ඩ්‍රෝන නසන රාජාලි බළඇණිය | Page 2 | සිළුමිණ

ඩ්‍රෝන නසන රාජාලි බළඇණිය

ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා රාජාලීන් යොදා ගැනීමේ අපූරු උපක්‍රමයක් ප්‍රංස ආරක්ෂක හමුදා ක්‍රියාවට නංවා තිබේ. ගුවන් හමුදාව විනිස් රාජාලීන් හතර දෙනකු මේ සඳහා පුහුණු කර ඇත. හීයක වේගයකින් එවැනි ඩ්‍රෝන හඹා යන ඔවුහු එය තම අණසකට ගෙන විනාශ කර දමති. සාර්ථක මෙහෙයුමකින් පසු ඔවුන්ට ත්‍යාග වශයෙන් ආහාර ලබා දේ.

මීටර් 200ක දුරක් තත්පර විස්සක් තුළ ආවරණය කිරීමට මේ රාජාලීන්ට හැකිය. ගුවනේදීම ඩ්‍රෝනය විනාශ කර දමන ඔවුහු එහි සැකිල්ල පොළොවට රැගෙන එති. මෙය බාරව සිටින ගුවන් හමුදා අණදෙන නිලධාරියා පවසන පරිදි මෙහිදී රාජාලීන් දක්වා ඇති ප්‍රගතිය යහපත්ය. අතීතයේදී නියමුවන් රහිත යානා බිම හෙළීමට කුරුලුගොයින් යොදවා ගැනිණ. රාජාලි මෙහෙයුමේදී ගුරු කොටගෙන ඇත්තේද එයයි.

මීට සති කිහිපයකට ඉහත ඉරාක හමුදා තමන් මතට බෝම්බ හෙළූ කුඩා පරිමාණයේ ඩ්‍රෝන යානයක් බිම හෙළීමට අහසට වෙඩි වරුසාවක් එල්ල කළ බව වාර්තා විය. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ත්‍රස්තවාදීන්ගේ එක් උපක්‍රමයක් වී ඇත්තේ වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකි සෙල්ලම් බඩු ප්‍රහාරයක අවි බවට සහ දුර්ස්ථ පාලක ඔත්තු බැලීමේ උපකරණ වහයෙන් වැඩි දියුණු කිරීමය.

ප්‍රංසය මේ ප්‍රයත්නය කෙරෙහි අවධානය යොමු කළේ 2015 මුල පටන්ය. ජනාධිපති මන්දිරය සහ හමුදා මර්මස්ථාන ඉහළින් ඩ්‍රෝන පියාඹා යන්නට පටන් ගැනීම ඊට බලපෑවේය. එහිදී කිසිවකුටත් අනතුරක් නොවූ නමුත් 2015 අග භාගයේදී සිදු වූ පැරිස් ත්‍රස්ත ප්‍රහාරය විසින් මේ ගැන ඊට වඩා ගැඹුරින් සිතීමට ආරක්ෂක අංශවලට බල කෙරිණි.

ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන නිරීක්ෂණය කළ පසු වෙඩි තබා බිම හෙළීමෙන් තොරව ඒවා පහතට ගෙන ඒමට ආරක්ෂක හමුදාවලට අවශ්‍ය විය. යම් හෙයකින් එවැනි යානයක් එලෙස ගුවනේදී විනාශ කෙරිණි නම් එම සුන්බුන් ජනාකීර්ණ ප්‍රදේශ මත වුව පතිත වීමේ අවදානමක් විය. එසේ වූයේ නම් එය ඛේදවාචකයක් වීමට හොඳටම ඉඩ තිබේ. මේ පිළිබඳව අවධානය යොමු කරමින් රාජාලීන් යොදවා ඩ්‍රෝන යානාවන් ගුවනේදීම පැහැරගෙන ඒවා පහතට රැගෙන ඒම පිළිබඳ ඉතුක් වර්ෂයේදී මුලින්ම අත්හදා බැලීමක් කළේ ඕලන්ද ආරක්ෂක අංශ විසිනි.

අධික වේගයෙන් පියාසර කිරීමට ඇති හැකියාව මෙන්ම ගොදුරක් කුඩු කර දැමීමට තරම් බලවත් තියුණු නිය ඇති බව මේ කාර්යය සඳහා රාජලීන් සුදුස්සන් වීමට බෙහෙවින්ම බලපා තිබේ. ඒ අතින් අන් කිසිදු පක්ෂියකු ඔවුන් හා සම කළ නොහැකිය. වසර සිය ගණනක් තිස්සේ ඔවුන් පක්ෂීන් හඹා යෑම ආදී කාර්යයන් සඳහා යොදවාගැනීමට මිනිසා පුරුදු වී සිටියේය.

ප්‍රංස ගුවන් හමුදාව රාජාලීන් හතරදෙනාට නම් තබා ඇත්තේ The Three Musketeers ඇසුරෙනි. ඒ අනුව Artagnan, Athos, Porthos සහ Aramis යන නම් ඔවුන්ට ලබා දී තිබේ. නුදුරේදීම ඔවුහු පිරනීස් කඳුකරයෙන් නැගී ගුවන් ගැබ සිසාරා යමින් සිය මෙහෙවර ඉටු කිරීමට සූදානමින් සිටිති.

මේ වන විටත් දෙවැනි රාජාලීන් කණ්ඩායමද සූදානම් කරමින් ඇති බව වාර්තා වේ. මෙහිදී මෙහිදී රාජාලීන් නව තාක්ෂණය යොදා ගනිමින් තවදුරටත් සූදානම් කෙරෙනු ඇත. ඔවුන්ට සටන් කිරීමට සිදු වන්නේ යන්ත්‍රවලට එරෙහිව වීම ඊට හේතුවයි. එහිදී රාජාලීන්ගේ ආරක්ෂාව හා අනතුරක් සිදු නොවීම ගැන සැලකිලිමත් වනු ඇත.

ප්‍රංස මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඒ සඳහා රාජලීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කළ පක්ෂි අත්වැසුම්ද සැලසුම් කරමින් පවතී. ඒවා පිපිරීමකට පවා ඔරොත්තු දෙන අයුරින් නිම වනු ඇත. එමගින් පක්ෂීන්ට සිය නිය ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇත. රුසියාවද හමුදා කාර්යයන් සඳහා ඩොල්ෆින් මසුන් යොදවා ගන්නා බව වාර්තා වේ. එහෙත් ඒ කවර කාර්යයක් සඳහාදැයි තවමත් හෙළිවී නැත.

Comments