සුරනිමලගේ ප්‍රශ්නය

 ' කාලයේ වැලි තලාවෙන් සියල්ල වැසී ගිය ඉනික්බිති ...'

තම මව විසින් කලකට ඉහතදී එක්තරා සඟරාවකට ලියන ලද කවි පෙළක් කියවීමට ගත් දොළොස් හැවිරිදි සුරනිමල එහි මුල් පද පේළියෙන් ඔබ්බට යෑමට නොහැකිව පැය ගණනාවක් ම අහස පොළොව ගැටලමින් මනසට වද දෙමින් සිටියේ ය. එම කවි පෙළෙහි වූ 'කාලයේ වැලි තලාව' යනු කුමක්දැයි ඔහුට තේරුමක් නොවීය. අත්තම්මාගෙන් ඒ ගැන විමසීම තේරුමක් නැත. අප්පච්චි නම් කිසිදා මෙවැනි පැනයකට පිළිතුරු නොදෙන්නේ නිවෙසේ සිටින සෑම මොහොතකම පාහේ ඔහු බුම්මාගෙන සිටින නිසාය.

අල්ලපු ගෙදර ඇසිලින් නැන්දාගේ ලොකු දුව සකුන්තලක්කා විශ්වවිද්‍යාලයේ සියලු විභාග සමත්ව සිටියදී තවත් ලොකු විභාගයකට සූදානම් වෙමින් සිටින බව සුරනිමලගේ කනට වැටී තිබිණ. ඇගේ නමින් ද පුවත්පත් සඟරාවල නොයෙක් ලිපි පළ වෙයි. සඟරාවත් රැගෙන ගෙයි පිළිකන්නෙන් ඇසිලින් නැන්දාගේ ගෙට ගොඩවදින විටම ඔහු දුටුවේ සකුන්තලක්කා කවිච්චියේ දිග ඇදී පොතක් කියවමින් සිටින ආකාරයයි. කුඩා සුරනිමලව දුටු ඇය සතුටු සිනහවෙන් යුතුව ඔහු පිළිගත් නමුත් සඟරාවේ වූ කවියේ ' කාලයේ වැලිතලාව ' යනු කුමක්දැයි අසනු ලැබූ විගසම ඇගේ මුහුණ එහෙන් මෙහෙන් ඇද වී ගොස් අඳුරු පැහැයට හැරෙනු ඔහු දුටුවේය.

'කාලයේ වැලිතලාව කියන්නේ ඔය කවි එහෙම ලියන කොට දාන නිකං වචනයක් .. එහෙම නැතිව ඇත්තටම ඔහොම වැලිතලාවක් නෑ.. ' යැයි ඇය කීවාය.

පසුදින පාසලට ගිය සුරනිමල තමාට කවදත් කරුණාවන්ත වූ වනිගසූරිය ගුරුතුමිය ගෙන් කාලයේ වැලිතලාව යනු කුමක්දැයි ඇසුවේය.

'මාත් ඔය වචන දෙක තියෙන කවි කෙටිකතා කියවලා තියෙනවා හැබැයි ඒකේ තේරුම නං හරියට ම ඔළුවට එන්නෑ ... කාලයත් එක්කම දේවල් යට ගිහිං අමතක වෙනවාය කියලා කියන්න හදාගත්ත උපමාවක් කියලා නං පැහැදිලියි.' යැයි ඇය කීවාය.

ඒ උපමා රූපකවලින් සුරනිමලට වැඩක් නැත. ඔහුට වුවමනා වී තිබෙන්නේ කෙසේ හෝ කාලයේ වැලිතලාව යනු කුමක්ද එය තිබෙන්නේ කොහේද කියා සොයා ගැනීමටය. මොකද තම මව කිසිවිටෙක තේරුමක් නැති වචන නොලියනු ඇතැයි ඔහුට තදබල විශ්වාසයක් තිබිණ. 'කාලයේ වැලිතලාව' මෙන්ම තම මවට සිදුවූයේ කුමක්ද යනු ඔහුගේ හිතට වද දෙන කුතූහලයකි.

'අම්මා දැං ඉන්නේ කොහේදැයි ' විමසන හැම විටකම පොළොවේ අඩි හප්පන අප්පච්චි ' ඒකී මළා ' යැයි කියමින් බෙරිහන් දෙයි. එහෙත් තම මව මියගොස් නැති බව සුරනිමලට විශ්වාසය. මව සිටින තැනක් සොයාගත හැකි නම් 'කාලයේ වැලිතලාව' ගැන ඇයගෙන් ම විමසිය හැකිව තිබිණ. ඇය තව දුරටත් කොහේ හෝ සිට කවි ලියන්නේ නම් ඒවා පුවත්පත් සඟරාවල පළ වී තිබෙන්නට පුළුවන. පාසලින් නික්ම ගෙදරට නොගොස් කෙළින්ම මහජන පුස්තකාලයට යෑම පුරුද්දක් කරගත් සුරනිමල එහි වූ සියලු පුවත්පත්, වාර සඟරා ආදියෙහි කවි පිටුවල තම මවගේ නමින් කිසිවක් පළ වී තිබෙනු ඇත්දැයි දිනපතා ම පාහේ පරීක්ෂා කළේය.

එයින් මාස කිහිපයකට පසුව සුරනිමල තම උත්සාහය අතහැර දැමුවේය. ඇතැම් විට දැන් ඇය කවි නොලියනවා විය හැකිය. එසේ නමුත් ඇය පුවත්පත් සඟරා කියවනවා වන්නට පුළුවන. ඔහු ලිපියක් ලියා පුවත්පත් සඟරා කිහිපයකට ම එය තැපැල් කෙළේය.

'.. කාලයේ වැලිතලාවෙන් සියල්ල වැසී ගිය ඉනික්බිති යැයි ලියා තබා අම්මේ ඔබ සැඟව ගොසිනි. ඒකි මළා යැයි අප්පච්චි කියන නමුත් මට එය විශ්වාස නැත. කාලයේ වැලිතලාව යනු කුමක්දැයි කිසි­‍ෙවකුත් නොදනිති. ඒ ගැන දන්නේ ඔබ ම පමණි. කරුණාකර ගෙදර ඇවිත් මට එය කියා දෙන්න... '

සුරනිමල හපුගස්තැන්න නිල්දණ්ඩාහින්න. '

එයින් සති දෙකකට පසුව සඟරාවක සුරනිමලගේ ලිපිය පළ කැර තිබුණේ පද බෙදූ නිසඳැස් කවියක් පරිද්දෙනි. මෙයින් අනතුරුව ඔහු දිගටම පුවත්පත් සඟරාවලට කවි ලීවේය. කාලය ඉතා වේගයෙන් ගමන් කළේය. සුරනිමල අද සුප්‍රකට කවියෙකි. ජනප්‍රිය ගීත රචකයෙකි. එහෙත් ඔහු වෘත්තියෙන් විදුලි ඉංජීනේරුවෙකි.

සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු වැලිකතරක් ඔස්සේ අධිබල විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් ගොඩනැංවීමේ විදේශ රටක ව්‍යාපෘතියක් බාරව සිටි ඔහු එක් සති අන්තයක තම බිරිය සහ සත්හැවිරිදි පුත්‍රයා එහි කැඳවා ගත්තේ ඔවුන්ට කාන්තාරයේ ජීවිතය පිළිබඳව යම් අත්දැකීමක් විඳීමට ඉඩ දිය යුතුය යන සිතිවිල්ලෙනි. මීට වසර මිලියන ගණනාවකට පෙර මේ ප්‍රදේශය මහා සමුදුරක්ව පැවති බවත් කාලයාගේ ඇවෑමෙන් දැන් එය දිය පොදක්වත් නැති කාන්තාරයක් බවට පත්ව ඇති බවත් සුරනිමල තම පුත්‍රයාට විස්තර කර දුන්නේය.

'ඔව් රෑ කළුවර වැටුණම අපි මහ මුහුදක් මැද අතරමං වෙලා ඉන්නවා වගේ තමා පේන්නේ ..දවසක් මං මුහුදේ රැල්ල ගහනවා වගේ දේකුත් දැක්කා හුළගට වැලි කඳු ගහගෙන යනවා වෙන්න ඇති 'යැයි සුරනිමලගේ බිරිය තම සැමියාගේ කතාව සත්‍යයක් බැව් ඒත්තු ගන්වමින් කීවාය.

'අපෝ ඔයිට වඩා ෂෝක් දෙයක් දැක්කනෙ මං' යැයි කියමින් දෙනෙත් ලොකු කරගත් පුත්‍රයා මවුපිය දෙදෙනාගේම අවධානය තමා දෙසට යොමු කර ගත්තේය.

'ඊයේ මගේ සෙල්ලං ඔටුවා මට අමතක වෙලා වැලිගොඩේ දාලා ගියා. අද උදේ ගිහිං බලත්දී ඌ වැලි අස්සේ හැංගිලා හිටියා .. බොහෝම අමාරුවෙන් තමා ඌ හොයා ගත්තේ.. එහෙම වෙන්නෙ කොහොමද අප්පච්චි .. මේ පණ නැති ඔටුවා කොහොමද වැලි අස්සට රිංගලා හැංගුණ්?'

ඒ නම් ඇත්තෙන් ම අභිරහසක් බැව් සුරනිමල පවා පසක් කොට ගත්තේ මෑතකදී ය. කාන්තාරය මතට වැටෙන ඇල්පෙනෙත්තක් හෝ සුවිසල් ගුවන් යානාවක් හෝ වේවා හෝඩුවාවක්වත් ඉතිරි නොකරමින් පුදුමාකාර වේගයකින් අතුරුදන්ව නොපෙනී යයි. සියුම් දූවිලි බඳු අනන්ත අප්‍රමාණ වැලිකැට අදෘශ්‍යමාන අධි වේගයකින් නිරන්තරයෙන් ගමන් කරන්නේ රැ‍ෙඳන්නට තැනක් සොයමිනි. පොළොවෙන් උඩට මතු වූ යම් දෙයක් වූයේ නම් ඒ සමඟ ගැටෙන වැලි එහි පාමුල ගොඩගැසෙයි. ඊට පසුපසින් මහා ප්‍රවාහයක් ලෙස ඇදී එන අනෙක් වැලිකැට ගංගාව ද එතැන ම නතර වෙයි. කාලයක් ගතවනවිට අර වස්තුව මුළුමනින්ම පාහේ වැලි අතර සැඟවී යයි. ඕනෑම දෙයක් ඇල්පෙනෙත්තක සිට මහා සුවිසල් නගරයක් පවා එසේ නොපෙනී යෑම කාලය පිළිබඳ ගැටලුවක් පමණි. අතීත ලෝකය හැමවිටම පොළොවෙන් යට පිහිටන්නේ මේ නිසාය. තමා විසින් කිසිදා නො දකින ලද අම්මා ද ඒ අතීත ලෝකයේ කාලයේ වැලිතලාවට යටව අතුරුදන්ව ගොසිනි. අපේ මතක ලෝකය ද කාලයේ වැලිතලාවකි. මොහොතින් මොහොත හටගන්නා අනන්ත අප්‍රමාණ සිදුවීම් මතකයන් ලෙස ඉස්මතු වන මුත් ඊට පසුව එන අලුත් සිදුවීම් විසින් පෙර මතකය යටපත් කරනු ලැබේ. එහෙත් කාන්තාරය මතින් හමා යන බිහිසුණු කුණාටු විසින් වැලි කඳු සී සී කඩ විසුරුවමින් ඒවා යට සැඟවී තිබූ බොහෝ පැරණි දේ ඉස්මතු කරනු ලැබේ. එවැනි කුණාටුවක් කොයි මොහොතේ හට ගනීද යනු කීමට කිසි‍ෙවකුත් නොදනිති.

'අද අහස එච්චර හරි නෑ .. වැලි කුණාටුවක් එන්නද මන්දා..' යි කී සුරනිමල හිස් අහස දෙසම බලා සිටියේය.

කේ. සී. ජේ. රත්නායක 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.