ගෙවුඩ නිල් මැණික් කළ ධනපාල

මේ මහා පොළොවේ අප මාතෘ භූමිය පිහිටි බිම් කඩ තරම් මහාර්ඝ සම්පතක් තවත් නැත්තේය. එහි සෑම අඟලක්ම දලු ලියලා ගස්වැල් පල දැරීමට තරම් සශ්‍රීක වන්නේය. අනෙක් අතින් එහි පයේ ගැටෙන සෑම ගල් කැටයක්ම මිලක් නියම කළ හැකි අගනා මාණික්‍ය වන්නේය.

නැතහොත් මැණික් බවට පත් කර ගත හැකි වන්නේය. එහෙත් පොළෝ මහී කාන්තාව හැර ඒ බව අන් කිසිවකු නොදැන සිටි යුගයක්ද විය.

ඒ යුගයේදී අප මහ පොළොවේ තැනින් තැන තිරිවාණා වැනි ගල්කැට විශේෂයක් විය. මිනිසුන් එය හැඳින්වූයේ ‘ගෙවුඩ‘ යන නමිනි. මේ ගෙවුඩ යනු කිසිදු වටිනාකමක් නැති ගල් විශේෂයක් විය. උදලු පහරවලින් පොළොවෙන් මතුව ඉදල් පහරවලින් අතුගෑවී මිදුල්වල තැන්තැන්වල අවතැන්ව සිටි මේ ගෙවුඩ නිකම් දුන්නද ගෙන යන්නට කිසිවෙකුත් නොවූහ. එහෙත් හැත්තෑව දශකයේ දී උන් හිටි ගමන් අප රටට කඩා පාත් වූ හීනි දිගු ඇස් සහ කහ පැහැති හම සහිත මිනිසුන් අවංලගු කාසි බඳු වූ ගෙවුඩ මිල දී ගන්නට වූහ. පුදුමයකි. දැන් තිරිවාණ මිලට ගන්නවා යැයි අපට කීවොත් අපද එසේම පුදුම වනු ඇත. හිමිකරුවෝ රත්නපුරය පැත්තේ පතල් භූමිවල ඔහේ විසි කර දමා තිබූ ගෙවුඩ ඉතා අඩු මිලට ‘තායි ජාතිකයින් ‘ ලෙස තමන් හඳුන්වාදුන් මේ මිනිසුන්ට අලෙවි කළහ.

තමන් මේ විකුණා දමන්නේ ලක්ෂ ගණනින් මිල කළ හැකි නිල් මැණික් බව ඔවුහු එදා නොදැන සිටියහ.

කල් යත්ම මෙලෙස අඩු මිලට ගෙනයන ගෙවුඩ තායිලන්යේදී කිසියම් ක්‍රමවේදයක් මගින් නිල් මැණික් බවට පත් කරගන්නා බවත් ඉන් පසු ඒවායේ මිල සිතා ගත නොහැකි තරම් විශාල වන බවත් ශ්‍රී ලාංකිකයෝ දැන ගත්හ. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ගෙවුඩවල මිල තරමක් දුරට ඉහළ ගියද නිල් මැණික්වල සැබෑ මිලට ළං වීමට හෝ හැකියාවක් ලැබුණේ නැත.

මෙලෙස අපේ මහ පොළොව සතු, අපට හිමි විය යුතු මහා ධනස්කන්ධයක් නිස්කාරණේ පිටරටට ඇදී යෑම වැළැක්විය යුතු බවට නොයෙක් අදහස් පළ වන්නට විය.

මේ වන විට අසූව දශකය එළඹ තිබුණේය. ගාල්ල කොට්ටව ප්‍රදේශයේ උපත ලැබූ එම්. වී. ධනපාල තම ප්‍රථම රැකියාව ලෙස රාජ්‍ය මැණික් සංස්ථාවට බැඳුණේය. වසර හතරක් පුරා එහි නොයෙක් අංශවල සේවය කළ ඔහු 1988දී පර්යේෂණ අංශයට එක් වීමට සිතුවේ සේවයට වඩා යමක් රට වෙනුවෙන් කිරීමට අරමුණු කරගනිමිනි.

තායිලන්තය පොහොසත් කරවන ගෙවුඩවල උපරිම මිල අප රටටම ලබාගැනීම ධනපාල ප්‍රථම අභිප්‍රාය විය. ඔහු එවකට මැණික් සංස්ථාවේ සභාපති ලෙනාඩ් ගුණවර්ධනට මේ යෝජනාව ඉදිරිපත් කර සිටියේය. අනුමැතිය ලැබිණ. සහයෝගයද ලැබිණ.

බම්බලපිටියෙන් කුඩා ඇනෙක්සියක් ලබාගත් ධනපාල තම සහායකයා වූ තිලකරත්න බණ්ඩාර සමග ගෙවුඩ නිල් මැණීක් කිරීමේ මහා ව්‍යාපෘතිය ආරම්භ කළේය.

තමන් ගෙවුඩ නිල් මැණික් බවට පත් කරන්නේ කෙසේද යන්න මේ දක්වා රහසක් ලෙස තබාගැනීමට තායිලන්තය සමත් වී තිබුණේය. ලාංකිකයන් දැන සිටියේ ගෙවුඩ ‘පුච්චා‘ නිල් මැණික් බවට පත් කරනා බව පමණකි. ඒ සඳහා ඔවුන් උදුන් විශේෂයක් භාවිත කරන බව පෙන්වා තිබුණද ඒ උදුන්වල ක්‍රියාකාරීත්වය රහසක් පමණක්ම විය. දැන සිටි එකම කරුණ වූයේ මේ උදුන් ක්‍රියාකරවන්නේ ඩීසල් හෝ භූමිතෙල්වලින් යන්න පමණකි.

එවකට මැණික් සංස්ථා සභාපතිවරයා මෙවන් උදුනක් ධනපාලටද ලබා දීමට කටයුතු කළේය. එවකට ක්‍රියාත්මකව තිබූ මීපේ ලංකා සමාගම නම් ආයතනයක නිෂ්පාදනයක් වූ එම උදුනේ එවක මිල රුපියල් විසිදහසක් විය. නිෂ්පාදිත සමාගම එම උදුන ‘ලක්මිණි උදුන‘ යනුවෙන් නම් කර තිබූ බැවින් එය එනමින්ම හැඳින්විණ.

සතියට දින දෙකක් පර්යේෂණයේ නියැළීම සඳහා බම්බලපිටියේ ඇනෙක්සියට යන ධනපාල කෙසේ හෝ ගෙවුඩ නිල් මැණික් කිරීමට උත්සාහ දැරුවේය. ඒ වන විට 1988 අවුරුද්ද ගෙවී යමින් තිබිණි. තායිලන්තයන් මෙන් නොව ධනපාල උදුන ක්‍රියාත්මක කිරීමට එල්. පී. ගෑස් සහ ඔක්සිජන් භාවිත කළේය. උෂ්ණත්වය වැඩි කරමින්, අඩු කරමින් ගෙවුඩය උදුනේ තබන කාලය වෙනස් කරමින් බම්බලපිටියේ ඇනෙක්සියේ නිල් මැණික් බිහි කිරීමට වැර දැරුවේය.

දිනෙන් දින ගෙවී යමින් තිබිණි. දිනක් ධනපාලගේ සහායක තිලකරත්න බණ්ඩාර පැවසුවේ තමන් මින් පසු ගෙවුඩ - නිල් මැණික් ව්‍යාපෘතියට එක් නොවන බවයි. තිලකරත්න රන් ප්‍රමාණයන් නිශ්චය කිරීමේ කාර්යාංශයට කැඳවා තිබිණි. ධනපාල තනි වූයේය. එහෙත් මේ බිමේ ගෙවුඩ නිල් මැණික් විය යුත්තේ මේ බිමේදීම බව ඔහුගේ තිර අධිෂ්ඨානය විය.

මෙලෙස මාස හතක් අටක් ගෙවී ගියේය. ධනපාල නොසැලී තම පර්යේෂණවල නියැලෙමින් සිටියේය. උදුන තුළට බහාලන ගෙවුඩ සෙල්සියස් අංශක 1700 - 1800 පමණ විශාල උෂ්ණත්වයකට මැදි කිරීමට ඔහු කටයුතු කළේය. මේ දැවැන්ත උෂ්ණත්වය මධ්‍යයේ ටයිටේනියම් සහ ෆෙරස්වල අයන විපර්යාසයයන්ට බඳුන් වෙමින් පැවතියේය. දිනක් උදුනට දැමූ ගෙවුඩයක නියම නිල් මැණිකක පැහැය දුටු එම්. වී. ධනපාල තමා සටන දිනූ බව වටහා ගත්තේය. එතැන් සිට දුර්දසාව උදා වූයේ තායි ජාතිකයන්ටය.

සුභ ආරංචිය සැම තැන පැතිර ගියේය. දැන් ගෙවුඩ නිල් මැණික් කිරීමේ සම්පූර්ණ ක්‍රමවේදය ධනපාල දන්නේය. එහෙත් ලක් පොළොවෙන් මතුවන සෑම ගෙවුඩයක්ම නිල් මැණික් කිරීමට ධනපාලට තනියම බැරිය. එබැවින් මේ ක්‍රමවේදය සම්බන්ධ දැනුම බෙදා දීමට ජාතික මැණික් සංස්ථාවේ අනුග්‍රහයෙන් ධනපාල ඉදිරිපත් වූයේය. එතැන් සිට තැනින් තැනට යමින් සම්මන්ත්‍රණ පවත්වමින් උදුන් භාවිත කරමින් ගෙවුඩ නිල් මැණික් කරන අන්දම දැන ගැනීමට කැමති සැමටම ධනපාල කියා දුන්නේය.

බොහෝ තැන්වල ගෙවුඩ හිමියෝ තායි ජාතිකයන්ට ලබා දෙනු වෙනුවට ගෙවුඩ රැගෙන ධනපාල සොයා ආවෝය. ඔහු ඒවා නිල් මැණික් බවට පත් කර දී ඉනිදු නොනැවතී දිගින් දිගටම එසේ කරන තාක්ෂණයද පහදා දුන්නේය.

ධනපාල පවසන අන්දමට ගෙවුඩයක් නිල් මැණිකක් වන ක්‍රම දෙකකි. ඉන් පළමුවැන්න ඔක්සිකරණයයි. දෙවැන්න ඔක්සිහරණයයි. ඔක්සිකරණ මාධ්‍යයේදී ගෙවුඩයක් නිල් මැණිකක් බවට පත් කිරීමට ඔක්සිජන් එක් කළ යුතුය. ඔක්සිහරණයේදී කළ යුත්තේ ගෙවුඩයෙන් කිසියම් ප්‍රමාණයක් ඔක්සිජන් ඉවත් කිරීමය. ගෙවුඩ අතර ඔක්සිකරණය කළ යුතු ඒවා මෙන්ම ඔක්සිහරණය කළ යුතු ඒවාද වේ. ඒවා නිසි පරිදි තෝරා ගැනීම කිසියම් දැනුමක් සහිතව කළ යුතුය. එමෙන්ම ගෙවුඩයෙන් ගෙවුඩයට උදුන පවත්වාගත යුතු උෂ්ණත්වය වෙනස් වේ. උදුනේ සවි කොට ඇති උෂ්ණත්ව මීටරයක් මගින් අවශ්‍ය අගයට උෂ්ණත්වය සකස් කිරීමේ හැකියාව ලැබේ.

එදා ලක් පොළොවෙන් මතු වූ ගෙවුඩ අපේ මිනිසුන්ට හුදෙක් ගෙවුඩ පමණක්ම වුවද තායි ජාතිකයන් පැමිණි පසු ගෙවුඩ වර්ගීකරණය වන්නට විය. ඔට්ටු, දුම් ගල්, ඩීසල් ගල්, මිල්කි, සිල්කි යනාදිය ඒ අතර වේ. ඩීසල් ගෙවුඩ යනු ඩීසල් පැහැති එහෙත් පැහැය ඉතා දැඩි නොවන ගෙවුඩ විශේෂයකි. කිරි ගෙවුඩ යනු නමින් ප්‍රකාශ වන පරිද්දෙන්ම කිරි ගතියක් පෙන්නුම් කරන ගෙවුඩ ගල්ය. මේ කිරිගතිය ගෙවුඩයන්හි අඩංගු ඉතා සියුම් ටයිටේනියම් ඔක්සයිඩ් නිසා ඇතිවන අතර මේ නිසාම එයට විනිවිද පෙනෙන සුලු ස්වභාවයක් ද ලැබී තිබේ. ආලෝකයක් තුළින් බැලූ විට සිල්කි ගෙවුඩ වර්ගය පෙනෙන්නේද කිරි ගෙවුඩ මෙන් යැයි ධනපාල මහතා පවසන්නේය. එහෙත් පරාවර්තිත ආලෝකයේදී එහි මතුපිට සිල්ක් ගතියක් පෙන්වන්නේය. මෙසේ සිල්ක් ගතියක් ඇති වීමට හේතුව තීරු වශයෙන් ඇති සුදුපාට අපද්‍රව්‍ය නිසා වන අතර එක් දිශාවකට හෝ දිශා කීපයකට දිශාගත වීම හේතුවෙනි. පිළිවෙළකට නොපිහිටි නිල් පැහැති කොටස්, අවර්ණ හෝ ළා නිල් පැහැති ගල්වල අභ්‍යන්තරයේ දක්නට ලැබෙන ඒවා ඇතුල් ඔට්ටු ගෙවුඩ ලෙස හඳුන්වයි. අවර්ණ හෝ ළා නිල් පැහැති ගෙවුඩ ගල්වල මතුපිට නිල් පැහැති ස්ථාන දක්ට ලැබෙන ගෙවුඩ හඳුන්වන්නේ පිට ඔට්ටු යනුවෙනි. නිල් පැහැති කුඩා පැල්ලම් හෝ සිහින් තිත් ගෙවුඩ ගත තුළ දක්නට ලැබේ නම් ඒවා ඩොට් ඔට්ටුය. නිල් පැහඑැති කොටස් දර්ශනය වන සේ ගල තුළ සියුම් ඉරි හෝ තීරු දර්ශනය වේ නම් ඒවා ඉරි ඔට්ටුය. අවර්ණ හෝ ළා නිලට හුරු ගල තුළ පාරාන්ධ කොටස් දක්නට ලැබෙන්නේ කළු ඔට්ටු ගෙවුඩයන්ගේය. ආලෝක ධාරාවක් නිකුත් කර බලන විට එක සමාන දුම් ගතියක් පෙනේ නම් ඒවා දුම් ගෙවුඩ වේ. මේ කිනම් ගෙවුඩයක් වුවද ධනපාලගේ ක්‍රමවේදයට අනුව පුලුස්සා ගත් විට ලක්ෂ ගණන් වටිනා නිල් මැණික් බවට පත් වේ.

ධනපාලගේ තාක්ෂණය මනාව වටහාගත් බොහෝ දෙනා ලක්මිණි උදුන් මිලදීගෙන ගෙවුඩ පිලිස්සීමේ ව්‍යාපාර ආරම්භ කළ බැවින් ක්‍රමයෙන් ගෙවුඩ නිල් මැණික් ව්‍යාපාරය ලක් පොළොවටම ලාභ ලබා දෙන්නට විය.

ඒ කෙසේ වුවද ධනපාල මහතා පවසන්නේ ලක් පොළොව මතු කර දෙන ස්වාභාවික නිල් මැණික වටිනාකමින් ඉතා අධික බවයි. පිලිස්සීමෙන් නිල් මැණික් බවට පත් කරගත් ගල් සහ ස්වාභාවික නිල් මැණික් අතර වෙනස සෙවීමට පෙනුමේ වෙනස කිසියම් දුරකට යොදා ගත හැකි බවත් වැඩිදුර යා යුතු නම් ඒ සඳහා රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

ධනපාල මහතාගේ පර්යේෂණයෙන් පසු ලක්මිණි උදුනද ප්‍රසිද්ධියට පත් වූ අතර එහි වැඩි දියුණු අවස්ථාද මේ වන විට දක්නට ලැබේ. එහෙත් සාධාරණ මිල, තාපය රඳවා තබා ගැනීමට ඇති හැකියාව සහ ආරක්ෂිත බව හේතුවෙන් ලක්මිණි උදුන වඩා ජනප්‍රිය වී තිබේ. මීට අමතරව අප රටින් බැහැරව කොන්ඩෝර් උදුන, ටෝඩා උදුන සහ තායි උදුන යනුවෙන් තවත් උදුන් වර්ග බිහි වී තිබුණද තවමත් ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ ලක්මිණී උදුන පමණකි. ලක්මිණී උදුන නිෂ්පාදනයේදී ජපානයේ ටෝඩා උදුන නිදර්ශනයක් සේ ගත් බව ධනපාල මහතා පවසයි.

මැණික් සංස්ථාව අධිකාරියක් බවට පත් කළ අවස්ථාවේදී එහි ක්‍රියාත්මකව පැවති පර්යේෂණ අංශය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කෙරුණු අතර ධනපාල එහි දිගටම සේවයේ නියුක්ත වූයේය. වියපත්ව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් ඔහු තවමත් මේ ආයතනයේ ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටින්නේ තමන් සතු දැනුමෙන් රටට සේවයක් කිරීමේ අභිලාශයෙන්ය.

කාලය ගෙවී ගියේය. තායි ජාතිකයන් ගෙවුඩ සොයා යළිත් ලංකාවේ පස් පාගන්නට ආවේ නැත. ඒ වෙනුවට අපේ ගෙවුඩ අපේම රටේදී නිල් මැණික් බවට පත් වූයේය. එහි තාක්ෂණයේ සැබෑ හිමිකරුවා ද සෙමෙන් වියපත් වෙමින් සිටියේය. එහෙත් තවමත් ඔහු මැණික් සංස්ථා සේවකයාම පමණක් වූයේය. ඔහුගේ තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනිමින් ගෙවුඩ නිල් මැණික් පවට පත් කර ඒ නිල් මැණික් මුදලප් බවට පත් කර කෝටිපතියන් බවට පත් වූ සිය ගණනක් මිනිසුන් ගැන ධනපාල දන්නේය. ඔහු ඒ ගැන ආත්ම තෘප්තියකින් යුතුව සිහිපත් කරමින් අදටත් බස් එකෙන් කොළඹ එන්නේය.

සේයාරූ - නිරෝෂ් බටේපොල

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.