සැක බිය නැති නිදහසම මර බිය වැපිරීමට යොදාගෙන | සිළුමිණ

සැක බිය නැති නිදහසම මර බිය වැපිරීමට යොදාගෙන

 ජනසමාජයේ සංහිඳියාව ඇති කිරීමටත් ආර්ථික සංවර්ධනය පවත්වා ගැනීමටත් බලපාන භයානක අනතුරක් අද රට ඇතුළෙන්ම මතු වී තිබේ. මෙය විදේශ අතපෙවීමකට හෝ මානවහිමිකම් චෝදනාවකට හෝ වඩා භයානක ය. භීතිය හා මරණය ජනප්‍රිය කරන මෙම අනතුර ඇතිකර පවත්වාගෙන යන්නේ එක්තරා දේශපාලන කණ්ඩායමක් සහ ඒ භීතිය විකුණන් කන මාධ්‍ය භාවිතයයි. මැතිවරණ ක්‍රමයක් ගැන විශ්වාස නොකරන දේශපාලන කණ්ඩායම් රට අරාජික වෙන ආකාරයට උද්ඝෝෂණ සංවිධානය කරන අතර එකී උද්ඝෝෂණ එසැණින් ප්‍රචාරය කරමින් තම ‘රේටිංන්ස්‘ ඉහළ දමා ගැනීම මාධ්‍ය භාවිතයේ ඉලක්කයයි. සම්මුති ආණ්ඩුවේ මූලික ඉලක්ක වන ජනසමාජයේ සංහිඳියාව ගොඩ නැඟීමත් ආර්ථික සංවර්ධනය පවත්වා ගැනීමත් ඉතා සූක්ෂ්මව අඩාළවීමට මෙම ප්‍රවණතාව ප්‍රබලව බලපානු ඇත. පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කරමින් හා ආණ්ඩුවේ කටයුතු නිර්දය විවේචනයකට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය ජනසමාජය ග්‍රහණයකට ගනිමින් සිටින අතර මහ මඟ දකින්නට ලැබෙන උද්ඝෝණ හා පෙළපාළි සංවිධානය කරන දේශපාලන කණ්ඩායම් ද පළමුව අගනගරයත් එමඟින් ජන සමායත් තම ග්‍රහණයට ගනිමින් සිටී. රජයේ සෑම කටයුත්තක්ම අසාර්ථක හා ජනතා විරෝධී බව පෙන්වා තරුණ අසහනයක් උසිගැන්වීම මේ දේශපාලන කණ්ඩායම්වල බලාපොරොත්තුව විය හැකියි. ‘89 භිෂණය ඇරඹුණු පසුබිම මෙවැනිම වූ බැවින් හා එදා මෙන් අදත් උද්ඝෝෂණ හා වැඩවර්ජන සඳහා පළමුව යොදා ගත්නේ ශීෂ්‍යයින් හා වෛද්‍ය වෘත්තිකයන් බැවින් ඉතිහාසයේ වූ වරදක් නැවත ඇතිවීමට යනවාදෝ කියන සැකය මෙහිදී මතුවෙයි.

ආණ්ඩුවේ සංවර්ධන ඉලක්කවල වැදගත් කොටසක් වන්නේ දශලක්ෂයේ රැකියා ව්‍යාපෘතියයි. රැකියා උත්පාදනය කෙරෙන ආයෝජන කරන්නට රටට හැකියාවක් නැති නිසා අප විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගත යුතුයි. ඒ සඳහා අංග දෙකක් සුදුසුකම් ලෙස සලකා බැලෙනව. පළමු වැන්න රටට ඇති ස්වාභාවික සම්පත්. දෙවැන්න නිර්මාණය කෙරුණු සම්පත්. නුපුහුණු ශ්‍රමය, ඛණිජ ද්‍රව්‍ය, ඉඩකඩම් ආදිය තමයි පළමු කොටසට අයත් වෙන්නෙ. උගත් බුද්ධිමත් පුද්ගලයන්, නීති රීති පද්ධතියක්, සමාජ විනය හා යටිතල පහුසුකම් කියන ව්‍යාපාරික වටපිටාව තමයි දෙවැන්නට අයත් වෙන්නෙ. අපේ රටේ නුපුහුණු ශ්‍රමය මිල අධීක නිසා ඒ කෙරෙහි විදේශ ආයෝජකයන්ට ආකර්ෂණයක් නැහැ. හමුදා ආණ්ඩුවෙන් නිදහස් වූ මියන්මාරය දැන් අඩු මිල නුපුහුණු ශ්‍රමය ඕන තරම් ඇති රටක් නිසා ජපානයේ මෝටර් රථ සමාගම් පවා අද එරටට යන පසුබිමක් උඩ ලංකාවට එවැනි ආයෝජන ගෙන්වා ගැනීම ලෙහෙසි නැහැ. අපට තියෙන්නෙ දෙවැනි ව්‍යාපාරික වටපිටාව හරිහැටි පවත්වාගෙන විදේශ ආයෝජන ගෙන්වා ගැනීම. මේ දෙවැනි අවස්ථාවෙන් කියැවෙන සාමකාමී බව හා සමාජයේ සංහිඳියාව,

අප රටේ නැති බව සතියකට වරක් කොළඹ අග නගරයේදි පැවත්වෙන දැවන්ත උද්ඝෝෂණ මඟින් කියා පානව. වංචනිකභාවය අතින් ද ලංකාව ඉහළ තැනක ඇති නිසා මෙවැනි අවුල් සහගත ව්‍යාපාරික වටපිටාවක් ඇති රටකට විදේශ ආයෝජකයන් මෙහි එන්නෙ මොකටද?

තමන්ට සුදුසු ව්‍යාපාරික වටපිටාවක් තියෙනවාද කියා දැන ගන්නට විදේශ ආයෝජකයන්ට අමුතු පර්යේෂණ වාර්තා අවශ්‍ය වෙන්නෙත් නැහැ. මෙරට සිටින තානාපතිකාර්යාලවලට කොළඹ නගරයේ සිදුවන දේ පේනව. ඉතිරි හරිය මාධ්‍ය මඟින් පෙන්නනව.

අද කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ලා ගන්නා තරමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පුරුද්දක් වෙලා. දේශපාලන කණ්ඩායම්වල අතකොලු වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අවසානයේ මේ පාරට බැහැල කරන්නෙ තම රැකියා අවස්ථා පවා අහිමි කර ගැනීම. ඊළඟට රැකියා නැහැ කියල උද්ඝෝෂණ කරන්නෙත් ඒ අයමයි. මේ දවස්වල තම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංවිධාන විසින් ඉදිරියට දමන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය කතාබහ කරල විසඳා ගත යුතු ගැටලුවක් මිස මරාගෙන මැරෙන්න තරම් සටන් කළ යුතු ශිෂ්‍ය ප්‍රශ්නයක්ම නෙමෙයි. ‘හොර උපාධි කඩ වසනු‘ කියන සටන් පාඨයට හසු නොවුණ හෝ දැක දැක අහක බලා ගෙන සිටින, අධ්‍යාපනය හා සෞඛ්‍ය, එහි ප්‍රමිතිය, එමෙන්ම ආර්ථික ප්‍රවණතා යන විෂයයන්ට අදාළ සංකීර්ණ කරුණු රැසක් එකී ගැටලුවට අදාළයි. එහෙත් ශිෂ්‍ය කණ්ඩායම් ඉන්නෙ අන්තයක. මාලබේ වෛද්‍ය විද්‍යාලය වසන්නේ නැතිනම් මරාගෙන මැරෙන බව තමයි කියැවෙන්නෙ. දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය මරණය හා භිෂණය. මාධ්‍යටත් අවශ්‍ය එයයි. ඔවුන්ගේ ‘රේටිංස්‘ වැඩි වෙන්නෙ භීෂණයක් පෙන්වන තරමටයි. ශිෂ්‍යයින් ඒ සඳහා උසිගන්වන්න ලෙහෙසියි.

අප දන්නව අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ දීමනාව මොන තරම් හයියක්ද කියල. මෙහි නිර්මාතෘවරය වුණේ උසස් අධ්‍යාපන ඇමතිවරයකුව සිටි දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහත්තය. එතුමා නමින් නේවාසිකාගාරයක් නම් කරන්න හැදුවත් ශිෂ්‍ය කණ්ඩායම් ඊට විරුද්ධ වෙනව විතරක් නෙමයි, එසේ නම් කළහොත් මරාගෙන මැරෙන බව තමයි කියන්නෙ. අර දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය ලෙස මොළ සෝදා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් හැම වසරකින්ම එකතු වෙනව. ඒ කණ්ඩායම පන්තිවලට එන්නෙ නැහැ. දෙමව්පියන් එක්ක සම්බන්ධයක් නැහැ. එක්කො දෙමාපියන්ට කියන්නෙ විශ්විද්‍යාල ආචාර්වරු ඉන්නෙ තමුන්ව විනාශ කරන්න කියලයි. ගම්වලට යන්නෙ නැහැ. මේ අය අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන බලපෑම අති විශාලයි. අවසානයේ තමුන්ගේ අධ්‍යාපනය හා අනාගතය පමණක් නොව මේ දේශපාලන උසිගැන්වීමට අකමැති අයටත් නිදහසේ තම අධ්‍යාපනය කරගෙන යන්න ඔවුන් ඉඩ දෙන්නෙ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය එක විදිහකටත්, වෛද්‍ය වෘත්තිකයන් තවත් විදියකටත්, දැන හෝ නොදැන ශිෂ්‍ය සංවිධාන අතකොළු ලෙසත් මේ කරන්නෙ අවසානයේ රටේ ඉදිරි ගමනට මහා බාධාවක් වීම. ජන සමාජයේ සංහිඳියාව අවුලකට යැවීම සම්මුතිවාදී ආණ්ඩුවේ දේශාපලන නිදහස මේ සමාජ වියවුල ඇති කිරීමට හොඳ අවස්ථාවක් වි තිබෙනව. මං හිතනව සම්මුතිවාදී ආණ්ඩුවෙන් රට බලාපොරොත්තු වුණේ වල්බූරු නිදහසක් නෙමෙයි. සාමකාමී සමාජයක ජීවත්වීමේ නිදහස. දැන් වෙලා තියෙන්නෙ ලැබුණු නිදහස වල්බූරු නිදහසක් ලෙස යොදා ගන්නා නිසා එම නිදහසම රටේ ඉදිරි ගමනට බාධාවක් වීම.

අනෙක් කාරණය තමයි අද උද්ඝෝෂණවල ඉදිරියෙන්ම ඉන්න වෛද්‍යවරු ගත්තොත් ඒ අය වෙන මොනව ගැන කතා කළත් ලෙඩා ගැන කතාකරන්නෙ නැහැ. ලෙඩා හොඳින්ද යන්න ගැන වගේ වගක් නැහැ. ශිෂ්‍යයන්ගෙ පැත්තෙන් ගත්තොත් ඔවුන් හැම දේම ගැන කතා කරනව. එහෙත් තම අධ්‍යාපනය ගැන, තම අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන වගේ වගක් මොවුන්ට නැහැ. මේ ආකාරයට දිගින් දිගටම සිදුවන විට නිර්මාණාත්මක මානව සම්පත රටට අහිමි වෙනව. වෛද්‍යවරුන්ගෙ විරෝධයෙත් අවසන් හරය උපාධීධාරීන් බිහිවීම වැළැක්වීම. මෙයින් අවසානයේ නූගතුන් පිරිකට පාර කපන අතර භීෂණයට කැමති දේශපාලන කණ්ඩායම්වලට නම් එය හොඳ ආයෝජනයක් වෙනව. මාධ්‍ය භාවිතයත් ඊට අවශ්‍ය පසුබිම අපූරුවට සකසා දෙනව.

සම්මුතිවාදී ආණ්ඩුවේ අනෙක් ප්‍රධාන ඉලක්කයක් වෙන්නෙ ජන සමාජයේ සංහිඳියාව. විදෙස් ආයෝජන ගෙන්වා ගන්නට පමණක් නෙමෙයි පුද්ගලයෙක් ලෙස ගත්කල හැම අතටම වාසිවෙන යහපත් දිවි පැවත්මටත් හිතේ සංහිඳියාව අවශයයි. එහෙත් මාධ්‍යවලට ඕනෙ මරාගෙන මැරෙන සටන්, හදිසි අනතුරු, ලේ වැඩියෙන් පෙන්වීම ආදිය. රට ආජික කරවන දේශපාලන කණ්ඩායම් කරන්නෙ මේ මාධ්‍ය ඉදිරියට ඇවිත් නියඟලා කොල පෙන්නල ජනතාවට භීෂණය හුරු කිරීම. මාධ්‍ය ඒවා ප්‍රචාරය කරමින් හිත් සන්සුන් කිරීමේ වගකීමෙන් බැහැරව සමාජය අවුලකට දමනව. ආණ්ඩුවට විරුද්ධ මතය වැඩිපුර පෙන්වීම හෝ මරණය භීෂණය වඩිපුර පෙන්වීම තමයි අද මාධ්‍යෙය් වැඩි ඉඩක් වෙන් වෙන්නෙ. අවසානයේ අටේ ආර්ථික සංවර්ධනය අවුරන්නත් සමාජයේ සංහිඳියාව බිඳ දමන්නත් අන්තවාදී දේශපාලන කණ්ඩායම් හා මාධ්‍ය භාවිතාවත්, විශ්විද්‍යාල ශිෂ්‍ය සංවිධානත් අත්වැල් බැඳගෙන සිටිනව. එනම් රටේ ඉදිරි ගමන වළකන්නට මේ අය එකට එකතු වෙලා වැඩ කරනව.

ශිෂ්‍ය‍යො දැන ගන්න ඕනෙ තමන් මරණයට බිලි වුණා කියා ආණ්ඩු පෙරළෙන්නෙ නැති බව. ‘89 ඊට හොඳ අත්දැකීමක්. අනෙක් අතට දෙමාපියන්, විශ්වවිද්‍යාල ජ්‍යෙෂඨයො, එනම් වෙද්‍යවරු, ආචාර්යවරු යන මේ තුන්ගොල්ලම හිතන්න ඕනෙ විශ්විද්‍යාල ශිෂ්‍යයන් බිල්ලට නොදෙන්න. දේශපාලන කණ්ඩායම්වලට ඕනෑ බිල්ලක්. මහජන සුභසිද්ධීය යටතේ ආරක්ෂක අං ක්‍රියාත්මක වන විට සිදුවිය හැකි අනතුරක් තමයි මේ දේශපාලන කණ්ඩායම් බලාපොරොත්තු වෙන්නෙ. ශීෂයෝ මේ උගුලේ හසුවිය යුතු නැහැ. දෙමවුපියන් හා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් ශිෂ්‍යයන් හෝ දරුවන් හෝ බිල්ලට නොදිය යුතුයි.

(සාකච්ඡාවකින් සැකසිණි)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.