“ඍණං කෘත්වා ඝෘතං ජිබේත්!”

 ශ්‍රී ලංකාව ණය උගුලෙක වැටී ඇතැ යි කියනු ලැබේ. ගිය රජය විසින් විසින් හුත නහුත ගණනින් මුදල් ණයට ගෙන ඇතැ යි මෙ රජයේ ඇත්තෝ කියති. පිළිවදන් දෙන ගිය රජයේ ඇත්තන් කියන්නේ මේ ටික කලට මෙ රජය ගෙන ඇති ණය ගණන් බැලුව හොත් තමන් ගත්තාට ද වඩා පමණින් වැඩි බව යි.

සොම්නසෙකි. ඉමත් සොම්නසෙකි. රට වැසියන් වන අපි මෙයට වැඩි සොම්නසක් කොයින් කො දා ලබමු ද? ‘අපටත් දවසෙක හඳ පායනවා’ කී බස ඉතින් සැබෑ වනු ඇත. හඳ පමණක් නො ව ඉර හඳ දෙක ම අපට එක් වර නො පෑයුව හොත් ඒ වේ ද පුදුමය නම්?

අපි අපේ දෙස්පලු උතුමන් ගැන මැනැවින් දකිමු. ඔවුහු වනාහි සැබෑ ම ජනතාවාදීහු ය; රටෙහි මහජනතාව පිළිබඳ වැ උපන් කරුණායෙන් හදවත තෙත් වැ ගෙන ඔවුන් විඳුනා දුක බලා සිටිය නොහැකි වැ, ස්වකීය පෞද්ගලික කාර්ය සියල්ල අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දමා මහජනයා සුඛිත මුදිත කිරීමේ අත්‍යුදාර ආරම්මණයෙන් නිශ්ශරණාධ්‍ය­ාසයෙන් ම දේශපාලනයට ප්‍රවිෂ්ට වැ එහි යෙදෙන්නෝ ය. එ හෙයින් ඔවුහු එණයින් සතයකුදු නො හැර අපගේ දේශයෙහි ආර්ථික ප්‍රගමනය, ශීඝ්‍ර සංවර්ධනය උදෙසා ම යොදවන්නෝ ය. ඉතින් වැඩි වැඩියෙන් ණය ගැන්ම යනු රට වැඩියෙන් දියුණු වීම නොවේ ද? රටවැසියන් වන අපට මෙයටත් වැඩි කවර නම් ප්‍රීතියක් ද?

ගිය රජයේ ඇත්තෙනි, කියුව මැනවි, වැඩි වැඩියෙන් කියුව මැනැවි මෙ රජයේ ණය. එ කියන පමණට අප ගේ සොම්නස වැඩේ. මෙ රජයේ ඇත්තෙනි, කියුව මැනැවි ගිය රජයේ ණය. අපට දු නො දැනී ම අපි කො තරම් දියුණු වූවමෝ දැ යි එයින් අපි දැන ගනිමු.

මහ බිරිතනි රජතුමන් ගේ කරුණාවසරයෙන් අප අර උතුම් ‘නිදහස ලබන කල්හි විදෙස් ණය සතයකුදු නො වූ හයි කියැවේ. බැලුව මැනැවි එ කල පාලකයන් ගේ මහිමය! ඔවුන් රට කිසි ලෙසෙකිනුදු දියුණු නොකළ නියා ය. අනුක්‍රමයෙන් රට දියුණු වත් ම අප ගේ ණය ද වැඩි වූයෙන් රටවැසියෝ ප්‍රීතියෙන් කල් ගෙවූ හ. සමසමාජ කාරයන් ජනහිත කාමීනැ යි කිව ද ජනතාව ගේ මේ ප්‍රීතිය නොඉවැසූ එක්තරා ‘දොස්තරෙක්’ සියලු විදෙස් ණය ගෙවා රට නිදහස් කෙළේ ල. අහෝ! කොතරම් අපරාධයෙක් ද? රටේ සකල සංවර්ධනය එ තැනින් නැවැතී ජනතාවට අල බතල කන්නට සිදු විය.

දේශයේ භාග්‍යයට, දේශවාසීන් වන අප ගේ භාග්‍යයට මෙන් පසු පසු වැ ආ පාලකයෝ වැඩි වැඩියෙන් ණය ගත්තාහු මෙ සිරිලක කේතුමතියක් කළාහු ය. ඔවුනට ගිය ගිය අත ජය ම වේ වා! දන් අපි සකලෛශ්වර්යයෙන් සමෘද්ධ වැ, ඒක පුද්ගල ආදායමින් ඉහළ ම තලයට පැමිණ ලෝකයේ දියුණුතම ජාතීන් හා උර පහසිමින් සිටිමු; ආත්ම ඝනනාවෙතිනුදු ගෙවිය නොහැකි ණය බරක් ද ඇත්තමෝ වෙමු. අහෝ! දැනෙන අභිමානය! ආසියාවේ නො ව ලෝකයේ ම ආශ්චර්යය මේ වේ ද?

එ මතු දා නැති. අපේ දෙස්පලු උතුමනට පින් සිදු වන්නට අපි ණයට කෑමේ මිහිර හොඳින් දන්නමු. එ හෙයින් දැන් අපි තනි තනි ව ද ණයට ම කන්නමු. ඒ සඳහා අපට ‘ක්‍රෙඩිට් කාඩ්’ ඇත්තේ ය. ඒ මඳි නම් ‘ඩෙබිට් කාඩුදු’ ඇත්තේ ය. ඉතින් ණය කන්නට කවර බියක් ද? අතේ මුදල් ඇතත් අපි ‘ණයට’ ම කන්නමු! බෞද්ධයෝ වනාහි ණයට කන්නට මඳක් බිය ඇත්තෝ ය. ඇයි? කර්ම න්‍යායය අනුව මෙ අත්බව්හි නැත හොත් එන අත් බවෙක හෝ එ ණය ගෙන්නට වනුයෙනි. දැන් අප ණයට කන හැටියට මෙ අත්බව්හි නො ව, මුළු මහත් සසරේ දීත් ‍ෙම ණය ගෙවනු නම් දුෂ්කර වෙයි. වැළි දු, බුදුහු අනණ සූත්‍රයෙහි ලා ණය නොවීම සැපතකැ යි වදාළෝ ය. බුදුන් කුමක් වදාළ ද ණය වීමේ, ණයට කෑමේ, ණය නොගෙවීමේ සැප දන්තමෝ නම් සකල ශ්‍රීන් පූර්ණ ශ්‍රී ලංකාවාසීන් වන මේ අපි ම ය. එ හෙයින් සමස්ත බෞද්ධ ජනතාව විසින් වහ වහා ම - එක්සත් ජාතීන් ගේ වෛශාඛ්‍ය මහෝත්සවයට පෙර ම - කළ යුත්තේ ණයට කා නො ගෙවා සිටිය හැකි දහමක් සොයාගැනීම යි.

ෂට් ශාස්තෲන් අතුරෙහි ලා ගැනෙන අජිත කේසකම්බලයෝ එ බඳු දහමක් දෙසූ හ. ‘ඍණං කෘත්වා ඝෘතං ජිබේත්’ යනු ඔවුන් ගේ මහාර්ඝ ප්‍රකාශයෙකි. ණය වී ගිතෙල් බොනු යෙදේ. අද නම්, ණය වී පීසා, පැස්ටා, රයිස් - බත් නො ව රයිස් - ආදිය නිර්භීත වැ කෑ යුතු ය. අජිත කේසකම්බලයන් කියන්නා සේ නැවැත උපතක් නැතියෙන් ඒ ණය ගෙවන්නට සිදු නො වේ. කො තරම් අගනා දහමක් ද?

දැන් සකල බෞද්ධයන් විසින් කළ යුත්තේ වහා ම මේ කේසකම්බල දහම හෙවත් උච්ඡේද වාදය වැලැඳගැන්ම යි. එවිට රටෙහි බෞද්ධයන් නැතියෙන් අප ගේ නව ව්‍යවස්ථා සම්පාදක විද්වතුනට ද බුද්ධාගමයට ප්‍රමුඛස්ථානය දීම නමැති මහ බරින් නිකම් ම නිදහස් විය හැකි ය.

හෙටත් මෙ රටට ඉර පායනු ඇත!

- හිත මිතුරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.