හිත මිතුරා­‍ෙණනි, පස මිතුරකු නොවනු මැනැවි!

 කවිය පිළිබඳ හිතමිතුරා ලියන්නේ පසමිතුරු බසිනි. කවි බස නොදන්නා තරමට ම ගළපා ඇති වාග් කෝෂය ජුගුප්සාජනක ය. කයි සම්මේලන, කයි පදනම්, කයි මඬු ආදී අපුල වදන් යොදා ගන්නේ ඔහු තුළ වූ ‍ෙවෙරී මතවාදය උලුප්පා දක්වමිනි.

ඔහුගේ මතය පරිදි සරසවිවල පර්යේෂණ කෘති, නිබන්ධන ආදියට ද කවිය විෂයයක් කොට ගැනෙන්නේ බාල බොළඳ දෑ ය. පුරාතන කවි ද නූතන කවි ද නිසඳැස් කවි ද නිදහස් කවි ද සියල්ල ම අවතක්සේරු කරමින් හෙළා දකිමින් දත්මිටි කමින් දිගින් දිගට ම පහර දෙයි.

භාෂා අරගලයේ දී, නිදහස් අරගලයේ දී, වෙනත් ජාතික ගැටලුවල දී මුලින් ම හඬ නැඟුවේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයයි.

පුරා වසර 85ක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන ආ අභීත, අදීන ගමන් මඟ සැබෑ කවි සහෘදයෝ මැනැවින් හඳුනති. එවන් කවි සම්මේලනයන්ට කයි සම්මේලන යැයි ආමන්ත්‍රණය කිරීම හැදූ වැඩූ දෙමාපියන්ට නින්දා අපහාස කිරීම වැනි සාහසික ක්‍රියාවකි.

“මෙතෙක් රජයෙන්වත් නොකෙරුණු කාර්යභාරයක් කවිය වෙනුවෙන් ජී.ඇම්. අජිත් කිවි පදනම විසින් සිදු කර ඇතැ” යි ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ අප විසින් සංරක්ෂණය කර තිබුණු කවි පොතපත, කවීන්ගේ අත්අකුරු, ජීව දත්ත, ඡායාරූප හා වෙනත් වැදගත් ලිපි ලේඛනාදිය දැක ඇති වූ ප්‍රබෝධවත් මානසිකත්වය නිසා ම ය. එතුමා කවි සංරක්ෂණාගාරයක් ඉදිකිරීමට පොරොන්දු වූයේ ද කිවි පදනමේ සේවය හඳුනාගත් බැවිනි.

කවි සම්මේලනවල අරමුණ ඒකල චරිත වශයෙන් හුදෙකලා නොවී සාමූහිකව කටයුතු කරමින් අත්දැකීම් බහුල ප්‍රවීණයන් හා දුහුනන් කාව්‍ය ශාස්ත්‍රීය දැනුම බෙදාහදා ගැනීම ය.

මාසික හා වාර්ෂික කවි පත්‍ර, සඟරා ආදියෙන් සිදු වූ මෙහෙවර නිසා ම කිවි පරපුර නොනැසී මේ තරමටවත් සුරැකී පවතී. නො එසේ නම් මත්කුඩු වසංගතයට, අච්චාරු සංකර භාෂාවකට, බොළඳ බජව් රැල්ලට තව තවත් හැදෙන පරපුර බිළිගන්නට ඉඩ ප්‍රස්තාව වැඩි විය හැකි ය.

“විසි හතර පැයේ කයි මඩුවක් හෝ පවත්වා කීයක් හෝ සෙයාගත හැකි ය.” යන ප්‍රකාශය තතු නොදැන වනා ගැහීමකි. කවි මඬු යනු ප්‍රාසංගික කලාවකි.

රට පුරා විසුරුණු කවීන් එක ම වේදිකාවකට ගෙන්වා රසිකයන් පිනවමින් අප ලබන ආත්ම තෘප්තිය මුදල් ගරන ව්‍යාපාරයක් බවට චෝදනා කරන්නේ කවර පදනමක් මත දැයි හිතමිතුරාගෙන් අසමි.

එමෙන් ම කවි මඬුව යනු ක්ෂණිකව සාහිත්‍ය පොත් ලියන භූමිකාවක් නො වේ. එය අපේ සංස්කෘතියේ සුවිශේෂ දායාදයකි.

අපට නිසඳැස් කවිය, නිදහස් කවිය, පේරාදෙණි කවිය, කොළඹ කවිය යැයි ගැටලු නො වේ. ඒ ඒ අය තම තමන් කැමති කවි ලියුවාට අපට කැක්කුමක් නැත. ජනතාවට දැනෙන සේ අපේ කවිය ඔසවා තැබීම අප‍ගේ උත්ස­ාහයයි. අනුන්ගේ නිෂ්පාදනවල අඩුපාඩු කථා කරනවාට වඩා අපේ නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳව විශ්වාසයෙන් කථා කිරීම අපේ අභිමානවත් පිළිවෙතයි.

කොට ගවුමක් ඇඳ පාරේ යන ගැහැනු දරුවකු දැක “කෙල්ලේ, උඹට විළි ලැජ්ජා නැද්ද? උඹලගෙ අම්ම අප්පලාට මේවා පේන්නේ නැද්ද?” යැයි එක්තරා චණ්ඩියෙක් සරම කරට ගෙන ගම දෙවනත් වන්නට කෑගැසී ය. ඔහුට එදා තමා යටට අමුඩය ඇඳ නොසිටි බව මතක් වූයේ වටපිට පිරිස හූ කියද්දී ය. අනුන්ගේ ඇඳුම්වල ඇදකුද සොයන්නට පෙර විළි වසාගන්න යැයි හිතමිතුරාට ද කියන්නට සිදු වේ.

සෙල්ලම් පිටියකට අරගත් විට අතුර
අත හැරුණාම පෙව්වත් පල නැත වතුර
දොරවල් කඩන්නේ ඇයි පෙනි පෙනි යතුර
පස මිතුරකු නොවනු පෙම්බර හිත මිතුර

ජී. ඇම්. අජිත්
සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.