අපේ අස්වනු විකුණගන්න බැරිව කුණු වෙනවා | Page 2 | සිළුමිණ

අපේ අස්වනු විකුණගන්න බැරිව කුණු වෙනවා

ණය ගෙවාගන්නත් විදිහක් නෑ

එළවළු සඳහා නිසි මිලක් නොමතිවීම හේතුවෙන් මේ වන විට වැලිමඩ ප්‍රදේශයේ ගොවි ජනතාව තම එළවළු අස්වනු අ‍ලෙවි කර ගැනීමට නොහැකිවීම වගා බිම්වලම එළවළු කුණුවීමට හැර තිබේ. එමෙන්ම ඇතැම් එළවළු කොටස් ගවයන්ට කෑමට ඉඩ හැර ඇත. මෙයට හේතුව වෙළෙඳ පොළේ එළවළුවලට නිසි මිලක් නොලැබීමයි.

මේ තත්ත්වය නිසා වැලිමඩ, හෙවනකුඹුර, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද, බෝගහකුඹුර ආදී ප්‍රදේශවල ගොවි ජනතාව ගෝවා, කැරට් සහ තක්කාලි වගාවන් තම ගොවි බිම් තුළම ගවයන්ට කෑමට කන්නට දී ඇති අතර විනාශවීමට ඉඩ හැර තිබේ.

බැංකු සහ විවිධ ආයතනවලට ණයවීමෙන් සහ පොළියට මුදල් ලබා ගැනීමෙන් සිදු කළ වගාවෙන් නිෂ්පාදන වියදමවත් සොයා ගැනීමය නොහැකි වීම නිසා මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ගොවි ජනතාව පවසති.

මේ පිළිබදව අදහස් දක්වමින් වැලිමඩ දඹවින්න පදිංචි ගොවි මහතෙකු වන ඩබ්.එම්.විජේසිංහ මහතා අදහස් දැක්වූයේය.

‘‘අපි මේ වන විට දඹවින්න වෙල්යායේ වගා කටයුතු කරනවා. අපේ ප්‍රදේශයට පසු ගිය කාලයේම දැඩි නියං කාලගුණයක් තිබීම නිසා ගොවී ජනතාව දැඩි අපහසුතාවකට පත්වෙලා හිටියේ. ඒ නිසා මෙවර වී වගාවට කන්නයේ වැස්ස ඉතාමත්ම අඩුවීම නිසා අපි වී වගාව සිදු කළේ නැහැ. ඒත් මහත් බලාපොරොත්තු තියාගෙන ගෝවා වගා කළා. අස්වන්නත් හොදට හැදුණා.

මේ වගාව සිදු කරන්න අපිට ලොකු වියදමක් දරන්නත් වුණා. දැන් අපේ අස්වනු නෙලන කාලය. ඒත් අපිට අපේ එළවළු අස්වනු නෙළා අලෙවි කරන්න බැහැ. අස්වැන්න විනාශ කරනවා හැර අපි කුමක් කරන්නද? ඇත්තටම මේ තත්ත්වය ඉතාමත් කනගාටුදායකයි. මේ නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.

මේ වර්ගවල මිල ඉතාම අඩුයි. තක්කාලි රුපියල් පහලොවයි . කැරට් පහලොවයි විස්සයි. මේ මිලට අස්වනු නෙළලා නගරයට ප්‍රවාහනය කරලා අලවි කරන්න බෑ. අස්වනු නෙළීමට කම්කරු කුලී ප්‍රවාහන කුලී යනකොට අපේ අතට කීයක්වත් ලැබෙන්නෙ නෑ. ඒක නිසා අපි මේ අස්වනු නෙළන්නෙ නැතුව වගා බිම් තුළම විනාශවීමට ඉඩහැර තියෙනවා. අපිට වෙන කරන්න දෙයන් ඉතිරිවෙලා නෑ.

මෙම වෙල් යායේ විතරක් අක්කර හැටක් පමණ වගා කරලා තියෙනවා. මේ වන විට අපිට මොනා කරන්නද කියලා හිතා ගන්නවත් බෑ. මේ ප්‍රදේශයේ ගොවීන් සියල්ලම අසරණ වෙලා.

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ ගොවි මහත්මියක වන යූ. කල්පනී මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.

‘‘මේ ප්‍රදේශයේ ජනතාවගේ එකම ආදායම් මාර්ගය එළවළු වගාව. අපිත් එළවලූ වගා කරන්නෙ සෑහෙන කාලෙක ඉදලා. එළවළු වගාවට විශාල වියදමක් යනවා. මේ වන විට ගෝවා ඇට අවුන්සයක් රුපියල් දාහකට ආසන්නයි. බෙහෙත් පොහොරවලට මොන තරම් වියදමක් යනවාද.

ගෝවා ගෝනියක් අමාරුවෙන් හරි විකුණගන්න කැපුවොත් ලැබෙන්නේ රුපියල් දෙසීයක තුන්සියක මුදලක විතරයි්.

කුලී කරුවෙකුට රුපියල් දාහකට වඩා ගෙවන්න ඕනි. නගරයට රැුගෙන යන්ත් ප්‍රවාහන කුළී වශයෙන් විශාල වියදමක් යනවා. ඊට වඩා හොදයි කොටුවෙම කුණු වෙන්න අරින එක. හරක් තමයි දැන් අපේ වගාවල තියෙන ගෝවා කන්නේ.

අපේ රටේ හැම දෙනෙක්ම මේ වන විට හාල් ගැන වී ගැන කතා කරනවා. ඒත් එළවළු ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.

අපි මේ වගාවන් කරන්න ගොඩාක් දුක් මහන්සි වෙනවා. අපි අපේ දරු පවුල් නඩත්තු කරන්නෙ මේ වගාවලින් ලැබෙන ආදායමෙන්. ඒත් දැන් එළවළුවලට මිලක් නැති නිසා අපිට ඒකවත් කරන්න බැරිවෙලා.

වැලිමඩ දඹවින්න පදිංචි ගොවි මහතෙකු වන ඉන්ද්‍රසිරි විජේකෝන් මහතා මෙලෙසෙ අදහස් දැක්වූයේය‘‘මේ වන විට විශාල වෙහෙසක් දරා මුදල් වැය කර ගනිමින් අපේ එළවලූ අස්වනු අලෙවි කරන්න ආර්ථික මධ්‍යස්ථානවලට හා වෙළද පොලවල්වලට අපි අරන් ගියාට වෙළෙන්දෝ එළවළු ගන්නේ නෑ.

මේ වන විට එළවළු අලවි කරන්න බෑ කියලා කියනවා. අලෙවි කරන්න අරන් ගියාම ලොරිකුලී හා වෙනත් වියදම් ගියාම අතින් තමයි තවත් ගානක් ගොවියාට වැය වන්නේ. ඊට වඩා හොදයි මේ අස්වනු ගොවි බිම් තුළම විනාශවීමට ඉඩ දෙන එක. මේ වන විට එළවළු ගොවියාට වහ බොන්න තමයි වෙලා තියෙන්නෙ. ඒක නිසා මේ එළවළු ගොවියාත් රැක ගැනීමට නිසි අවධානයක් යොදන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

බෝගහකුඹුර ප්‍රදේශවාසියකු වන ඩීී.එම්. සිරිවර්ධන මහතා අදහස් දක්වමින් තමන් මෙසේ පැවැසුවේය. අනෙක් ගොවීන්ට වඩා ඉතාමත්ම අසරණ බවට එළවළු ගොවීන් නිරන්තරයෙන් පත් වෙනවා. මොකද නියමිත කාලයට වගා අස්වැන්න අනිවාර්යෙන්ම විකුණා දමන්න ඕනි. නැතිනම් එළවළු වගාව කුණු වී විනාශ වෙනවා.

නමුත් වෙනත් වගා අස්වනු කලක් තබා ගත හැකියාවක් තියෙනවා. නමුත් මේසේ අන්ත අසරණ වුණ එළවළු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු රජයක් පියවර ගෙන නෑ.

අද වන විට අර්තාපල් හා බෝංචි වගාවට හොද මිලක් ලැබෙනවා. එසේ මිල වැඩි වීමට බලපා ඇත්තේ නියඟය නිසා අර්තාපල් සුළු ප්‍රමාණයක් වගා කිරීම සහ බෝංචි වගාවට කොළ කහ වීමේ රෝගය හට ගැනීම නිසා අස්වනු ප්‍රමාණය අවම වීමයි. ඒත් ගෝවා, කැරට්, තක්කාලි වැනි අනෙකුත් එළවළු වර්ගවල මිල ඉතාමත් පහළ මට්ටමක පවතිනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙ‍ෙළදුන්ට එළවළු කිලෝ එකකට රුපියමට හැකියාවක් නෑ. එනිසා රජය විදිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන්න ඕනෙ.

මේ ගැටලුවට ඇති එකම විසදුම තමයි එළවළු සඳහා ශිතාගාර වැඩ පිළිවෙලක් සකස් කිරීම. කාලයෙන් කාලයට එළවළු මිල පහත වැටෙනවා. වර්තමානයේ මෙසේ මිල පහත වැටීමට හේතු දෙකක් බලපෑවා. ඉන් එකක් නම් නිසි වර්ෂාව නොලැබීම නිසා ගොවීන් කුඹුරුවල වී ගොවිතැන අතහැර කෙටි කාලීන එළවළු වගා කළා.

අනෙක අද වන විට උඩරට එළවළු වර්ග දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉතාමත් සරුවට වගා කරනවා. අද වන විට මෙසේ එළවළු තොග මිල විශාල ලෙස පහත වැටුණත් පාරිභෝගිකයාට වැඩි මිලකට එළවළු මිලට ගැනීමට සිදු වෙලා.

එනිසා ගොවියාටත් පාරිභෝගිකයාටත් නැති අසීමිත වාසියක් අතරමැදි වෙළෙදුන් හට අත්ව තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

Comments