ නැටුම් ක්‍රම වූ බවට සාධක ඇත. ඒ නැටුම් ප්‍රධාන ලෙස මෙසේ බෙදිය හැකිය.

රාජ ජීවිතය සම්බන්ධ නැටුම්:-

එදා රජුගේ විනෝදය පිණිස උදය හා සවස නැටුම් රඟ දැක්වූ බව දඹදෙණි කල ලියවුණු කඳවුරු සිරිතෙන් පෙනෙයි. සෙන්කඩගල යුගයේදී රජුගේ විනෝදය සඳහා සිටි නළු නිළියන් පුරුදු කිරීම බාරව තිබුණේ නැටුම් ඉලංගමේ මුහන්දිරම්ටයි. රජවරුන්ගේ විනෝදයට නැටුම් පමණක් නොව නාට්‍යශාලා ද විය. සීගිරියේ නාට්‍ය ශාලාවක වූ අතර චූලවංශය පරිදි මහාපරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153 - 1187) පොලොන්නරුවේ නාට්‍යශාලා පහක් කරවීය. දඹදිව ලියවුණු සංස්කෘත නාට්‍ය හා විවිධ නැටුම් මෙබඳු ශාලාවල රඟදැක්වූවා විය යුතුයි.

බුදුදහම සම්බන්ධව:-

බුදුදහම හා සම්බන්ධ වූ පුදපූජා නැටුම් දියුණුවට තවත් හේතුවක් විය. පිරිත් උත්සව - දළදා තේවා - දළදා පෙරහර - ගිරිභාණ්ඩ පූජා - මහ සෑ පූජා වැනි වංශකථාවල සඳහන් උත්සව මේ ගණයට වැටෙයි.

දේවාල හා සම්බන්ධව:-

දේවාල හා සම්බන්ධව පැවැති පුදපූජා හා නැටුම් තවත් ක්‍රමයක් විය. එදා දේවාලවල නැටුම් පූජා පිණිස දේවදාසීහු වූහ. ප්‍රසිද්ධ දේවාලවල දේවදාසීහු කුඩා කල සිට ම නැටුම් ශිල්ප හදාරා පවිත්‍ර ජීවිතයක් ගත කරමින් දේවාලවල පුදපූජා - රැඟුම් දැක්වූහ. ලංකාවට ආ “ඉබන්බටුතා” කියන පරිදි දෙවුන්දර උපුල්වන් දෙවොලේ 500 දේවදාසීහු වූහ. ඔවුන්ගේ රැඟුම් සඳහා දේවාලවල “දිග්ගේ” නම් ශාලාවක් විය. ඇම්බැක්ක වැනි දේවාලවල මේ “දිග්ගේ” තව ම ඉතිරිව ඇත. සන්දේශ කාව්‍යවල නළඟන රැඟුම් යනු මේ දේවදාසීන්ගේ රැඟුම්ය. යාපහුව - ගඩලාදෙණිය වැනි කැටයම්වල දැක්වෙන භරත නැටුම් දක්වන නිළි රූප ද දේවදාසීන් විය හැකිය.

සෙත් ශාන්තිය පිණිස:-

මුලදී ගොවිතැනේ සශ්‍රීකත්වය - වර්ෂාව පතා නැකත් කෙළි වැනි දුරාචාර උත්සව මෙහි වූ බව මහාවංශයෙන් පෙනෙයි. බුදුදහමින් ඒවා යටපත් විය. එහෙත් දෙවියන් - යක්ෂයන් සතුටු කිරීමට හා සශ්‍රීකත්වය පතා බලි - තොවිල් - ගම්මඩු - කොහොඹාකංකාරී වැනි නැටුම් ක්‍රම බිහි විය. පාරම්පරික ජනප්‍රවාද පරිදි මුල් ම ශාන්ති කර්මය දිවිදොස් දුරලීමට මලය රජු විසින් පඬුවස්දෙව් රජු කල පැවැත්වීය. දහඅට පාළියේදී ආතුරයා සුව කිරීමට ඇදුරෝ විවිධ වෙස්වළාගෙන අවුත් නටති. ගම්මඩු දෙවියන්ට, කරන උපහාරයකි. අං කෙළිය පත්තිනි දේවි පිදීමකි. කොහොඹකංකාරිය සතර කෝරලේ උපන් බව චාල්ස් ගොඩකුඹුරේ කියයි.

පොදුජන විනෝදයට:-

අවුරුදු උත්සව - ගොයම් කැපීමෙන් පසු හා විවිධ උත්සවවලදී විනෝදය සඳහා නැටුම් බිහි විය. සීගිරි ගල මුදුනේ “ගිරග්ග සමජ්ජ” උලෙළක් වූ බව මහාචාර්ය පරණවිතාන “සීගිරි ග්රැෆිටි” හිදී අනුමාන කරයි. සෙංකඩගල යුගයේදී දිසාව වැනි රටේ ප්‍රධානීන්ගෙන් ‍නළු කණ්ඩායම්වලට අනුග්‍රහ ලැබුණි. මේ අධිපතීන්ගේ විනෝදයට නළු කණ්ඩායම් විය.

සෙංකඩගල යුගයේ දී පොදුජන සමාජයේ සොකරි - මනමේ - කාලගෝල - සඳකිඳුරු වැනි නාට්‍ය බිහි විය. කුණ්ඩසාලේ රජ කළ නරේන්ද්‍රසිංහ රජු කල (ක්‍රි:ව: 1707 - 1739) දහඅටවන්නම් බිහි විය. “වන්නම්” යන්න බිඳී ආවේ “වණ­්ණම්” (වර්ණනා කිරීම) යන වදනිනි. වන්නම් නාමවල පවා දකුණු ඉන්දීය බලපෑම පැහැදිලිව පෙනෙයි. මුසලඩි (සා) - කුදිරඩි (තුරඟා) උදාහරණයි. උඩරට නැටුම්වලදී භාවිතා කරන දහඅට වන්නම් ප්‍රධාන වශයෙන් විවිධ සතුන් අනුකරණය කිරීමකි. මේ අනුව පැරැණි ලංකාවේ නැටුම් වුවත් දියුණුව ගිය නාට්‍ය ක්‍රමයක් නොවීය.

එදා ලංකාවේ නාට්‍ය පැවතුණා නම් ඒ ක්‍රම කීපයකටයි. පළමුව පෙළ වශයෙන් දඹදිව ලියවුණු සංස්කෘත නාට්‍ය කියවා පමණක් රස විඳීමයි. ධර්මප්‍රදීපිකාහිදී සංස්කෘත නාට්‍යවල කොටස් උපුටා දක්වයි. ඇතැම්විට කලාතුරකින් ඉන්දියාවෙන් පැමිණි නළු - නිළියන් හෝ ලාංකිකයන් සංස්කෘත නාට්‍ය - නාට්‍ය ශාලාවල රඟදැක්වුවා විය හැකිය. ඒ ඉතා කලාතුරකිනි. පැරැණි ලංකාවේ නාට්‍ය පහළ නොවූයේ ඇයිදැයි හේතුන් විමසා බලමු. ප්‍රේමකතා - ශෘංගාරය පදනම් ‍කොටගත් නාට්‍ය ලිවීමට භික්ෂූන් නොපෙලඹුණා විය හැකිය. පැරැණි ලංකාවේ පොත්පත් වැඩිපුර ම ලීවේ භික්ෂූන් වහන්සේය. දඹදිව පවා ලියවුණු බෞද්ධ නාට්‍ය දෙකකට වඩා නැත. අශ්වඝෝෂ ලියූ “ශාරි පුත්‍ර ප්‍රකරණය” එක් උදාහරණයකි. දඹදිව මහගතිකයන් සංස්කෘතියෙන් පවා බෞද්ධ නාට්‍ය ලීවේ එකකි දෙකකි. ලංකාවේ නාට්‍ය පිළිබඳව උද්යෝගයක් මේ නිසා ඇති නොවීය.

පොතපත ලිවූ පැරැණි භික්ෂූන් ජීවිතය දෙස බැලුවේ වෙනස් දෘෂ්ටියකිනි. “නච්ච ගීත වාදිත විසූක දස්සන...” වැනි ශික්ෂාපද හා ලෝවැඩ සඟරාවේ එන “කුමන නැටුම් කෙළි කවට සිනාදා” වැනි පාඨ ඊට උදාහරණය. මෙය හැමවිට නැතත් බොහෝ විට සාධාරණය. මේ විරාගි බෞද්ධ දෘෂ්ටිය නාට්‍ය කලා‍වේ ප්‍රභවයට බාධාවක් විය.

දඹදෙණි යුගයේ හා ඊ‍ට පෙර ලියවුණු ගී කාව්‍යවල අශ්ලීල වර්ණනා නිසාදෝ දඹදෙණි කතිකාවතේ දී “කාව්‍ය නාට්‍යකාදී ගර්හිත විද්‍යා තමත් නූගත යුතු අනුනුත් නූගැන්විය යුතු” යනුවෙන් නියමයක් එයි. නාට්‍ය කලාව ඇන හිටීමට දඹදෙනි කතිකාවතේ නියෝගයද බලපෑවා විය යුතුයි.

ලංකාවේ නාට්‍ය කලාව පහළ නොවීමට තවත් වැදගත් හේතුවක් විය. සංස්කෘත නාට්‍ය රචනා වූයේ භාෂා තුන හතරක සම්මිශ්‍රණයකිනි. රජවරුන් - අමාත්‍යයන් - බ්‍රාහ්මණයන් වැනි උසස් අය නාට්‍යවල කතා කළේ සංස්කෘත වලිනි. ස්ත්‍රීන්ට සංස්කෘත කතා කිරීම තහනම් විය. ස්ත්‍රීන් කතා කළේ ප්‍රාකෘතයෙනි. පහත් චරිත හා සේවකයන් කතා කළේ ශෞරසේනි. පෛශාචි ආදී භාෂාවලිනි. දඹදිව සංස්කෘත නාට්‍යවල සංස්කෘත - ප්‍රාකෘත - ශෞරසේනි - ‍පෛශාචි යන භාෂා සම්මිශ්‍රණයක් වූ අතර සංස්කෘත උසස් කොට සලකා ඉතිරි භාෂා පහත් කොට සලකති. පැරැණි ලංකාවේ භාවිත වූයේ සිංහල - පාලි - සංස්කෘත යන භාෂා තුන පමණකි. මේ නිසා භාෂා සම්මිශ්‍රණයක් කිරීම අපහසු වූ අතර එක් භාෂාවක් උසස් කොට තවෙකක් පහත් කොට සැලකීම නොකළ හැකි විය. සිංහල පොදුජන භාෂාව විය. පාලි බුද්ධ දේශනා ඇතුළත් භාෂාවයි. මහායාන බෞද්ධ පොතපත ලියවුණේ සංස්කෘතයෙනි. නාට්‍ය පහළ නොවීමට මේ කරුණ ප්‍රබල හේතුවකි.

එස්. කේ. ජයවර්ධන
හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.